2024 මැයි 18 වන සෙනසුරාදා

ජනපතිවරණයේ පන්දම් පාළිය

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

තව මාස 03ක් ගෙවෙන විට ජනාධිපතිවරණයට දින නියම වෙලා ඉවරය. ඒ වෙනකොට ඡන්ද කැම්පේන්වලට කට්ටිය සෙට් වෙලා සිටිය යුතුය. සාමාන්‍යයෙන් කැම්පේන් එකක් සති 06ක් පමණ අල්ලාගෙන සිටීම අමාරු නිසා බොහෝ පක්ෂ අන්තිම සති දෙකේ හොඳටම ඉස්සෙන විදියට කැම්පේන් එක සැලසුම් කරන බව රහසක් නොවේ. ඒ වෙනකොට ප්‍රතිවිරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ට එරෙහි බර අවි යොදා කරන ප්‍රහාරවලට අවශ්‍ය ‘උණ්ඩ’ ගබඩා කරගෙන සිට අන්තිම මොහොතේ ඒවා පුපුරුවා හැරීම හැම පක්ෂයකම සැලැස්මයි. ඒ ක්‍රමය මෙතෙක් කාලයක් ක්‍රියාත්මක විය.

හැබැයි මෙවර ජනාධිපතිවරණයේදී කලින්ට වඩා වෙනස්කම් ගණනාවක් තිබේ. පසුගිය සතියේ අප පෙන්වා දුන් ආකාරයට මෙවර ඡන්දය ආණ්ඩුවත් විපක්ෂයත් අතර එකකට වඩා විපක්ෂයේම දෙපිරිසක් අතර සිදුකෙරෙන සටනක් බවට පත්වීමට ඉඩ තිබෙන බව පැහැදිලිය. ඒක තීරණය වෙන්නේ පොහොට්ටුව සහ යූ.එන්.පී එක එක්ව තරග කරනවාද වෙන්ව තරග කරනවාද යන සාධකය මතය.

දැනට තිබෙන තත්ත්වය අනුව නම් පොහොට්ටුවත් යූ.එන්.පී. එකත් එකතු වී තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ උත්සාහය හරි නොයන ලකුණු පහළ වී තිබේ. ජනාධිපතිවරයාට සහාය දක්වන පොහොට්ටුවෙන් ඇවිත් අමාත්‍ය ධූර ලැබූ කිහිප දෙනකු දරන අදහසට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පසුගියදා ගම්පහදී පැවැති රුස්වීමේදී මෙසේ කියා තිබුණි.

&අපිට ලොකු වෙන්න ඕනි රටද පක්ෂයද? පක්ෂයේ වැඩපිළිවෙළ අපි ගෙනියනවා. රට එක පක්ෂය දෙක. රට ගැන හිතලයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න තීන්දු කළේ. ඒක මගේ පෞද්ගලික මතයයි. මම රනිල්ගේ ගොට්ටෙක් වෙලා යූ.එන්.පී. එකට යන්න හදනවා කියලා සමහරු කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩක් කරලා පෙන්නපු නිසයි මිනිස්සු ඔහුව නැවත බලයට ගේන්න ඕන කියන මතයේ ඉන්​නේ.*

මේ කතාවෙ තේරුම ප්‍රසන්න රණතුංග පොහොට්ටුව එක්ක හිටියත් බොක්කෙන්ම සහාය දෙන්නේ රනිල්ට බවය. ප්‍රසන්න තරම්ම ඉදිරියට ඇවිත් රනිල් ජනාධිපති කළ යුතු බව සෙසු පොහොට්ටු ඇමැතිලා කියන්නේ නැත. එහෙත් ඒ සියලු දෙනාටත් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දානවාට වඩා රනිල් ජනාධිපති කළොත් හොඳයි කියා හිතෙන බව නම් සැකයක් නැත. නමුත් ගම් මට්ටමේ ඉන්න පොහොට්ටු පාක්ෂිකයන් බහුතරය රනිල්ට සහාය දැක්වීමට කැමැති නැත. ඔවුන් බොහෝ දෙනා කියන්නේ දිනන්න හෝ පරදින්න හෝ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දැමිය යුතු බවය.

