2024 මැයි 11 වන සෙනසුරාදා

සිව්කොන් සටනක්ද?

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 176

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ පළමු නිල ප්‍රකාශය පසුගියදා නිකුත් වුණේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම මැයි දින රුලිවලින් පස්සේ හති අරිමින් සිටින අතරේය. සජබට මෙය තවත් අතකින් වැදගත් වුණේ ඔවුන්ට ලොකුම හිසරදයක් වී තිබුණු ඩයනාගේ කේස් එක ගැන තීන්දුවක් ලැබී පැය 24ක් ගතවෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි. ඒ වගේම සමගි ජන බලවේගය හදන්න මූලික වූ පක්ෂයේ අයිතිය ඩයනා සතුවීම හේතුවෙන් යූ.එන්.පීයටද ඒ හරහා සජබට නීතියෙන් පහර ගැසීමට පොටක් පෑදුණේය. හැබැයි පොහොට්ටුව නම් ඩයනාගේ කේස් එක ලොකුවට ගත් බවක් පෙනුණේ නැත. ඔවුනට විසඳා ගැනීමට බරපතළ ගැටලු ගණනාවක් තිබීම සමහර විට එයට හේතු වන්නට ඇත.

ගෙවී යන සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ මේ තත්ත්වය හේතුවෙනි. බැලූ බැල්මට එළඹෙන ජනාධිපතිවරණය තුන්කොන් සටනක් නොව සිව්කොන් සටනක් බවට පත්වෙන ලකුණු පහළ වෙමින් තිබේ. සජබ සහ ජා.ජ.බ. විපක්ෂය නියෝජනය කරමින්ද යූ.එන්.පිය සහ පොහොට්ටුව ආණ්ඩුව නියෝජනය කරමින්ද ජනාධිපති සටනට සැරසෙන බව පිටතින් පෙනෙන්නට තිබේ. මේ අතුරින් තමන් ජනාධිපතිවරණයට තරග කරන බව මෙන්ම පැහැදිලිවම තමන්ගේ අපේක්ෂකයන් කවුදැයි ප්‍රකාශ කරන්නෙත් සජබ සහ ජා.ජ.බ. පමණක් බවත් කැපී පෙනෙයි. පොහොට්ටුව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ තමන් ජනාධිපතිවරණයට තරග කරන බවයි. එහෙත් අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කිරීමට ඔවුන් ඉක්මන් වෙන්නේ නැත. යූ.එන්.පියද වරින් වර සිදු කරන ප්‍රකාශවලින් ඉඟි කරන්නේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයකු වශයෙන් තරග කරන බවය. ඒ අතර ඒ ගැන තමන්ගේ මතය ජූලි මාසයේදී ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා පසුගියදා බැසිල් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී කියා තිබිණි. ඔහු වෙනුවෙන් කැම්පේන් එක කරන පිරිසද මේ වන විටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටිති. ජූනි මාසයේදී මාතරින් ඒ සටන අරඹන බවද ප්‍රකාශ වී තිබේ.

එහෙම බැලුවොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සිව් දෙනෙකි. සජිත් ප්‍රේමදාස (සජබ), අනුර කුමාර දිසානායක (ජා.ජ.බ.), රනිල් වික්‍රමසිංහ (යූ.එන්.පී.) තිදෙනා මේ වනවිට නම් ප්‍රකාශයට පත්කර තිබෙන අතර පොහොට්ටුව තවම අපේක්ෂකයකු නම් කර නැතත් එම අපේක්ෂකයා බොහෝ දුරට ධම්මික පෙරේරා බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහුට පොහොට්ටු මැයි දින වේදිකාවේ රාජපක්ෂවරුන් මැද ලබා දී තිබූ ආසනයත් ඩී.පී. එඩියුකේෂන් හරහා ධම්මික පෙරේරා මේ කැම්පේන් එක වෙනුවෙන් මේ වන විටද රුපියල් මිලියන ගණනින් තම ධනය වැය කිරීමත් ඔහු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවට පැහැදිලි මුද්‍රාවක් තබා සිටියි. ඒ අනුව දැනට පෙනී යන්නේ එළඹෙන ජනාධිපතිවරණය සිව්කොන් සටනක් බවට පත්වෙමින් තිබෙන බවය.

