2024 මැයි 11 වන සෙනසුරාදා

අපි රනිල්ට ණය නැහැ රනිලුත් අපට ණය නැහැ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

සංජීව එදිරිමාන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • අපේක්ෂකයා කවුරු වුණත් අපේ ආර්ථික ප්‍රතිපත්තියට යටත් වෙන්න ඕනෑ
  • අතීතයේ ගත්ත ඡන්ද ගාණ මැනලා අද දිනන්න පුළුවන් කියා හිතන අය ඉන්නවා
  • පොහොට්ටුවට අද අපේක්ෂකයෝ ඕන තරම් එනවා

Q ඔබලගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය පසුගියදා විවෘත කළා. හැබැයි තවම අපේක්ෂකයෙක් නම් කරලා නෑ. මොකක්ද මේකේ අරමුණ?

අපි විශ්වාස කරන දෙයක් තියෙනවා. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු අවශ්‍ය බව ඇත්ත. ඒත් ඒ සඳහා මැතිවරණ මෙහෙයුම් ව්‍යුහය හදාගන්න අවශ්‍යයි. ඒ වගේම අපි විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කරගත යුතුයි. පස්සේ අපේක්ෂකයෙක් තෝරා පත් කරගත යුතුයි. මේ තුනම සමාන්තරවම එන්න ඕනෑ. ඒකේ පළවෙනි එක තමයි මුළු රටම මෙහෙයවන්න පුළුවන් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් සකස් කරගත යුතුයි. ඒ සඳහා දත්ත රුස් කරගන්න ඕනෑ. ඒවා විශ්ලේෂණය කරගන්න ඕනෑ. ඒ වගේම තීරණ ගන්න ඕනෑ. ඒ නිසා තමයි මේක විවෘත කළේ. විශාල ජනතාවකුත් මේ සඳහා ආවා.

Q ඒ කියන්නේ එන කෙනෙක් එනවා නම් පොහොට්ටුව යටතේ එන්න කියලද මේ පොහොට්ටුවට කැමැති අපේක්ෂකයන්ට පණිවිඩය යවන්නේ?

ඔබ දන්නවනේ ගියවර අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරම්භයේ පොහොට්ටුවේ කෙනකු නොවුණත් මැතිවරණය තුළදී ඔහු පොහොට්ටුවේ අපේක්ෂකයා තමා. ඒක තමයි ඇත්ත.

Q හැබැයි වර්තමාන ජනාධිපතිවරයා තරග කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔබලගේ සහයෝගය ඇතිව. ඇයි තවම ඒ අදහසටවත් හා හෝ බෑ නොකියා මේක පටන් ගත්තේ?

අපි දැන් ඕක අනික් පැත්තට බලමුකෝ. දැන් පහුගිය කාලයේ මතයක් තිබුණනේ අපිට අපේක්ෂකයෙක් නෑ, දාගන්න කෙනෙක් නෑ කියලා. ඒත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ. පොහොට්ටුවේ අපේක්ෂකත්වය ඉල්ලමින් අපේක්ෂකයෝ නෙළුම් මාවතේ ඇවිදිනවා. අපේ විරුද්ධවාදීන් හිතුවේ අපිට අපේක්ෂකයෙක් හොයන්න පාර දිගේ යන්න වෙයි කියලනේ. ඒත් දැන් වෙලා තියෙන්නේ අනික් පැත්ත. ඉතින් පක්ෂයක් හැටියට අපිට මොනවද තව දිනන්න තියෙන්නේ?

Q ජනාධිපතිවරයා දිගින් දිගටම කියනවා තිබුණු තත්ත්වයෙන් රට ගොඩගත්තේ තමන් කියලා. එහෙම බැලුවම ඔබලවත් බේරුව නිසා පොඩි කෙළෙහි ගුණයක් තියෙනවා නේද ඔහුට සහාය දෙන්න?

