2024 මැයි 04 වන සෙනසුරාදා

මාලිමාව කියන්නේ රටේ විකල්පය නොවේ: විසඳුමයි

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

- කේ.ඩී. ලාල් කාන්ත විධායක සභික ජාතික ජන බලවේගය

  • ජනතාවට දැන් ඕනෑ මේ  කැත දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න
  • වෙනත් පක්ෂවල සිටි කලකිරුණු පාක්ෂිකයනුත් අපේ රැස්වීම්වලට ආවා
  • අපට බලය ලබාදීමට ජනතාව සූදානම් කියන පණිවුඩය තමයි දුන්නේ

Q මාලිමාවට මේ මැයි රැලිය ඉතාම තීරණාත්මක එකක්. ඔබලා හිතනවද ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා?

ඔබ ඔය ප්‍රශ්නය ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ඔව් අපි සාර්ථකයි කියලා. ඇත්තටම ගත්තොත් අපි බලාපොරොත්තු වුණු පිරිසට වඩා පිරිසක් මේකට සම්බන්ධ වුණා. අපි හතරක් කළා. යාපනය, අනුරාධපුර, කොළඹ, මාතර. ඒ රැස්වීම්වලින් පෙන්නනවා ජනතාව තුළ නව බලාපොරොත්තුවක්, නව පිබිදීමක් තියෙනවා කියලා. අපිටත් ඕනෑ වුණා ජනාධිපතිවරණය ළඟ නිසා ජනතාව සම්බන්ධයෙන් යම් තක්සේරුවක් කර ගන්න.

Q ඒ මැනීම සාර්ථකද?

ඒක සාර්ථකයි. අපි කියනවට වඩා බාහිර අය ඒක කියනවා.

Q ඔබ දවසක් කිව්වා ඔබේ මැයි දින රැලියක කාලේ බෝතලයක්, බත් පැකට් එකක් පිට්ටනියේ ඉතුරු වෙන්න ඕනෑ කියලා. එතකොට තමයි ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා. එහෙම වුණාද මේ පාර?

ඇත්තටම මට ඒ ගැන වාර්තා වුණේ නෑ. මම එහෙම බැලුවෙත් නෑ. මම ඒකෙන් අදහස් කළේ ජේවීපී ඒකේ අයගෙන් විතරක් මැයි දිනයක් කරලා තේරුමක් නෑ කියලා.

Q මේ පාර ඒක වුණාද?

ඉතින් ලක්ෂ තුනක් විතර ජනතාව ආවේ පහුගිය කාලේ වෙනත් පක්ෂවලට සහාය දුන්න අය. අපි හැමපාරම කොළඹ කරපු තත්ත්වයටම මේ පාර කොළඹ රැස්වීම පැවැත්වුවා. වෙනදට රට වටෙන්ම ඇවිල්ලයි අපි ඒ තත්ත්වය හදාගන්නේ. හැබැයි අනුරාධපුර, යාපනය, මාතර එක්ක ගත්ත නිසයි ඒක වෙනස් වෙන්නේ. මේ පාර සම්බන්ධ වුණේම වෙනත් පක්ෂ නිසා කලකිරීමත් එක්ක. ඒ නිසා විශාල පිරිසක් සහභාගි වුණා.

Q ඇයි හතරක් කරන්න හේතුව?

ගොඩක් හේතු තියෙනවා. එකක් කොළඹ නගරයේ විශාල ජනතාවක් ගෙනල්ලා රැස්වීමක් කරන්න තැනක් නෑ.

Q ඇත්තද තැනක් දුන්නේ නෑ කියන්නේ?

නෑ.. ඇත්තටම තැනක් නෑ. ලක්ෂ තුනක් දාන්න පිට්ටනියක් නෑ. පාරවල් දිගේ ගෙනල්ලා දැම්මත් වේදිකාව පේන්නේ නෑ. සද්දේ ඇහෙන්නේ නෑ. කොළඹ එකෙත් අනුරාධපුරයේ එකෙත් එහෙම වුණා. ඒක ප්‍රධාන හේතුවක්. අනික අපිට ඇත්තටම ජනතාවට ලෝකයට කියන්න ඕනෑ වුණා අපිට බලය ලබාදීමට ජනතාව පෙළගැහෙමින් ඉන්නවා කියලා. ඒ පණිවිඩෙත් දෙන්න ඕනෑ. අනික මේ පාර මාලිමාව තියෙන්නේ. එතකොට අපි ඒ හැමෝටම කතා දෙන්න ඕනෑ. ඒ නිසා හැමදෙනාටම සහභාගි වෙන්න පුළුවන් විදිහට අපි අවස්ථාව දුන්නා.