සටන සිව්කොන් වුණත් සැබෑ තරගය පවතින්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර බව අවිවාදිතය. මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ වෙනස්ම තත්ත්වයකි. මෙතෙක් කාලයක් අපේක්ෂකයන් කොතරම් සිටියත් සැබෑ තරගය තිබුණේ ආණ්ඩුවේ අපේක්ෂකයා සහ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා අතරය. නමුත් මෙවර තත්ත්වය එයට වඩා හාත්පසින්ම වෙනස් වී තිබේ. ජයග්‍රාහකයා කවුරු වුණත් ප්‍රථම වතාවට විපක්ෂයේ පක්ෂ නායකයන් දෙදෙනකු අතර සටනක් බවට පත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය වශයෙන් මෙය ඉතිහාසගත වනු ඇත.

මෙහෙම වෙන්නේ රටේ පවතින විකෘති වී ගිය දේශපාලන පසුබිම හේතුවෙනි. මේ පවතින විකෘති ස්වභාවය පසුගිය මැයි දින වේදිකාවලින්ද පැහැදිලිව පෙනුණි. කොළඹ කොටුවේ චැතැම් වීදියේ පැවැති සජබ මැයි දින වේදිකාවේ ඊට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ජී.එල්. පීරිස්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ නාලක ගොඩහේවා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වූ ගයන්ත කරුණාතිලක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ද සිටියහ. සජබ නායක සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනගේ කැබිනෙට්ටුවේ සිටි ඩිලාන් පෙරේරා ද වේදිකාවේ සිටියේය.

කැම්බල් පිටියේ පොහොට්ටු වේදිකාවේ බැසිල් රාජපක්ෂත් සමඟ ගෝඨාභය රාජපක්ෂ, රජයේ අමාත්‍යවරුන් වූ නාමල් රාජපක්ෂ ද වත්මන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ කාංචන විජේසේකර ද සිටියහ.
මාලිගාවත්තේ පැවති යූ.එන්.පී. රැලියේ වේදිකාවේ මෛත්‍රීපාල සිරිසේන රජයේ අමාත්‍යවරුන් වූ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ රවි කරුණානායක වූහ. එපමණක් නොව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවල සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ද ප්‍රධාන වේදිකාවල පෙනෙන්නට සිටියේ නැත.

මෙවර මැයි රුලි සංවිධානය කිරීමේදී සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවල අරමුණ වී තිබුණේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය බව පැහැදිලිය. එය ඇතැම්විට මහ මැතිවරණය විය හැකි වුවද ජනාධිපතිවරණය කෙරෙහි වඩාත් අවධානයක් යොමු වී තිබෙන ආකාරයක්ද පෙනී ගියේ නායකයන් කළ කතා ඇසුරෙනි. තමන්ගේ නායකත්වයෙන් කළ හැකි සේවය ඔවුන්ගේ කතාවල හරය බවට පත්ව තිබිණි. හැම රැලියකටම රටේ සිව් දිගින් ජනතාව පැමිණීමටද මැතිවරණ උණුසුම බලපා තිබූ බවද පෙනිණි. මීට පෙරදී පැවති මැයි දින රුලිවලට වඩා වෙනසක් මෙවර තිබූ බව ඒ ඒ වේදිකාවල විසිරී ගොස් තිබූ විවිධ චරිත අතරින් පැහැදිලි විය. ඊළඟට තිබෙන්නේ ජනාධිපතිවරණය නම් ඒ සඳහා වන පූර්ව සූදානමේ පළමු පියවර මැයි දිනය විය.
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු විය හැකි බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ඔවුන් පෙන්වා දෙන හැටියට ආර්ථිකය මේ තරමට හෝ අර්බුදයෙන් ගොඩ ඒමට ලබාදුන් නායකත්වය හේතුවෙන් රනිල් මේ වන විට යූ.එන්.පී.යෙන් ඈත්ව සිටි පිරිස අතුරින් සෑහෙන පමණින් යළි පක්ෂයට ආකර්ශනය කර ගැනීමට සමත්ව සිටී. විදෙස් සංචිතය වර්ධනය වීම, සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීම සහ සුබසාධන වැඩ ක්‍රියාත්මක කිරීම හරහා ඔහු ජනතාව අතරේ කලින් සිටියාට වඩා ජනප්‍රිය වී සිටින බවද සඳහන්ය. මැයි රැලියට සුදු පැහැ කමිසයකින් සැරසී පැමිණි ජනපතිවරයා රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට තමන් සමඟ එක්වන්නැයි සියලු දෙනාටම විවෘත ආරාධනාවක්ද කළේය. ඊට පසුව පාර්ලිමේන්තුවට හදිසියේම පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් තමා බාර ගත්තේ ගිනිගත් අපායට වැටුණු රටක් යැයි ද දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළින් පිට පැන්නොත් නැවත පරණ අපායට රට වැටෙනු ඇතැයිද කීවේය.