විශ්වාස කරන්නේ නෑ පෞද්ගලික කෘතගුණ සැලකීමක් මේ මැතිවරණයත් එක්ක තියෙනවා කියලා. එහෙම කෘතගුණ සැලකීමක් අපෙන් අපේක්ෂා කරනවා කියලවත් මම හිතන්නේ නෑ. අපිට තවත් කෘතගුණ සලකන්න ඉතුරු වෙලත් නෑ. හිතන්නකෝ තනි මන්ත්‍රී ධූරයෙන් හිටිය රනිල් වික්‍රමසිංහව රටේ ජනාධිපති පුටුවේ වාඩි කරපුවම තවත් ඊට එහා දෙයක් කොහෙන්ද? අපි කියන්නේ නෑ ඔහු අපිට ණයයි කියලා. හැබැයි අපිත් ණය නෑ. අපි ජූලි මැද වෙනකල් අපේක්ෂකත්වය ප්‍රකාශ කරන එක නිසි ලෙසම සිදුකරන්නේ නෑ.

Q ඔබ මොන දේ කිව්වත් ඔබේ ඇතැම් පක්ෂයේ මැති ඇමැතිවරු කියනවා පොහොට්ටුවට හොඳ අපේක්ෂකයෙක් නෑ, දානවා නම් දාන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. මොකක්ද මේ කතාව?

ලෝකයේ කිසිම දේශපාලන ව්‍යාපාරයක සියලු දෙනාගෙම ඒකමතික අදහසක් නෑ. හැබැ‍යි ස්වභාවික ඒකමතික එකඟතා හැදෙන අවස්ථා එනවා. යුද්ධය දින්න වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා දාන්න ඕනෑ කියන තීන්දුව එහෙම එකක්. ඒ වගේමයි බී.ජේ.පී පක්ෂයේ අපේක්ෂකයා මෝදි බව දන්නවා. ඒ තත්ත්වය අනුව. හැබැයි අපි මේ වෙලාවේ ඉන්නේ එහෙම පහසු තැනක නෙවෙයි. ඒක හංගන්න දෙයක් නෙවෙයිනේ. ඒ නිසා විවිධ මතවාද, අදහස් ඇතිවෙන්න පුළුවන්. අනික කාගේ වුණත් අදහස්, මතවාද පක්ෂ නායකයා විසින් යටපත් කරලා නෑ. ඒ නිසා යම් යම් අවස්ථාවල යම් මතවාද එන්න පුළුවන්.

Q ඔබලගේ ආර්ථික ප්‍රතිපත්තිය එක්ක ගත්තම රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආර්ථික වැඩපිළිවෙළ අහසයි පොළොවයි වගේ. දැන් ඒ වැඩවලට අත උස්සල ඊට විරුද්ධව ප්‍රතිපත්ති මාලාවක් අරගෙන අපේක්ෂකයෙක් දාන එක හරිද?

මෙහෙමයි. අපේක්ෂකයා කවුරු වුණත් අපේ ආර්ථික ප්‍රතිපත්තියට යටත් වෙන්න වෙනවා. හැබැයි ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ හැමදාම එක වගේ තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ පවතින තත්ත්වයට සාපේක්ෂව යම් යම් සංශෝධන සිද්ධ වෙන්න ඕනෑ. කවුරු මේ රටේ නායකයා වුණත් අපි ආසා දේවල් කරන්න බෑ. කිසිම දේශපාලන අන්තවාදී ආර්ථික ක්‍රමවේදයකට යන්න බෑ. මැදට එන්න වෙනවා

Q දැන් පොහොට්ටුවේ අයටත් පොදු හතුරා ජාතික ජන බලවේගය නේද?

නෑ එහෙම දකින්නේ නෑ. එන හැම අපේක්ෂකයෙක්ම අපිට අභියෝගයක්. හැබැයි හැමෝම අතීතයේ ඡන්ද ප්‍රමාණය එක්ක මැනලා දැන් තියෙන එකත් එක්ක දැන් අපි දිනුම් කියලා හිතන්න නරකයි. හැම වෙලේම විචාරශීලීව බලන්න ඕනෑ. ගොඩක් අය අතීතයේ ඡන්ද ප්‍රමාණය එක්ක සසඳලා ජයග්‍රහණ ගැන හිතනවා.

I ගයාන් ගාල්ලාගේ

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00