2024 මැයි 11 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ප්‍රකාශය සහ මහ මැතිවරණය

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කළේ දේශපාලන කරළියේ මතුවෙමින් තිබෙන හදිසි මහ මැතිවරණ කතාව යටපත් කර දැමීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මුදා හැරීමට නියමිත ඊළඟ වාරිකය ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවට කතාවක් පැතිරෙමින් තිබිණි. කෙසේ වුවද ජනාධිපතිවරණය පැවැත්වෙන බව එම කාලසීමාවද සඳහන් කරමින් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළේය. එයින් හදිසි මහ මැතිවරණයක් පිළිබඳ පවතින හා-හෝවට තිත තැබෙනු ඇතැයි සඳහන් වේ. ලබන ජූලි මස අගදී හෝ අගෝස්තු මුලදී සිට ක්‍රියාත්මක කළ යුතු ජනාධිපතිවරණ මූලික වැඩ කටයුතු ආරම්භයට පෙර මහ මැතිවරණයක් පවත්වා අවසන් කිරීම මැතිවරණ කොමිසමට දැඩි වෙහෙසකාරී රාජකාරියක් වන නමුත් ජනාධිපතිවරයාගේ අභිලාෂය එය නම් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමට නෛතිකව හැකියාවක් නොමැති බවද පැවසේ.           

ඩේලි මිරර්

බෝගොල්ලාගමගේ ලන්ඩන් ඇරියුම ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා විසින් පසුගියදා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ආරාධනාවක් එවා තිබිණි. තමා තුන්වැනි චාල්ස් රජතුමන් හමුවේ අක්ත පත්‍ර බාරදීම සැමරීම සඳහා සූදානම් කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට සහභාගි වෙන්නැයි එහි සඳහන් විය.

බෝගොල්ලාගම මහතා සිය අක්ත පත්‍ර මැයි 30 වැනිදා ලබාදීමට නියමිතව සිටී. එදිනම සවස් භාගයේ ලන්ඩන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එම උත්සවය පැවැත්වීමට නියමිතය. 

ජනාධිපති ලේකම්වරයාට ගරැ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වෙන්නැයි මෙසේ ඇරියුම් කොට තිබුණේ ඔහු ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ප්‍රධානියා බැවිනි. කෙසේ වුවද දැනගන්නට ලැබී ඇත්තේ සමන් ඒකනායක මහතා එම ආරාධනාව ආචාරශීලීව ප්‍රතික්ෂේප කර ඇති බවයි. ''මට පැමිණීමට ලන්ඩනය දුර වැඩියි.'' යනුවෙන් ඔහු සඳහන් කර ඇතැයි කියති.       

- සන්ඩේ ටයිම්ස්