මේ කතාවලින් පැහැදිලි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණත් ඔහුට පොහොට්ටුවේ බහුතරයකගේ සහාය නොලැබෙන බවය. පොහොට්ටුවේ ඡන්ද පදනමේ සහාය නැතුව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිද යන ප්‍රශ්නයට ඇත්තේ එක පිළිතුරක් පමණි. නමුත් ජනාධිපතිවරයාට සහාය දක්වන යූ.එන්.පීයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පිරිසගේ මතය ඊට වඩා වෙනස්ය. ඔවුන්ගේ පොදු මතය වී තිබෙන්නේ ජනාධිපතිවරයා පසුගිය කාලය තුළදී රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහාත් ආරක්ෂක තත්ත්වය ස්ථාවර මට්ටමකට ගෙන ඒමටත් ගනු ලැබූ පියවර හේතුවෙන් රටේ මහජනතාවගේ ප්‍රසාදය ජනාධිපතිවරයා ඉහළින්ම දිනාගෙන සිටින බවය. ඒ හරහා සිදු කරන කැම්පේන් එකකින් ඔහුට ජය ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන බව ඔවුන්ගේ මතයයි.

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඡන්ද සටන මෙහෙයවීමට මැතිවරණ කමිටුවක් පවා පත්කර ඡන්ද ව්‍යාපාරය සැලසුම් කිරීමට එතෙරින් උපදේශක පිරිසක් ද ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බව පැහැදිලිය. එසේ වුවත් තමන් ඡන්දයට ඉදිරිපත් වන බව හෝ නොවන බව ප්‍රකාශ කිරීමට දැන්ම ක්‍රියා නොකරන බවත් එය බොහෝ දුරට ජූනි මාසයේ අගදී පමණ සිදුකෙරෙනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. අවසන් වරට බැසිල් හමුවූ අවස්ථාවේදී එහෙම කියූ බව මාධ්‍ය ඔස්සේ  වාර්තා වී තිබිණි.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළම ඡන්දය ළං වෙන විටත් ආණ්ඩුවට තම අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතරම් අනිවිශ්චිත බවක් තිබුණේ නැත. දැනට ගැටලුව වී තිබෙන්නේ ජනාධිපතිවරයා කොතරම් තමන්ගේ අභිලාෂය ප්‍රකාශ කළත් පොහොට්ටුව පැත්තෙන් එයට කොළ එළියක් පත්තු නොවීමයි.

