2024 මැයි 04 වන සෙනසුරාදා

මහින්ද ස්වර්ණමය මතකය අවදි කරයි

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

කුරුණෑගල විල්ගොඩ පිහිටා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පක්ෂ කාර්යාලය අරගලය සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය යටතේ ගිනිබත් කරනු ලැබීය. එම විල්ගොඩ කාර්යාලය පිහිටි විනාශ කෙරුණු ගොඩනැගිල්ල වසර 105ක් පැරණි එකක් විය. එම ගොඩනැගිල්ල අලුතින් ඉදිකර පසුගිය දිනක විවෘත කරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

එම උත්සව අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියත් එයින් බොහෝ දෙනකු එදින මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බව දැන සිටියේ නැත. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සඳහා සහභාගි වී සිටි අතර ඔවුන්ට නායකත්වය දී තිබුණේ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අවස්ථාව සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු කෙරිණි.

කිසිවකුත් නොදැන සිටීම හේතුවෙන් හිටපු ජනපති මහින්දගේ හදිසි සම්ප්‍රාප්තිය ඒ සියලු දෙනාට විශ්මයක් විය. හිටපු ජනපති පැමිණි බව සැලවූ වහාම පැමිණ සිටි පක්ෂයේ ආධාරකරුවෝ ඔහු පිළිගැනීමට ලහි ලහියේ ඉදිරියට ගියහ. පිළිගැනීමට ඉදිරිපත් වූ විශාල පිරිස හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අලුත් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට විශාල දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු විය. කෙතරම් අසීරු වුවද හැකි තරමින් පැමිණ සිටි පාක්ෂිකයන්ට අතරමග නැවතී වචනයක් දෙකක් කතා කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළේය.

සෑහෙන වේලාවකට පසුව නව ගොඩනැගිල්ලට පැමිණ තමන්ට පනවා තිබූ ආසනයේ අසුන්ගත් හිටපු ජනපතිවරයා ජොන්ස්ටන් දෙසට නැඹුරු වී ප්‍රකාශ කළේ මේ අවස්ථාවට සහභාගි නොවී සිටීමට තමන්ට කිසිම හැකියාවක් නොතිබූ බවය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ මේ ස්ථානයෙන් බවද ඔහු සිහිපත් කළේය. ‘‘ලංකාවේ වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන මැතිවරණය ජය ගන්න මගේ කැම්පෙන් එක පටන් ගත්තේ මෙතැනින්’’ යැයි පවසමින් මහින්ද මහතා තමන්ගේ මතකය අවදි කළේය. ‘‘මේක ගිනි තියලා විනාශ කළා කියලා ආරංචි වුණාම මට විශාල දුකක් දැනුණා. ඒ ගොඩනැගිල්ල කොයි තරම් හොඳට ආපසු හදලා තියෙනවාද කියනව නම් ඒක කලින් තිබුණාට වඩා හොඳට ලස්සනට තියෙනවා.’’ යැයි ද මහින්ද මහතා එතැනට පැමිණ සිටි පිරිසට පැවසුවේය.

- සන්ඩේ ටයිම්ස්

හීලෑ අලින් බේරාගත් ''කොළ අලියා''

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ කොළඹ පැවති අලුත් අවුරුදු උළෙලකදී පැවැත්වීමට නියමිත වූ අලි රේස් තරග ඉසව්වක් අවසන් මොහොතේදී ජනාධිපති රනිල්ගේ උපදෙසින් නැවැත්වීමට තරග සංවිධායකයන්ට සිදු විය.

සත්ත්ව අයිතිවාසිකම් සහ පරිසරය සුරකින සංවිධානය මරදාන පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ ජනාධිපතිවරයාද සහභාගි වන මේ අවුරුදු උළෙලේදී අලින්ගේ රේස් එකක් පවත්වන බවට ලැබී තිබුණු තොරතුරක් හේතුවෙනි.
මේ සංවිධානයේ සාමාජිකයකු ප්‍රකාශ කළේ මේ බව දැනගත් වහාම තමන් ජනාධිපති ලේකම් කාර්යාලයද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද හමුවී එම තරගයට එරෙහිව තම විරෝධය පළ කළ බවය. සත්ත්ව හිංසන තරගයකට ජනාධිපතිවරයාගේ සහායක් ලැබෙන බවට හැඟීමක් ජනතාව තුළ ඇතිවීමට මෙය හේතු විය හැකි බව තමන් පෙන්වා දුන් බවද මේ සාමාජිකයා පැවසීය.

ජනාධිපති කාර්යාලය සහ අමාත්‍ය තොණ්ඩමන් පසුව මේ සංවිධානයට දැනුම් දී තිබුණේ මෙවැනි අලි රේස් තරග පැවැත්වීමට ජනාධිපතිවරයා තදින්ම විරුද්ධත්වය පළ කරන බවය. ඒ අනුව එකී තරගය වහාම අත්හිටුවන ලෙසට තරග සංවිධායකයන්ට දැනුම් දුන් බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි. හීලෑ අලින් යොදාගෙන සිදුකරන අලි රේස් තරගවලට ජනාධිපතිවරයා එරෙහිවීම පිළිබඳව එකී සංවිධානය තම සතුට සහ කෘතඥතාව පළ කරන බවද අදාළ සාමාජිකයා ප්‍රකාශ කළේය. ‘‘මේ සිද්ධියේදී හීලෑ අලි බේරගන්න ‘‘කොළ අලියා’’ ඉදිපත් වුණා'' යැයි ද ඔහු සඳහන් කළේය.

