ලංකාවෙ මැයි රැලි කම්කරුවන්ට අයිති නැත. ඒක අයිති රටේ දේශපාලන පක්ෂවලටය. ඒවායේ නායකයන්ටය. ඒක අද ඊයේ ඇතිවුණු තත්ත්වයක් නොවේ. රටේ ආර්ථිකය වළපල්ලට යාම ඇරුඹූ කතාව තරම්ම පැරණිය.
කාලයකට පෙර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ එක එක ආණ්ඩු තිබියදී ප්‍රබල තත්ත්වයක පසුවූ අවස්ථාද තිබිණි. ^70 සිරිමාවෝගේ නායකත්වයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බිහි කරද්දී එයට ලොකුම සහායක් ලැබුණේ ඇන්.ඇම්.ලා, කොල්වින්ලා සහ ඩිව් ගුණසේකරලා වැනි වාමාංශික නායකයන්ගෙනි. ඒ කාලයේ මැයි රැලි රතු පාටින් දිළිසුණත් ඊට පස්සේ ඒ රතු පාට ඇතුළට නිල් පාට කොඩිද එකතු විය. ^77 න් පස්සේ යූ.එන්.පිය කළේ මැයි 01දා බජව් දැමීමට වෙන් කිරීමය. කොළ පාට ඇඳගෙන පෙළපාළිවල ඇවිත් ගෝල්ෆේස් පිටියේ වේදිකාවේ කතා කිහිපයක් අසා හැන්දෑවට දාන බජව්ව ඒ පාක්ෂිකයෝ හොඳට රස වින්දෝය. හැබැයි ජේ.වී.පී. එක නම් පුළුවන් හැම අවුරුද්දකම මැයි දිනය රතු පාටින්ම සලකුණු කළේ හොඳ පෙළපාළියක් සහ ප්‍රබල සටන් පාඨ වැහි වැහුණු වේදිකාවක්ද සමඟිනි. ජවිපෙ තහනම් කරන තුරු තත්ත්වය එසේ විය.
ඊටපස්සේ මැයි දිනය කොහොම සැමරුවත් ඒවායේ කැපී පෙනුණේ කම්කරු නායකයන් නොව දේශපාලන නායකයන්ය. ආණ්ඩුව තමන්ගේ බලය පෙන්වීමටත් විපක්ෂය තමන් ඊළඟ ආණ්ඩුව පිහිටුවන බව පැවසීමටත් මැයි දිනය යොදා ගැනීම හේතුවෙන් මැයි දිනයේ මූලික අරමුණ ගිලිහී එය දේශපාලන බලය පෙන්වීමේ වේදිකාවක් බවට පත් විය. මේ තත්ත්වය ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කළ අවස්ථාවලදී වඩාත් කැපී පෙනුණි. තමන්ගේ මැයි දින පෙළපාළිවලට සෙනග ගෙන්වා ගැනීමට උපරිම උත්සාහයක් දරන්නේ එවැනි අවස්ථාවලය.
ඒ කොහොම වුණත් පෙළපාළිවලට සහ වේදිකාවල කෙරෙන කතා ඇසීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන සෙනග තීරණාත්මක සාධකයක් බව මේ හැම දේශපාලන නායකයෙක්ම දැන සිටී. ගමනාගමන පහසුකම් සහ වෙනත් පහසුකම් කොතරම් සපයා දුන්නත් ජනතාව තුළ කැමැත්තක් නැත්නම් ඔවුන් ඒ අවස්ථාව මගහරින බව රහසක් නොවේ. ඒ වගේම පවතින ආණ්ඩුව හෝ විපක්ෂයේ සිටින එන්න ඉන්න ආණ්ඩුවට හෝ කැමැත්තක් තිබෙන්නේ නම් ගමනාගමන පහසුකම් නැතත් ඔවුන් ඒ ඒ මැයි රැලිවලට සහභාගි වන බවද සත්‍යයකි. කොයි තරම් උත්සාහ කළත් පැමිණෙන ජනතාව අඩුවන විට දේශපාලන නායකයන් කලබලයට පත්වන බවද පෙනී යයි.
ආණ්ඩුවක් කෙරෙහි පවතින ජනතාවගේ ආකර්ශනය අඩුවී ගොස් එය විකර්ශනයක් බවට පත්වෙන විට ආණ්ඩුව කොතරම් උත්සාහ කළත් සෙනග එන්නේ නැත. ඒ වගේම ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව පවත්වන පළමු මැයි දින රැලියද ජයටම පැවැත්වෙන බවද අතීතයේ සිටම දැකගත හැකිය. 2010 වසරේදී ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද ලැබූ විශාල ජයග්‍රහණයෙන් පසුව ඒ වසරේ පැවති මැයි රැලිවලට විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සෙනග ගෙන්වා ගැනීම පවා ලොකු ගැටලුවක් වී තිබුණි. නමුත් ජවිපෙ පමණක් තමන්ගේ රැලිය සහ රුස්වීම සාර්ථකව පැවැත්වීමට සමත් විය. විපක්ෂයේ සිටියත් හැමදාම ජවිපෙ මැයි දින රැලිය ඉතාම සංවිධානාත්මක විය. විශාල ජනකායක්ද ඒවාට සහභාගි වීමද කැපී පෙනිණි. හැබැයි ඒ ජන සහභාගීත්වය මැතිවරණවලදී ප්‍රකාශයට පත් නොවීම ගැටලුවක් විය.