හැබැයි මේ කතාවට සජිත් පාර්ලිමේන්තුවේදීම සැර උත්තරයක් දුන්නේය. ජනාධිපතිවරයා ගිනිගත් රටක් අපායක් බාරගෙන රට ගොඩගත් බව කිව්වත් දැන් ජනතාවගේ කරපිට අසහනය, පීඩනය, කලකිරීම, දුක ඇතිකර තිබෙන බවත් ආර්ථිකය හැකිලී ගෑස්, තෙල්, විදුලි බිල් වැඩි වී ව්‍යාපාර කඩා වැටී තිබෙන බවත් සජිත් කීය. ජන ජීවිත බරපතළ අවදානමකට ලක්වූ යුගයක ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පැන ගිය බවටද සජිත් චෝදනා කළේය.

ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන්නේ තමන්ගේ මැයි රුලිවලට රට පුරා තිබූ ජනතාවගේ සහභාගිත්වය 3% සිට 51% ට යා නොහැකි බවට සමහරුන් ගෙනෙන තර්කවලට හොඳම පිළිතුරක් සපයා ඇති බවය. එසේම වත්මන් දූෂිත ආර්ථික පාලනය යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙය බවටද අනුර කුමාරගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ අතර මැයි රැලියෙන් ඇතිවූ ගැම්ම සමඟම පොහොට්ටුව පසුගිය සිකුරාදා (10) ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට නවීන උපාංග සමඟ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමට පියවර ගත්තේය. මේ අවස්ථාවටද විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ධම්මික පෙරේරාත් එතැන සිටියේය. කාර්යාලය විවෘත කෙරුණේ හිටපු කතානායක රාජපක්ෂ පවුලේ වැඩිහිටියකු වන චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතිනි. මේ සෑම අවස්ථාවකම රාජපක්ෂවරුන් ඉදිරියෙන්ම සිටිමින් දේශපාලන කටයුතු මෙහෙයවීම කැපී පෙනෙයි. වසර දෙකකට ඉහතදී තිබූ තත්ත්වය සමඟ සසඳන විට එය රාජපක්ෂවරුන්ගේ සෑහෙන ඉදිරි ගමනකි. නමුත් පොහොට්ටුව යනු රාජපක්ෂවරුන් විසින් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉදිරියෙන්ම තබා ගැනීමට ක්‍රියාත්මක වන පක්ෂයක් හැටියට යන අදහස යළි යළිත් සමාජය තුළ ස්ථානගත වෙමින් පවතින බවද පෙනී යයි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය පොහොට්ටුවට ඉතාම තීරණාත්මක වන බවද පැහැදිලිය.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශනය අනුව ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස 04ක පමණ කාලයක් පමණි. ඒ කාලය තුළදී මේ ජනපතිවරණ ​අපේක්ෂකයන් සිව්දෙනා ගන්න තීරණ දේශපාලන කරළිය උණුසුම් කරනු ඇත. ඩයනාගේ මන්ත්‍රී පට්ටම ගැලවීම ඒ උණුසුම වැඩි කරන උත්ප්‍රේරකයක් වී ඇතැයිද පෙනෙන්නට තිබේ. ජනාධිපති අපේක්ෂකයන් කොයි තරම් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටියත් දෙන්නෙ කාටද කියන තීන්දුව ගන්නේ ඡන්ද දායකයාය. ඔවුන්ගෙන් බහුතරය දක්වන නිහඬ බව ලොකු දේශපාලන කුණාටුවක පෙරනිමිත්තක් වෙන්නත් බැරි නැත.

I ශශින්ද්‍ර