2024 මැයි 18 වන සෙනසුරාදා

සිංගප්පූරුවේ නම් එහෙමයි!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

සිංගප්පූවත් ලංකාවත් අතර මිත්‍රත්වයට සෑහෙන අතීතයක් තිබේ. ඒ අතීතයේ එක් කෙළවරක සිංගප්පූව හි නොබසින රටක් හැටියට ලෝක සිතියමේ ස්ථාපිත කළ ලී ක්වාන් යූ ය. ඔහු වරක් ශ්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවක අප රට ඔහුගේ ආකර්ශනයට තදින් ලක්වූ බව කියැවෙයි. ලංකාවේ සමහර ගස් වර්ග පවා ඔහු සිංගප්පූවට ගෙන ගිය බවත් සිංගප්පූව ලංකාවක් වගේ නිර්මාණය කිරීමට එසේ කටයුතු කළ බවත් කියැවේ.

අනෙක් කෙළවරේ සිටින්නේ ලංකාව සිංගප්පූවක් කරන බවට තෙපරබෑ අපගේ දේශපාලන නායකයන්ය. එහෙත් සිංගප්පූවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 52,000 ඉක්මවන විට ශ්‍රී ලංකාවේ එම ආදායම ඩොලර් 4,000ක මට්ටමේ තිබීම හරි ගියේ කාටද වැරදුණේ කාටද යන ප්‍රශ්නයට හොඳම පිළිතුර සපයයි.

එහෙම හැදුණු රටක පසුගිය වසර 20 තිස්සේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලී සියෙන් ලූන්ග් පසුගිය බදාදා (15) සිය ධූරයට සමු දුන්නේය. එය සිංගප්පූ පාලනයේ එක් යුගයක අවසානය ද විය. ඒ සිංගප්පූ නිර්මාතෘ ලී ක්වාන් යූ යුගයයි.

සිංගප්පූව 1965 වසරේදී ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසුව මේ දක්වා සිටියේ අගමැතිවන් තිදෙනකු පමණි. එම තිදෙනාම ලී ක්වාන් යූ ගේ ''පීපල්ස් ඇක්ෂන්'' පක්ෂය නියෝජනය කළ අයයි. ලී ක්වාන් යූ ගේ වසර 25ක පාලනය අවසන් වූයේ සිංගප්පූව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්වීමෙනි. ඔහු නව සිංගප්පූවේ නිර්මාතෘ වශයෙන් හඳුන්වනු ලැබීය. ඔහුගෙන් පසුව ගෝ චොක් තොම් අගමැති වූ අතර ඔහු 2004 දී ඉවත් වූයේ ලී සියෙන් ලූන්ග් ට ඉඩ දෙමිනි. මේ දෙවැනි ලී තම පියා අගමැති වූ අවධියේ 1984 දී පාර්ලිමේන්තුවට ආවේ කනිටු මන්ත්‍රීවරයකු වශයෙනි.

ඔහු 2004 දී අගමැති වීමත් සමඟ තාත්තාගෙන් පුතාට ගිය දේශපාලනය යන විචේචනයට මුහුණ දීමට සිදුවිය. පෞද්ගලිකව ජනතාව අතරේ ප්‍රසිද්ධ වූයේ ''Fami-Lee Politics'' වශයෙනි.

කෙසේ වුවද ඔහු වසර 20කට පසුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්නේ සිංගප්පූව තවදුරටත් ආර්ථික වශයෙන් ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ තාක්ෂණික වශයෙන් රට ඉදිරි පිම්මක් පැන්නූ නායකයෙක් වශයෙන් රටේ ගෞරවය හිමිකර ගනිමිනි. ඔහුගේ පාලනය යටතේ සිංගප්පූව සංචාරකයන්ගේ ඉහළම ගමනාන්තයක් බවට පත්වූ අතර ජාත්‍යන්තර ආර්ථිකයේ මර්මස්ථානයක් බවට පත්විය. සිංගප්පූවේ දළ දේශීය නිෂ්පාදිතය ද දෙගුණයකින් වැඩි විය. ගෝලීය ආර්ථික කඩා වැටීම් හමුවේත් කොවිඩ් වසංගතයේදීත් ඔහු රට මෙහෙයවූ ආකාරය ලොවේම ප්‍රසාදයට ලක්විය. එසේම ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීමේදී ඇමෙරිකාවත් චීනයත් සමඟ සමතුලිත බව රුක ගැනීමටද ඔහු සූක්ෂම විය.

ලී යුගය අවසන් කරමින් පසුගිය බදාදා (15) සිංගප්පූ නව අගමැති වූ ලෝරන්ස් වොං 51 හැවිරිදි ආර්ථික විද්‍යාඥයකු වන අතර හිටපු අගමැතිගේ ප්‍රධාන පෞද්ගලික ලේකම් වශයෙන්ද කටයුතු කළේය. ඔහු වසර දෙකකට පෙර සිංගප්පූ නියෝජ්‍ය අගමැති වශයෙන් පත් කරනු ලැබීය.

ලී ධූරය අත්හැරියේ ජනතාව කියූ නිසා නොව තම කැමැත්තෙනි. ඔහුට කළ හැකි කාර්යභාරය අවසන් බවත් ලෝකයේ නව ප්‍රවණතා සමඟ කටයුතු කිරීමට වයසින් අඩු අයකු රටේ නායකත්වයට පත්විය යුතු යැයි ඔහු විශ්වාස කරන බවත් ලී අස්වීමෙන් පසු ඔහුගේ කැබිනට් සාමාජිකයෙක් ප්‍රකාශ කර තිබිණි.

ලී අස්වූයේ උත්සවයක් තබා නොවේ. තමා මැයි 15 අස්වෙන බව අප්‍රේල් 15 වැනිදා ප්‍රකාශයට පත්කළ ලී අවසන් වරට පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ කියා තිබිණි. ''මම කිසිවිටෙකත් අනෙක් අයට වඩා වේගයෙන් දුවන්න උත්සාහ නොදැවෙමි. මා උත්සාහ කළේ මා සමඟ දිවීමට සියලු දෙනාම එකතු කර ගැනීමයි. අපි එයින් සාර්ථකත්වය ලබාගත් බව මගේ විශ්වාසයයි. ඔබ සියලු දෙනාටම ස්තූතියි!''

සිංගප්පූවක් වෙන්න සිහින බව අපේ රටේ එහෙම දේවල් වෙන්න පුළුවන්ද?

- ශශීන්ද්‍ර

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00