- සන්ඩේ ටයිම්ස්

කටුනායක ඇවිස්සූ වී.එෆ්.එස්. ග්ලෝබල්

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට බාරදීමෙන් ඇතිවූ බරපතළ නොසන්සුන්කම සමඟ ගුවන් තොටුපළේ විශාල ගාලගෝට්ටියක් ඇතිවීම හේතුවෙන් එම සමාගමේ කටයුතු අත්හිටුවීමට සිදුවිය. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා එම තාවකාලික පියවර ගත්තේ පැය ගණනවක් තිස්සේ විදේශීය සංචාරකයන්ට වීසා ලබාදීමට නොහැකි වීම හේතුවෙනි. එම සිද්ධිය ගැන රජයද පරීක්ෂණයක් අරඹා තිබිණි.

කටුනායක ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ (on arrival visa) කටයුතු වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගම ආරම්භ කර තිබුණේ මැයි 01 වැනිදා සිටය. එතෙක් එම කටයුතු සිදු කෙරුණේ ආගමන විගමන නිලධාරීන් අතින් වූ අතර එය ඉතා සුළු කාලයක් තුළදී ඉටුකර දීමට ඔවුන් ක්‍රියා කර තිබිණි. නමුත් වී.එෆ්.එස්. සමාගමට ඒ සඳහා විශාල කාලයක් වැය වීම හේතුවෙන් සංචාරකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටියහ. එපමණක් නොව මෙතෙක් අයකර නොගත් ඩොලර් 50කට ආසන්න මුදලක්ද අමතරව අයකර ගැනීමට සිදුව තිබූ අතර ඒ අනුව සාක් කලාපයේ වැඩිම වීසා ගාස්තුවක් ගෙවීමට සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබූ බවද සඳහන් විය. එම අමතර ගාස්තුවෙන් අඩකටත් වඩා එකී සමාගමට ලැබෙන බවත් ඒ අනුව සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමේදී එම සමාගමට ඉතා විශාල මුදලක් හිමිවන බවත් පෙන්වා දී තිබේ.

මෙය ඉන්දියානු සමාගමක් බවටද සඳහන් වුවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එය ඉන්දීය සමාගමක් නොවන බවයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබුණේ එය ලෝකයේ රටවල් 67ක මධ්‍යස්ථාන 146ක් හරහා සේවා සපයන සමාගමක් මිස ඉන්දීය සමාගමක් නොවන බවයි.

කෙසේ වුවද මේ සිද්ධිය දෙස බොහෝ දෙනා සැකයෙන් බලන බව පෙනෙන්නට තිබේ. සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ශනය වෙමින් පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ කාගේ බලපෑමකටද යන්න බොහෝ දෙනාට විමතියක් වී තිබේ. එසේම සංචාරකයන්ගෙන් වැඩිපුර අයකර ගන්නා ඩොලර් නවතින්නේ කොතැනද යන ගැටලුව ද පැන නැගී තිබේ.

VFS GLOBAL සමාගම පිළිබඳ අන්තර්ජාලයේ කළ සෙවීම්වලදී සඳහන්ව ඇත්තේ එය එංගලන්තය ඇතුළු තවත් රටවල් 61ක වීසා සහ ආගමන කටයුතු සමඟ පාර්ශ්වකරුවකු වශයෙන් කටයුතු කරන වාණිජ සමාගමක් බවයි. එක්සත් රාජධානියට ඇතුළු වීමට වීසා අයැදුම් කරන්නන්ට සිය සමාගම සේවා සපයන බවද එහි සඳහන්ය. ඔවුන් සපයන සේවා අතර, ඉදිරිපත් කරන වීසා අයැදුම්පත අයැදුම්කරුට කරන පහසුකමක් වශයෙන් සෝදිසි කර දීම, ඉක්මනින් වීසා ලබාගත යුතු අයට ප්‍රමුඛතා සේවා ලබාදීම සහ සියලු පහසුකම් සඳහා ගාස්තු අයකර ප්‍රමුඛතා ලබා දීමද වෙයි. කෙසේ වුවද වීසා ලබාදීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු මැදිහත්වීමක් නොකරන බවද සඳහන්ය.

ශ්‍රී ලංකාවේද විවිධ තානාපති කාර්යාල සඳහා සේවා සැපයීමට VFS GLOBAL කටයුතු කරන අතර කොළඹ නගරයේ එහි කාර්යාල පිහිටා තිබේ. 2001 වසරේදී කූනි ට්‍රුවල්ස් නම් සුප්‍රකට සංචාරක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුබින් කර්කාරියා විසින් මේ සමාගම ඇරඹූ බවද සඳහන්ය. කෙසේ වුවද 2016 වසරේදී එවකට ඉන්දියාවේ තිබූ සමාගමක් වන EQT Partners මගින් එය අත්පත් කරගනු ලැබීය. එය වර්තමානයේ ඩුබායි රට මූලස්ථානය කර ගනිමින් පවත්වාගෙන යයි.   

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00