මුජිබර් රහුමාන් - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය
Q මාස කීයකට පස්සෙද පාර්ලිමේන්තුව දැක්කේ?
මම ආවේ අවුරුදු එකහමාරකට පස්සේ. මම අයින් වුණේ 2023 ජනවාරි 20 දා. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාර දෙන්න තිබුණේ සෙනසුරාදා. ඒ නිසා සිකුරාදා අයින් වුණා. අද පත්වීම ගත්තෙත් සිකුරාදා.
Q අයින් වුණේ නගරාධිපති සටන සඳහානේ. ඒත් මැතිවරණය තිබ්බේ නෑනේ. පස්සේ ගෙදර ඉන්න වුණා. බලය නැතුව පිස්සු වගේ හිතුණේ නැද්ද?
මම 19/20 වගේ තමයි දේශපාලනයට ආවේ. වාමාංශික ව්‍යාපාර එක්ක වැඩ කරලා, විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන්න ගිහින් ශිෂ්‍ය සංගම් එක්ක වැඩ කරලා තමයි දේශපාලනය පටන් ගත්තේ. ඒ නිසා මන්ත්‍රීවරයෙක් වෙන්නම ඕනෑ නෑ දේශපාලනය කරන්න කියන එක මුල ඉඳලම තිබුණා. ඒ නිසා මන්ත්‍රීකම නැතිවුණත් මට දැනුණේ නෑ. හැබැයි සමහර තැන්වලදී දැනුණා මන්ත්‍රීකම ඕනෙත් කියලා.
Q ඩයනා ගමගේ එක්ක වැඩියෙන්ම හැප්පුණ කෙනෙක් තමයි ඔබ. අන්තිමේ ඩයනා එළියට විසිවෙලා ඔබ ඒ අවස්ථාවෙන් ඇතුළට ගියා. මොකද හිතෙන්නේ?
2022 වගේ එතුමිය සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ කරුණු දෙකක් හෙළිදරව් කළා. එකක් තමයි මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන රහස් පොලීසිය ඉදිරිපත් කළ නඩුවට අදාළව පරීක්ෂණ ආණ්ඩුව සිදු නොකර පරීක්ෂණ නිලධාරින්ට මාරුවීම් දුන්නා කියන කාරණය. ඊළඟට මෙතුමියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මම කරුණු අනාවරණය කළා. මම ඊට අදාළ වාර්තා පවා සභාගත කළා. පසුව ඒවා පරීක්ෂණවලටත් උදව් වුණා. කොහොම වුණත් හිටපු ආගමන විගමන පාලකවරයා කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයට යවපු ලියුමක් මම දැක්කා. මෙතුමියට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ඉල්ලලා යවපුවම ඒක දෙන්න බෑ, ඇය ලංකාවේ පුරවැසියෙක් නොවන බවට යවලා තියෙන ලිපිය දැක්කා. ඒ ලිපි සභාගත කළා. මම කිව්වා විදෙස් කාන්තාවක් ඉන්න නිසා ඒකට පියවරක් ගන්න කියලා. අන්තිමට ඕක තමා ප්රශ්නය වුණේ. දෛවයේ සරදමක් වගේ මට එළියට ගිහින් ආයේ ඇතුළට එන්න වුණේ ඇය ඉවත් වීමත් එක්ක.
Q ඒ පරාජය කිරීම ගැන සතුටක් ඇති නේද?
නෑ මට තියෙන්නේ දුකක්. මේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලාංකික නොවන විදේශිකයෙක් අවුරුදු තුනකට එහා හිටියා. මේ බව දැනගෙනත් එයා හිටියා නඩුව යද්දිත්. හැමෝම දැනගෙන නිශ්ශබ්දව හිටියා. මට දුක මේක පුදුම රටක්. අර ඕෂල හේරත් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියේ නැත්නම් තවම ඉන්නවා.
Q ඔය මන්ත්‍රී ධූරය වටින්නේ ජනතාවට සේවය කරන්න. ඒත් අද වෙද්දි වටින්නේ පැත්ත මාරු කරන්න. ඡන්දයත් ළඟ නිසා කෝටි ගාණකට මන්ත්‍රී ධූරයට ලංසුවක් එන්න පුළුවන් නේද? එහෙම ආවේ නැද්ද?
ඔය වගේ ලංසු ආවා 2018 දි යහපාලන ආණ්ඩුව විසුරුවලා මහින්ද රාජපක්ෂ අගමැති කරපු වෙලාවෙත්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආපුවමත් ඔය ඔෆර් ආවා. ඒ ආවට අපි යම් ප්‍රතිපත්තියක් උඩ දේශපාලනය කරන අය. අපි ඒ අදහස සහ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්නවා. මුදල්වලට දේශපාලන ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ.
Q දැන් ඔබත් එක්ක නගර සභාවට තරග කරන්න ආපු අයට මොකද වෙන්නේ?
මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩුවේ ප්රශ්නය තියෙන්නේ. ආරංචියක් තියෙනවා පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්නත් ඉඩ තියෙනවා කියලා. අපේක්ෂකයන්ට කරන්න දෙයක් නෑ. නම විතරයි තියෙන්නේ. ඡන්දය තියෙනකල් ඉන්න වෙනවා.
Q ඒ කියන්නේ ආයේ පළාත් පාලන මැතිවරණය ආවොත් ඔබ නගර සභාවට තරග කරනවද?
බලමු බලමු... දැනට ඒ අදහස ගැන කල්පනා කරන්නෙ නෑ.
Q දැන් ඔබ හිතන්නේ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය මොන වගේ තැනකද තියෙන්නේ?
මම නම් විශ්වාස කරනවා එක දෙයක්. මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඊළඟ ආණ්ඩුව හැදීමේ බලය තියෙනවා. මොන මැතිවරණය ආවත් දිනන්නේ සමගි ජන බලවේගය.
I ගයාන් ගාල්ලගේ