2024 මැයි 04 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න ලොකු ඉඩක් තිබෙනවා

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

- නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

  • අපේ මන්ත්‍රීලා එජාපයට එක්වෙන කතාව බොරු වෙලා ඉවරයි
  • රනිල් මහත්තයා එජාපය පොහොට්ටුවේ ඔඩොක්කුවට අත ඇරලා
  • ජාතික ජන බලවේගය ඔය ඉන්න සිහිනේ දිගටම හිටපුදෙන්

Q කොහොමද මැයි දිනේ. සාර්ථකද?

සමගි ජන බලවේගයේ මැයි රැලිය අති විශිෂ්ටයි. මේක සියවසේ මැයි රැලිය. ජනතාව ලක්ෂයක් විතර මීට සහභාගි වුණා. ලාංකීය ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය තමයි සමගි ජන බලවේගයේ මැයි රැලිය.

Q ලක්ෂයක් සහභාගි වුණාද?

ලක්ෂයකට එහා හිටියා ජනතාව.

Q ඔබලා යම් තක්සේරුවක ඉන්න ඇතිනේ මෙච්චර සංඛ්‍යාවක් එයි කියලා?

ඔව්.. බොහොම පැහැදිලිවම. ලක්ෂයක් විතර අපි අපේක්ෂා කළා. ඒත් කරන ලද අමතර ඉල්ලීම් එක්ක අමතර බස්රථ පවා දාන්න වුණා. අපි හිතනවා අපිට ලැබුණු තොරතුරු එක්ක එක්ලක්ෂ පනස්දාහකට ළං වෙන්න ජනතාවක් ආවා කියලා.

Q ජාතික ජන බලවේගය නම් තැන් හතරක මැයි රුලි පැවැත්වුවා ඒ එන සෙනග කොළඹ දාගන්න තැනක් නෑ කියලා. ඔවුන් කියන්නේ ලක්ෂ 3ක් ආවා කියලා. එහෙම බැලුවම ඔවුන්ට වැඩි සංඛ්‍යාවක් ආවා නේද?

ලක්ෂ තුනක් ආවද නැද්ද කියන එක හරියට හොයලා බැලුවොත් දැනගන්න පුළුවන්. අපි කොළඹ විතරක් නෙමේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අපේ සහෝදර පක්ෂයක් තලවකැලේ රැස්වීමක් පැවැත්වුවා විපක්ෂ නායකතුමාගේ සහායෙන්. අපි සැබෑ කම්කරුවෝ නියෝජනය කරලා රැස්වීමක් පැවැත්වුවට ජාතික ජන බලවේගය සැබෑ කම්කරුවෝ නියෝජනය කරල රැස්වීමක් පැවැත්වුවෙ නෑ. ඒ නිසා මම ඒ අයගේ ලක්ෂ තුන ගැන කතා කරන්නේ නෑ. ඒ සිහිනේ එයාලා හිටපුදෙන්.

Q ඔබලගේ මව් පක්ෂය වුණු එජාප රැලියත් සාර්ථකව පැවැත්වුණා. හිතෙන්නේ නැද්ද එකතු වුණොත් හොඳයි කියලා?

ඒගොල්ලෝ එකතුවෙලා ඉන්නේ පොහොට්ටුව එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුවේ ඔඩොක්කුවට අත ඇරලා ඉවරයි. අපි දැක්කා තනතුරු පත් කරද්දි පොහොට්ටුවට තමයි මූලිකත්වය දීල තියෙන්නේ. ආණ්ඩුකාරවරු පත් කරද්දි, සභාපතිවරු පත් කරද්දි මූලිකත්වය අරන් තියෙන්නේ පොහොට්ටුව. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙන්න තියෙන්නේ අල්ප ඉඩක්. ඒකත් අඩුයි.

Q අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය හැමෝම බලන් ඉන්නවා. ඔබ තමයි ඒ අභියෝගය කළේ. කවද්ද ඒක වෙන්නේ?

පැහැදිලිවම මේ විවාදය මේ මාසයේ පවත්වන්න අපි සූදානමින් ඉන්නේ. ආර්ථික කටයුතු කමිටුව සමඟ විවාදය මැයි මාසයේ තුන්වැනි සතියෙත්, නායකයන් අතර සංවාදය මැයි හතරවැනි සතියෙත් පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඒක අපි ලිඛිතව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක විනිවිදභාවයෙන් කරන්න අපි නීතිඥ සංගමය මේකට සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා මේකට ලොකු අවධානයක් ලැබෙයි කියලා. අපි තමයි අවශ්‍ය වටපිටාව හැදුවේ එයාලා කියෙව්වට. අපි ආරාධනා කළා කිහිප වතාවක්. ඒත් ඒ අය මගහැරියා.

Q පොහොට්ටුව තියෙනවා, එජාපය ඉන්නවා, ඇයි ඒ අය එක්ක විවාද නොකරන්නේ?

අපි දකිනවනේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ. පොහොට්ටුවේ ආර්ථික වැඩපිළිවෙළත් අපි දැක්කනේ. ඒ ගැන ආයේ සංවාද කරන්න දෙයක් නෑ. රටේ යම් ජනමතයක් තියෙන නිසයි අපි ජාතික ජන බලවේගයට ආරාධනා කළේ. ඒ අයගේ ආර්ථික කමිටුවට ආරාධනා කළා. පස්සේ ඒ අය නායකයන් අතර තියමු කිව්වා. ඒකට අපි එකඟ වුණා. ඒත් ඔවුන් අන්තිමේ ආර්ථික කමිටු විවාදය අමතක කරලා දැන් නායකයන්ගේ විවාදය ගැන විතරයි කතා කරන්නේ.

Q යම් ප්‍රචාරයක් යනවා පාර්ලිමේන්තුව විසුරුවන්න යනවා කියලා. ඒකේ ඇත්තක් තියෙනවද?

ඒකේ ඇත්ත නැත්ත කියන්න මම දන්නේ නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයට අවසන් සමීක්ෂණ වාර්තාව ආපු ගමන් එතුමා පරාජය වෙනවා කියලා දැනගත්තොත් අනිවාර්යෙන්ම ආණ්ඩුව විසුරුවනවා. ඒක විශ්වාසයි. දිනය මම දන්නේ නෑ. ඒත් විසුරුවන්න තියෙන ඉඩකඩ වැඩියි.

Q ඔබලගේ මැතිවරණ ව්‍යාපාරය කොයි කාලෙද ආරම්භ කරන්නේ?

දැනටමත් අපි බිම් මට්ට්මින් සංවිධාන කටයුතු කරගෙන යනවා. මැතිවරණයට අවශ්‍ය වැඩ කටයුතු අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඇත්තම කිව්වොත් අපි දැනටම මැතිවරණ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ.

Q අපි දැක්කා ඔබලගේ සමහර මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් අසුන් වෙන් කරලා තියෙනවා. ආණ්ඩුවෙන් කියනවා ඔබලගේ කට්ටියක් එජාපයට එකතු වෙනවා කියලා. ඇත්තටම එහෙම වෙයිද?

ඕක ඉතින් අවුරුද්දක් තිස්සේ කියනවා. පස්සේ මේ මෑතක කිව්වා මැයි දිනේදි එනවා කියලා. දැන් ඒ කතා සියල්ල බොරු වෙලා ඉවරයි. ඒ ගැන කතා කරලා තේරුමක් නෑ.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00