ඊටපස්සේ 2015 ආසන්න වනවිට මහින්ද නායකත්වය දුන් එ.ජ.නි.ස මැයි රැලිවලට සෙනග අඩු වී එජාපය ප්‍රමුඛ විපක්ෂය පැවැත්වූ රැලිවලට ජන සහභාගිත්වය වැඩි විය. 2014 වසරේදී මැයි දින රැලියේදී මේ බව පැහැදිලිව පෙනී ගියේය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී මෛත්‍රීපාල දිනුවේය. 2014 ජවිපෙ මැයි දින රැලියටද විශාල සෙනගක් පැමිණි බවද දැකගත හැකි විය. ජවිපෙ සහාය නොනිල ලෙස ලැබුණේ මෛත්‍රීපාලලාටය.
මැයි දින රැලි අනාගත දේශපාලනයේ පෙරනිමිත්තක් බව මේ සමහර අවස්ථාවල පෙනී ගියත් ඒ බව වඩාත් හොඳින්ම පෙනී ගියේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් වසර දෙකකට පසුව පැවති මැයි දිනයේදීය. යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ මහ බැංකු මගඩිය ඒ රජයට පාරාවළල්ලක් වූ අතර ඒ පිළිබඳව විපක්ෂයේ සිට මහින්දගේ නායකත්වයෙන් සිටි මන්ත්‍රීවරු දිවා රූ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් යහපාලන ආණ්ඩුව පට්ට ගැසූහ. ඒ හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සහ අගමැති රනිල් අතරද විරසකයක් ඇතිවිය. යහපාලන ආණ්ඩුව බලයට පත් කරවීමට දරදිය ඇද්ද සමහරු අගමැති රනිල් හමුවී එක්කෝ ආණ්ඩුව නැත්නම් මහ බැංකු අධිපති යන දෙකින් එකක් තෝරාගන්නැයි කියන තරමට තත්ත්වය බැරූරුම් විය.
ඒ අතරේදී එජනිස වෙනස් වී මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල්ගේ නිර්මාතෘත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ද බිහි විය. එසේම උද්ගතව තිබූ තත්ත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් දමා තිබීමද ආණ්ඩුවට අවාසියක් විය. කල් දැමුණු පුංචි ඡන්දය 2018 දී නිසැකවම පැවැත්වෙන බව දැන සිටි පොහොට්ටුව එයට තමන්ගේ සූදානම පෙන්වීමට යොදාගත්තේ 2017 වසරේ මැයි දින රැලියයි. එයට ඔවුන් වෙන්කර ගත්තේ ගෝල්ෆේස් පිටියයි. ආණ්ඩුව කැමැත්තෙන්ම ගෝල්ෆේස් එක දුන්නේ පොහොට්ටුව ගෝල්ෆේස් එක පුරවන්න ගිහින් ඇනගන්න හැටි බලා අත්පුඩි ගැසීමේ චේතනාවෙනි. පොහොට්ටුවේ සමහරුද මේ අවදානම ගැන මහින්දටත් බැසිල්ටත් අනතුරු ඇඟවුවත් ඔවුන් තුළ දැඩි විශ්වාසයක් තිබුණි.
එදා මැයි දිනය එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම මැයි දින රැලිය විය. ගෝලෆේස් එක එකම හිස් ගොඩක් විය.
2018 පෙබරවාරි 10 තිබූ පුංචි ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක්ද ලබා ගත්තේය. ඊට පසු 2019 ජනාධිපතිවරණයද 2020 මහ මැතිවරණයද එක පිම්මට දිනුවේය.
ඊටපස්සේ අරගලය සමඟ රට දැඩි අර්බුදයකට පත්වූයේ ආර්ථික කඩා වැටීමද සමඟිනි. ඒ අවස්ථාවේ බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ අවසන් මාස කිහිපය දැන් ගෙවී යයි. මෙදා මැයි රැලි මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ හෝ පැවැත්වීමට ඉඩ තිබෙන මහ මැතිවරණයේ හෝ පෙරනිමිත්තක් වූයේද යන්න කිව හැකි වන්නේ ප්‍රතිඵල පැමිණීමෙන් පසුවය. එය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයටත් අදාළය.
- ශශීන්ද්‍ර