2024 මැයි 11 වන සෙනසුරාදා

ඡන්ද දූෂණ වැළැක්වීම

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

මැතිවරණය, සංවර්ධනය සහ දේශපාලකයා එක වල්ලේ පොල් මෙනි. මැතිවරණයක ලකුණු පහළ වනවිට සංවර්ධනය මතක් වෙන දේශපාලකයා ඊළඟට කරන්නේ පසුගිය කාලය මුළුල්ලේම අමතකව තිබූ තමන්ට ඡන්දය දුන් ජනතාව හමුවට යාමට සැලසුම් කිරීමය. මේ සැලසුම තිතට හරි යාමට නම් ඒ අවස්ථාවට ගැලපෙන සංවර්ධන වැඩක් යොදාගත යුතු බව දේශපාලකයාට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. මෙහෙම වැඩ සිද්ධවෙන විට අමාරුවේ වැටෙන්නේ මැතිවරණ කොමිසමය. මැතිවරණ නීති රීති පිළිබඳව දේශපාලකයන්ට සිහි කැඳවීම් කිරීමට ඊළඟට මැතිවරණ කොමිසමට සිදුවෙයි.

මෙවැනි සිහි කැඳවීමක් මේ වනවිටද සිදුකර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණි. රාජ්‍ය නිලධාරියකු අපගේ පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් එයට සම්බන්ධ කර නොගන්නා ලෙසට රජයට දැනුම් දීමක් කර ඇති බවය. මේ දැනුම් දීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලකි.

රාජ්‍ය බලය සහ සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදු කරන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළක්වා සමාන ඉඩ ප්‍රස්ථා යටතේ මැතිවරණ සඳහා තරග වැදීමට අවකාශය සලසන ලෙසට පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී තිබිණි. අපගේ ''දේශය'' පුවත්පත අදාළ කාරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබුණේ දේශපාලන අධිකාරිය මගින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන බවය. විශේෂයෙන් කල් ගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමනු ලැබ එය අවලංගු කර නොමැති තත්ත්වයක් තුළ සැලසුම් සහගත ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබීම ඔවුන්ට වාසිදායක බලපෑමක් බවද මෙහිදී පෙන්වා දී තිබේ.

මැතිවරණ කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා (09) නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර පවත්වන බවය. ඒ සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදු කරන බවද එහි සඳහන්ය. එම තත්ත්වය තුළ තවදුරටත් දේශපාලනඥයන් සහභාගි කරවා ගන්නා ව්‍යාපෘති සිදු නොකිරීම රජයේ බලධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දිය යුතුය. දැනට අක්‍රීයව පවතින පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රාදේශික උපදේශක කමිටු පත් කිරීම වැනි පියවර ගැනීමේදී රජය වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ඒ සඳහා ඍජුවම දේශපාලකයන්ට මැදිහත් වීම් සිදු කළ හැකි බැවිනි. එම උපදේශක කමිටු මගින් සුබසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම දේශපාලකයන්ට ලැබෙන වාසියකි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන දේශපාලකයන්ට මෙහිදී සිය ඡන්ද දායකයන්ට දැඩි බලපෑමක් සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව පැහැදිලිය. එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියට බාධාවකි.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ පොදුවේ රටටත් ජනතාවටත් ඉහළම ප්‍රයෝජනයක් ලබාදීමට මිස දේශපාලන ව්‍යාපෘති වශයෙන් නොවේ. හැම ආණ්ඩුවක් විසින්ම දැන දැන සිදු කරන වැරැද්දක් වන්නේ මැතිවරණයක් ආසන්න වනවිට සංවර්ධන ක්‍රියා වේගවත් කිරීම වැනි විවිධ විශේෂණ පද යොදා ගනිමින් දේශපාලනයට ඒ කටයුතු ඈඳා ගැනීමය. මේ තත්ත්වය වළක්වා ගැනීමට මැතිවරණ කොමිසම කර ඇත්තේ පැෆරල් සංවිධානය කළ පැමිණිල්ලේ සඳහන් කරුණු සලකා බලා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලනඥයන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියකින් දැනුම් දීමය. එම ලිපියට අනුව කරුණු සිදුවන්නේ නම් එය යහපතකි. එයට අනුගතව තම කටයුතු කිරීම දේශපාලකයන්ගේ වගකීමය.

මැතිවරණයක ඉව දැනෙන විට කලබල වී සංවර්ධන වැඩ මතක් වෙන දේශපාලකයෝ මේ රටේ හිඟ නොවෙති. වසර කිහිපයක් යනතුරු ජනතාවගේ පැත්ත නොබැලූ එවැනි දේශපාලකයන් ලහි ලහියේ සහල් බෙදා දීම්, නිවාස දීම්, ඉඩම් ඔප්පු දීම් වැනි රජයේ සුබසාධන වැඩවලට එකතු වී ලකුණු දමා ගැනීමට සූදානම් වීම බලාපොරොත්තු විය යුතුය. නමුත් එවැනි මැතිවරණ දූෂණ ක්‍රියා සිදුවීමට ඉඩ නොතැබීම රජයේ බලධාරීන්ගේ වගකීමයි.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00