දුමින්ද දිසානායක - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (වැඩ බලන මහලේකම් නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය)
Q මොන සෙල්ලම් දැම්මත් අන්තිමේ දුමින්ද දිසානායකලා පැරදුණා නේද?
නෑ කිසිම පරාජයක් වෙලා නෑ. තවම පටන් ගත්තා විතරයි.
Q ඒ වුණාට දැන් ශ්‍රීලනිපයේ සභාපති විජයදාස රාජපක්ෂ මහත්තයනේ?
ඕනෑම කෙනෙක්ට සභාපති හැටියට පත් කරගන්න යෝජනා කරන්න පුළුවන්. හැබැයි මේක පක්ෂයක් මිසක් තනි බූදලයක් නෙවෙයි. මේකට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව අනුව පූර්ණ සාමාජිකත්වයක් නැතුව පක්ෂයේ සභාපති පුටුවේ වාඩිවෙන්න බෑ. විජයදාස මහත්තයා සාමාජිකත්වය අරන් තියෙන්නේ අප්‍රේල් මාසයේ. තවම මාසයක්වත් නෑ සාමාජිකත්වය. ඒක එතුමත් මාධ්‍ය ඉදිරියේ පිළිගත්තා. අනික එතුමා පක්ෂයේ සාමාජික කාඩ්පතයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතින් ලබාදුන්න ලිපියකුයි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලිපිය වුණත් පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හයවැනි විධායක ජනාධිපති කියන ලෙටර් හෙඩ් එකෙන්. අනික එතුමා පාර්ලිමේන්තු යන්නේ පොහොට්ටු සාමාජිකත්වයෙන්. අපි අපේ පක්ෂයට ගන්න කලින් අහන්න වෙනවා පොදුජන පෙරමුණෙන් එතුමා සාමාජිකත්වය ඉල්ලා අස්කර ගත්තද කියලා.
Q ඒ කියන්නේ විජයදාස මහත්තයගේ පත්වීම නීතිවිරෝධියි?
පැහැදිලිවම නීතිවිරෝධියි. පොදුජන පෙරමුණෙන් අයින් වුණාද කියන එකට එතුමා උත්තරයක්වත් දෙන්නේ නෑනේ.
Q ඇත්තටම ඔය කියන විදිහට වෙන පක්ෂයක කෙනෙක්ට දෙන්න වෙලා තියෙන්නේ පක්ෂයට නායකයෝ නැති නිසා වෙන්න ඇති?
පාක්ෂිකයෝ සහ අපේ සංවිධායකවරු කල්පනා කරනවා මොකද මේ පක්ෂයට වෙන්නේ කියලා. කොයි පක්ෂයෙද පක්ෂයේ නොවන සාමාජිකයෙක්ට පක්ෂයේ සභාපතිත්වය දීලා තියෙන්නේ. ඉතිහාසයේ බලපුවම කවුරුත් එහෙම පාවාදීමක් කරලා නෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය පාවා දීලා තියෙන්නේ. බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරලා මේ පක්ෂය විනාශ කරන්න ගියා. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය සමූල ඝාතනය කළා.
Q විජයදාස මහත්තයා සභාපති වුණාම ඔබලට කතා කළේ නැද්ද?
නෑ කතා කළේ නෑ.
Q ඔබලට මේ පත් කිරීම සිදු කරන රුස්වීමට ආරාධනා කළේ නැද්ද?
අපිට ලිපියක් එවලා තිබුණා. ඒත් ඒක පිළිගන්න බැරි නිසයි අධිකරණයට ගිහින් තියෙන්නේ. මේ රැස්වීම කැඳවලා තිබුණේ සරත් ඒකනායක මහත්තයා. එතුමා පක්ෂයේ ලේකම්වරයා නෙවෙයි. මම වැඩ බලන ලේකම්වරයා. වැඩ බලන සභාපති නිමල් සිරිපාල ඇමැතිතුමා. එතුමාට නියෝජ්‍ය ලේකම් හැටියට සභාපතිගේ උපදෙසක් නැතුව විධායක සභාව කැඳවන්න බෑ. අනික එතුමට ලේකම් තනතුරේ වැඩ බලන්නත් බෑ. දයාසිරි ජයසේකර මහත්තයා දාපු නඩුවට අනුව ඔහුට වාරණයක් තියෙනවා.
Q දැන් පත්වෙලා ඉවරයිනේ. මොකක්ද ඒ වෙනුවෙන් ගන්න පියවර?
මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ දේපළක් නෙවෙයි කැමැති කැමැති අයව සභාපති කරවන්න. ඒක එතුමට තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැති නිසා අපි අධිකරණයට යනවා. අධිකරණයේ පිහිට පතනවා.
Q මෛත්‍රීපාල මහත්තයා නම් කිව්වේ එතුමට බලය වැඩක් නෑ, බලය අත්හරින්න ලෑස්තියි කියලා?
බලයට ආසාවක් නැතිවෙන්න පුළුවන්. ඒත් පක්ෂයේ නොවන කෙනෙක්ට පක්ෂයේ සභාපතිකම් දෙන්න බෑ. ඉතිහාසයේ කොයි පක්ෂයෙන්ද එහෙම කළේ. මෛත්‍රීපාල මහත්තයා ඉතිහාසගත වෙනවා.
Q ඔබ යහපාලන සමයේ ඉඳලා මෛත්‍රීපාල මහත්තයා එක්ක ඉන්නෙ. අද හිතෙන්නේ නැද්ද කරගත්ත මෝඩකමක් කියලා?
අපිට 100% ක් පුද්ගලයෝ ගැන විශ්වාස කරන්න බෑ. විශාල දේශපාලන පරිවර්තනයක් කරන්න ආසාවෙන් තමයි අපි එතුමා එක්ක එකතු වුණේ. ඒ සද්භාවය විනාශ කළා මහින්ද මහත්තයා අගමැති කරලා. ඒක එතුමගේ කොලිටි එකේ ප්‍රශ්නයක්. වැඩපිළිවෙළේ ගැටලුවක් නෑ.
Q දැන් විජයදාස මහත්තයා ඉල්ලනවා ජනාධිපතිවරණයට. ඔබලා ඔහුට උදව් කරනවද, නැත්නම් වෙන අපේක්ෂකයෙක්ට උදව් කරනවද?
අපිට පේනවා මේකත් මෛත්‍රීපාල මහත්තයගේ තව රඟපෑමක්. එතුමා කියනවා විජයදාස මහත්තයා ඉල්ලනවා කියලා. විජයදාස මහත්තයගෙන් ඇහුවම කියනවා තවම එහෙම අදහසක් නෑ කියලා. ඒ වගේම අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එතුමා ඉඳගෙන හොඳ කියනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන් පක්ෂය මංකොල්ලකෑමක්.
I ගයාන් ගාල්ලගේ