Q ජනතාව දැන් රැල්ලක් වගේ එනවනේ. ඒ එන ජනතාවගේ හිතේ තියෙනවා යම් බලාපොරොත්තුවක්. ඒක සුන් වු‍ණොත් ප්‍රති උත්තර දෙනවා. ගෝඨාභය රාජපක්ෂට වු‍ණේ ඒකනේ. ඒ නිසා මේ වගකීම ගැන බයක් නැද්ද?

ඉස්සෙල්ලම මම කියන්නේ අපි මේක රැල්ලක් හැටියට සලකන්නේ නෑ. මේ ඇවිල්ලා ගෙවුණු ඉතිහාසය ගැන තේරුම් ගැනීමක්, අසාර්ථකත්වය ගැන තේරුම් ගැනීමක්. මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ළමයින්ට කියන ගමන් ඇත්තටම බංකොලොත් වුණු රටකනේ අපි ඉන්නේ. එතකොට තේරුම් යනවා. අන්න ඒ තේරුම් ගැනීම මතයි ඔය එන්නේ. ඒ වගේම ජනතාවට උවමනාවක් තියෙනවා මේ කැත දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න. ඒ හරහා වෙනත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒක අපිට හැර කාටවත් දෙන්න බෑ. සියලු පක්ෂවල තියෙන්නේ පරණ දේශපාලන සංස්කෘතියමයි. අපි තමයි ඒ වෙනස නියෝජනය කරන්නේ.

Q ඔබලා කොහොමද රාජ්‍ය පාලනයේදි ඒ වෙනස ලබා දෙන්නේ?

අපේ පක්ෂයේ වෙනසම තමයි හොරකම, දූෂණය, වංචාව අපේ පක්ෂයේ නෑ. අපි ඒකම රාජ්‍ය පාලනයට ආරෝපණය කරනවා. ඒ අපේ විශ්වාසය තබාගෙන.

Q ඔබලා දැන් මේ රටේ එකම විකල්පයද? නැත්නම් තවත් ආදේශකයක් විතරද?

ඔය දෙකම නෙමේ අපි. මාලිමාව කියන්නේ විසඳුම. මේ රට අවුරුදු 76ක් තිස්සේ විනාශ කරලා. ඒක දැන් හරිගස්සන්න එකම විසඳුම මාලිමාව. එහෙමයි අපි ඒක තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ අය මැති ඇමැතිකම් දරලා රටට ආදර්ශයක් දීලා තියෙනවා. මතක තියාගන්න අපි පෙන්නලා තියෙනවා තනතුරු ලැබුණම වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගවීම පෙන්නලා තියෙනවා. මම අවුරුදු 42ක් දේශපාලනය කරලා තියෙනවා. අපි  කවදාවත් මුදලට යට වෙන්නේ නෑ කියලා පෙන්නලා දීලා තියෙනවා. අපි කවදත් මැති ඇමැතිකම් ලැබුණත් නොලැබුණත් වැඩ කරනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. අපි බලයට ආපුවම පුළුවන් මීට වඩා ශක්තිමත්ව පෙන්නන්න. අනික මම අහන්නේ පරණ දේ ගෙනියන්න නම් අපි මොකටද? එහෙම වෙන්න ඕනෑ නම් සජිත් එක්ක යනවනේ. අපි ඒ වෙනුවෙන්නේ වෙනම කටයුතු කරන්නේ?

Q ගෝඨාභය රාජපක්ෂ ආවෙත් ඔහොමනේ

ඔව්.. ඔහු එනකොට ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි  ගෝඨාට දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ. ගෝඨාට උවමනාවක් තිබුණත් කරන්න බෑ. අනික ඒ පක්ෂවලට එහෙම කැපවීමක් කරන්න උවමනාවක් නෑ. ඒ අය එන්නේ බාර් පර්මිට් ගන්න, වාහන ගන්න, කඳු කපන්න වගේ දේවල්වලට.

I ගයාන් ගාල්ලගේ