ඒකෙ තේරුම පොහොට්ටුව අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවන බවය. මේ අපේක්ෂකයා මෙරට ඉහළම පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු අපේක්ෂකයා නම් එයත් මෙරට ජනාධිපතිවරණ පමණක් නොව මහ මැතිවරණ ඉතිහාසයේත් සුවිශේෂ කඩඉමකි. මේ රටේ ජනාධිපතිවරණයට කවදාවත් ව්‍යාපාරිකයකු ඉදිරිපත් වී නැත. එය වෙනත් රටවල් සම්බන්ධයෙන් වුවද අමුත්තකි. ආසියානු රටවල් අතුරින් තායිලන්තය හැරුණුවිට වෙනත් රටවල්ද ජාතික නායකත්වයට ඍජුවම ව්‍යාපාරිකයකු ඉදිරිපත් කරන්නේ නැත. නමුත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලටත් යුරෝපයේ සමහර රටවලටත් එය අමුත්තක් නොවේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවී ඇත්තේ බලවත් ව්‍යාපාරිකයන්ගේ සහාය ඇතිව දේශපාලන පක්ෂවල නායකයන් ඡන්දයට ඉදිරිපත් වීම මිස දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහායෙන් ව්‍යාපාරිකයකු ඉදිරිපත් වීම නොවේ. එවැනි ආසන්න අවස්ථාවක් මෙරට තිබුණේ උපාලි විජේවර්ධන මහතා යූ.එන්.පීයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට පැතිරුණු කතාවයි. ඒ කාලය ජේ.ආර්. ගේ දෙවැනි ධූර කාලය විය. ජේ.ආර්. ගෙන් පස්සේ ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටි ආර්. ප්‍රේමදාස මේ තත්ත්වය දෙස විමසුමෙන් සිටියේය. උපාලි විජේවර්ධන යූ.එන්.පීය තුළින් දේශපාලනයට පිවිසීම පිළිබඳ ප්‍රේමදාස විවිධ ආකාරයෙන් තම අකැමත්ත පළ කර තිබිණි. ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරමින් සිටියදී උපාලි පුවත්පත් ආයතනයට එරෙහිව නඩුවක්ද පවරා එයින් ජය ගැනීමට සමත් විය. කෙසේ වුවත් උපාලි විජේවර්ධනගේ අකල් මරණය හේතුවෙන් ඒ සිද්ධි දාමය අවසන් විය. මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පෞද්ගලික ගුවන් යානයෙන් පැමිණෙමින් සිටියදී සුමාත්‍රා දූපත්වලට ඉහළදී එම ගුවන් යානය අනතුරට පත්වීමෙන් උපාලි ඇතුළු එහි ගමන්ගත් සියලු දෙනා අතුරුදන් විය. එය මෙරට දේශපාලන සහ ව්‍යාපාරික ලෝකය කැළඹූ සිද්ධියක් වූ අතර රටේ ජනතාවගේ බලවත් අවධානයට යොමුවූ කාරණාවක්ද විය.

ධම්මික පෙරේරා වර්තමානය වනවිට දේශපාලනඥයකු වශයෙන් ක්‍රියාකාරීව සිටී. ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට සමීපව කටයුතු කරමින් සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේදී මෙරට සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් එම ක්‍රියාවලියට ‘‘වියත් මග’’ ඔස්සේ සම්බන්ධ කරවීමේ වැඩපිළිවෙළේ ඔහු පුරෝගාමී චරිතයක් විය. ගෝඨාභයගේ පාලනය යටතේ බිහිවූ පොහොට්ටු ආණ්ඩුවට ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුව හරහා පත් කරනු ලැබුවේ 2022 වසරේදීය. එහිදී ආයෝජන සංවර්ධන අමාත්‍ය ධූරය ලැබූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් වර්තමානයේද කටයුතු කරමින් සිටී. එසේ වුවද ඔහු හඳුන්වනු ලබන්නේ දේශපාලනඥයකු වශයෙන් නොව මෙරට දැවැන්ත ව්‍යාපාරිකයකු වශයෙනි.
තමන්ගේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කළ යුතු බවට පොහොට්ටුවේ අභ්‍යන්තරයේ පැන නැගුණු පීඩනය එහි නායකයන් වන රාජපක්ෂලාටද කර ඇරිය නොහැකි තරමට වර්ධනය වන බව පසුගිය දිනවලදී පෙනෙන්නට තිබිණි. බැසිල් - රනිල් හමුවීම් කොතරම් සිදුවුණත් රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කෙළින් නොකියා සිටීමට තරම් ප්‍රවේශම් වී තිබිණි. එසේම මහ මැතිවරණයක් කලින් පවත්වන ලෙසට බැසිල් කළ ඉල්ලීමටද ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. මේ නිසා පොහොට්ටුවට දැන් විකල්පයක් වශයෙන් තිබෙන්නේ එකම විසඳුමකි. එනම් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. එහි ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ කිසියම් හෝ ඡන්ද පදනමක සහාය ලැබීමට නියමිතව තිබුණා නම් එයද අහිමි වී යාමය.

බැසිල්ලා එකතු වී පොහොට්ටු ප්‍රධාන කාර්යාලයේ උත්සවශ්‍රීයෙන් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ඇරියේත් ඉන් දින කිහිපයකට පසුව මහින්ද පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට තදින් ගැහැව්වේත් මේ පෙළගැස්මේ තවත් කොටසක් හැටියට බවත් පැහැදිලිය. ