2024 මැයි 18 වන සෙනසුරාදා

එක දවසට නඩු දෙකතුන දාලා පක්ෂය වනසනවා

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

නීතිඥ කීර්ති උඩවත්ත - වැඩ බලන මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  • ශ්‍රීලනිපයේ බහුතරය ඉන්නේ අපිත් එක්ක
  • විජයදාස මහත්තයා අපේ ජනාධිපති අපේක්ෂකයායි
  • මෛත්‍රීපාල මහත්තයට වන්දි ගෙවන්න මමත් සල්ලි දුන්නා

Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කොයි පැත්තෙද? 

ඒකෙන් ඔබ අදහස් කරන්නේ?

Q නෑ පාර්ශ්ව ගොඩක් තියෙනවනේ. කොයි පැත්තෙද කියලා අපිට හොයාගන්න බෑ?

පක්ෂයක ව්‍යවස්ථාව තමා පක්ෂයේ නීතිය වෙන්නේ. පක්ෂයේ විධායක සභාව, මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය කියන තැන්වල බහුතර බලය තියෙන කණ්ඩායමට තමා පක්ෂයේ නීත්‍යානුකූලභාවය තියෙන්නේ. ඒ  අනුව අපි මැතිවරණ කොමිසමට දැනුම් දුන්න විදිහට පක්ෂයේ බහුතර බලය තියෙන්නේ අපිට. මම නියෝජනය කරන විජයදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට.

Q ඇයි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එකපාර අයින් වුණේ?

එතුමා මෙහෙම බලය අත්හරින්න අදහසක හිටියා කියන කාරණය බලය අත්හල මොහොතේ සිදු කරපු එතුමගේ කතාවත් එක්ක පැහැදිලියි. අධිකරණ තීන්දුව එක්ක වැඩේ ඉක්මන් වුණා කියලයි එතුමා කිව්වේ. මේ වාරණය තවදුරටත් කල් ගියොත් එතුමට මැතිවණවලට සම්බන්ධ වීම වගේ දේවල්වලට බාධා වන නිසයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ.

Q ඔබත් පරණ ශ්‍රී ලංකා කාරයෙක්. පක්ෂයට ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා කාරයෙක් නැද්ද සභාපති පුටුවට වාඩි කරවන්න?

පක්ෂයේ ජ්‍යෙෂ්ඨම කෙනා ඉන්නේ නිමල් සිරිපාල මැතිතුමා. ඒත් එතුමා පක්ෂයේ ස්ථාවරය එක්ක හිටියේ නෑ. එතුමා ඇතුළු කණ්ඩායමක් කටයුතු කරන්නේ රජය එක්ක. ඒ නිසා මධ්‍යම කාරක සභාව ඉල්ලීමක් කළා ආණ්ඩුවෙන් ඉවත් වෙලා කටයුතු කරන්න කියලා. ඒත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. ඒ නිසයි පක්ෂය ඔවුන්ව තනතුරුවලින් ඉවත් කරලා මේ ගමන යන්න ගියේ. මේ නිසා නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයට ගියා. ඒත් ඒක ප්‍රතික්ෂේප වුණා. පස්සේ අභියාචනාධිකරණයට ගියා. එතැනදී එතුමට වාසියට තීරණය ලැබුණා. ඒත් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තීරණය කළේ නෑ, පවතින මූල්‍ය අර්බුද නිසා. විශේෂයෙන් පක්ෂයේ දෙපාර්ශ්වයක් මෙහෙම වෙන්න ඕනෑ නෑ. ඒ අය හදන්නේ පක්ෂයට ඇතුළු වෙන්නනේ කියලා අපි නඩු නොදා අවස්ථාවක් දුන්නා. හැබැයි ආපු දවසේ ඉඳලා ඔවුන් කළේ පක්ෂය විනාශ කරන වැඩපිළිවෙළ. අපි අතර තිබුණු එකමුතුව විනාශ කළා. මේ නිසා තමයි ශාන් විජේලාල් මැතිතුමා සජබයට ගියේත් දයාසිරි ජයසේකර මහත්තයව පක්ෂයෙන් ඉවත් කරන්නෙත්.

Q ඔබලා කතා කළේ ශ්‍රීලනිපයේ විපක්ෂයේ භූමිකාවලු. ඒත් පක්ෂයේ සභාපති ආණ්ඩුවේ අධිකරණ ඇමැති?

ඔය කතාව බහුතරයක් නගන ප්‍රශ්නයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුණාට අපි ඉල්ලුවේ පොහොට්ටුව එක්ක. ඒත් අපි පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ ස්ථාවරය රකින්න ඕනෑ. ඒ ස්ථාවරය රුක්කේ නැති නිසයි ඔවුන්ට එරෙහිව කටයුතු කළේ. ඒත් විජයදාස රාජපක්ෂ මහත්තයා කියන්නේ පොහොට්ටුවේ කෙනෙක්. එතුමා කොහොමත් ආණ්ඩුවට සම්බන්ධයි. හැබැයි ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අපේ පක්ෂයේ සාමාජිකත්වය අරගෙන අපිට එකතු වීම විශේෂ දෙයක්. එතුමා ආණ්ඩුවේ ඉඳලා අපිට සම්බන්ධ වුණේ. ඊළඟ පියවර වෙන්නේ ජනාධිපතිවරණයකදී හෝ මොකක් හරි එකකදී අමාත්‍ය ධූරය දාලා එකතු වෙන එක.

Q එතුමා ලෑස්තිද බලය තනතුරු අත්හරින්න?

එතුමා වැඩ බාරගත්ත දවසේ එතුමගේ වචනයෙන්ම කිව්ව දේ මම කියන්නම් "මට ඇමැතිකම් කරලා පුරුදුයි, මාව අස් කරලා තියෙනවා, මම අස්වෙලා තියෙනවා. ඕනෑ දේකට සූදානමින් මම ආවේ. ඔබතුමාලා කියන ඕනෑම වෙලාවක මම සියල්ල පරිත්‍යාග කරලා එන්න ලෑස්තියි" කියලා.

Q තවම පක්ෂයෙන් කිව්වේ නැද්ද අයින් වෙන්න කියලා?

නෑ පක්ෂයෙන් කිව්වා ඔබතුමා ඔය ඉන්න විදිහට ඉන්න කියලා. අපි ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන මොහොතක හෝ ඔබතුමා අයින් වෙලා එන මොහොතක අයින් වෙලා එන්න කියලා කට්ටිය කිව්වා. එතුමා බලහත්කාරයෙන් එතන රුඳී ඉන්නේ නෑ.

Q ඔය ස්ථාවරයෙමනේ දයාසිරි ජයසේකර මහත්තයා හිටියේ. අන්තිමේ ඔහුට පයින් ගහලා එළෙව්වා වගේ වැඩක් කළේ. මොකක්ද මේ ස්ථාවරය?

ඔබ කියන එක හරි, එතුමගේ සිද්ධිය නම් හරිම කනගාටුදායක සිද්ධියක්. ඔය වෙනම ඉන්න කණ්ඩායම අධිකරණ නියෝගයෙන් පස්සේ පක්ෂයට ආවා. දයාසිරි ජයසේකර මහත්තයගේ අදහස වුණේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි කියලා. නමුත් පක්ෂය තුළ තිබුණු ආර්ථික අවුල නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ අය පක්ෂයට ගන්න තීරණය කළේ. ඒත් ඔවුන් ආවේ තවත් කොන්ත්‍රාත්තුවක් අරගෙන. ඒ ඇවිල්ලා පක්ෂ නායකත්වයට බලපෑම් කළා දයාසිරිව අයින් කරන්න. ඔහු කුමන්ත්‍රණ කරනවා අරක මේක කියලා. ඔහු නාමයෝජනා අත්සන් කරයිද දන්නේ නෑ කිව්වා.

Q ඒ කියන්නේ පක්ෂය විනාශ කළේ ඒ අයද?

අනිවාර්යෙන්ම. ඒ අය තමා විනාශ කළේ. ඔවුන් දැන් කරන්නෙත් ඒක. අපිට පොදුජන පෙරමුණත් නැති කළා ලසන්න අලගියවන්න, එයා ලේකම් නිසා. අන්තිමේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැති කළා මහින්ද අමරවීරයි, තිලංග සුමතිපාලයි. දැන් අපිට තියෙන්නේ මෙච්චරයි. ඒකත් නැති කරන්න තමයි මේ යන්නේ. මේ කරන්නේ පක්ෂය විනාශ කරන කොන්ත්‍රාත්තුවක්. පාක්ෂිකයෝ පුදුම වෙලා ඉන්නේ. නඩු එක දවසට දෙක තුන දාන්නේ. මොකක්ද මේකේ ‍තේරුම, මොනවටද මේ නඩු, පක්ෂයට ආදරේටද? නෑ, ඕනෑ පක්ෂය විනාශ කරන්න.

Q ඔබලට පක්ෂයයි ලාංඡනයයි නැතිවුණොත්?

ඔය කවුරු නැතිවුණත් ජනතාව ඉන්නේ අපි එක්ක. ජනතාව ඉන්න තැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ. ජනතාව නැතුව මොනවා තිබුණත් වැඩක් නෑ. ජනතා අධිකරණය හමුවේ විනාශ වෙනවා ඔය හැමෝම.

Q මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂය විකුණලා සල්ලි අරගෙන පාස්කු වන්දි ගෙව්වා කියලා චෝදනා කරනවා. මොකක්ද මේ කතා?

අනේ මමත් එතුමට ඔය වන්දි ගෙවන්න සල්ලි දුන්නා. පොළොන්නරුවේ අම්මලා කැට කඩලා ගේන්නේ සල්ලි දෙන්න. එතුමා ඩඩ්ලිගෙන්වත් සතයක් ගත්තේ නෑ. අපේ සංවිධායකවරුයි, අපියි තමයි එතුමට උදව් කරන්නේ. ඒ නිසා ඕවා මඩ ප්‍රචාර.

Q මේ පාර ජනාධිපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂද?

මේ වෙලාවේ හොඳම කෙනා තමා අපේ පක්ෂයේ සභාපති වෙලා ඉන්නේ. එතුමා ඉතාම උගත් බුද්ධිමත් කෙනෙක්. ඔහු අපේ නායකයා. ඔහු අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කළ යුතුයි. ඒක ඔහුට තියෙන වගකීමක්.

I ගයාන් ගාල්ල‌ගේ