2024 මැයි 18 වන සෙනසුරාදා

විශ්වාසය රැකගත යුතු අධ්‍යාපන අමාත්‍යාංශය

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

ඕනෑම අමාත්‍යාංශයකට වැරදීම් සිදුවිය හැක. මේ හැම අමාත්‍යාංශයකම සිටින්නේ ලෙයින් මසින් හැදුණු මිනිසුන් බැවිනි. එහෙත් වැරදීම් කෙසේවත් සිදු නොවිය යුතු අමාත්‍යාංශයක්ද තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැරදීම් සිදුවන විට එහි බලපෑම් ඇතිවන්නේ කිහිප දෙනකුට පමණක් නොවන බැවිනි. එම වැරැද්ද ලක්ෂ සංඛ්‍යාත සිසු දරු දැරියන්, ඔවුන්ගේ මාපියන් සහ පොදුවේ සමස්ත සමාජයටම බලපෑම් ඇතිකළ හැකි බැවිනි. මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාගේ සිට සියලු නිලධාරීන්ගේ වගකීම වනුයේ අමාත්‍යාංශයේ විශ්වාසය උපරිම අන්දමින් රැකෙන අන්දමට කටයුතු කිරීමයි.

පසුගිය දිනවල පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් සම්බන්ධයෙන් මතු වූ ගැටලු දෙකක් හේතුවෙන් එකී විශ්වාසය යළිත් ප්‍රශ්න කෙරෙන තත්ත්වයට වැටී තිබේ. එයින් එකක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ ජනතාව අතර සංසරණය වීමයි. අනෙක විද්‍යාව (1) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් විෂය ධාරාවෙන් ඉවත් කරන ලද කොටස් ඇසුරෙන් සකස් වී තිබීමයි. ඉන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය එසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් විභාගයට බලපෑමක් සිදු නොවූ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රශ්න පත්‍රය විභාගය ලියමින් සිටි සිසුන් අතරට නොගිය බව ඔවුහු කියති. එය සත්‍යයක් විය හැක. නමුත් විභාගයක් යන අතරතුරදී ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍යයට නිකුත් වීම බරපතළ වැරුද්දක් බව පිළිගත යුතුය. ඒ සම්බන්ධයෙන් සැකපිට මහනුවර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගනු ලැබූ බවද සඳහන්ය. එවැනි සටකපට ක්‍රියාවක් ඔහු කළේ ඇයිද යන්න ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළිදරව් කරගත හැකිවනු ඇතැයි අපි සිතමු.

එම සිද්ධියෙන් විභාගයට බලපෑමක් සිදු නොවුණු බව සඳහන් වුවද අනෙක් සිද්ධිය විභාගයට පෙනී සිටි සිසු දරුවන් ඍජුවම අසීරුතාවකට ඇද දමා තිබිණි. විෂය ධාරාවෙන් ඉවත් කරන ලද කොටස් ඇසුරෙන් විද්‍යාව (1) ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න දෙක සකස් වී ඇති බව පිළිගත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ දැරූ සියලු සිසුන්ට නිදහස් ලකුණු දෙකක් ලබාදෙන බවද ප්‍රකාශ කර තිබිණි. ගැටලුවක් මතු වූ විට එයින් අගතියට පත්වන සිසුන්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගැනීම යහපත් ක්‍රියාවකි. නමුත් මෙවැනි ආකාරයේ වැරුද්දක් සිදුවූයේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුය. අනාගතයේදී හෝ එවැනි වැරැද්දක් සිදුවීම වළක්වා ගැනීමට එමගින් හැකිවනු ඇත.

ඇතැම් අවස්ථාවලදී විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම මීට කලින්ද සිදුවූ අවස්ථා තිබේ. පසුගිය උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රයද පිටවී සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ අතර ඒ සම්බන්ධ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමටද හැකි වී තිබිණි. ඊට පෙරද වරින් වර අවස්ථා ගණනාවකදී විභාග වංචා සහ දූෂණවලට හවුල් වූවන්ට එරෙහිව පියවර ගැනීමටද විභාග දෙපාර්තමේන්තුව සමත් විය. නමුත් දිගින් දිගටම මේ ආකාරයට විභාග ප්‍රශ්න පත්‍ර එළියට යාම හෝ ප්‍රශ්න පත්‍රවල වැරදි තිබීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරවයට හානියකි. එසේම අමාත්‍යාංශය කෙරෙහි රටේ අනාගතය බාරගැනීමට සිටින සිසු දරුවන් තුළත් මවුපියන් තුළත් තිබිය යුතු විශ්වාසය කඩවීමට ඉඩ තිබෙන බවද පෙන්වා දිය යුතුය.

විභාගවල සිදුවන වැරදි පමණක් නොව ජාතික විභාගවල පවතින ප්‍රමාදයද බරපතළ ගැටලුවක් වී තිබේ. කොවිඩ් වසංගතයට හසුවූ පාසල් පද්ධතියේ ඇනහිටීම නිසා ඇතිවූ ප්‍රමාදය වසර 03කට පසුවත් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. තවමත් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන්නේ විශාල ප්‍රමාදයක් සමඟිනි. මේ නිසා පාසල් නිවාඩුව ලැබෙන්නේද ගුරු සිසුන් සියලු දෙනා කරකවා අතහරින මට්ටමකිනි. ඇතැම් වාරයක අවසානය සිකුරාදා ලබා දී ඊළඟ සඳුදා නව වාරය අරඹන බව ප්‍රකාශ කෙරේ. එය විහිලුවකි. තවත් අවස්ථාවල වාරාවසානයත් නව වාරය ඇරඹීමත් අතර ඇත්තේ දින කිහිපයක වෙනසකි. විභාග පැවැත්වෙන්නේත් නිසි කාලසීමාවකදී නොවේ. හොඳම උදාහරණය මෙවර අපොස සාමාන්‍ය පෙළ මැයි මාසය තුළදී පැවැත්වීමට සිදුවීමයි.

කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසුව මේ වනතුරුත් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතුය. එම වගකීම ඉටුකිරීම තවදුරටත් ප්‍රමාද වීමෙන් සිදුවන්නේද අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන විශ්වාසය තවදුරටත් ඈත්වීම පමණි.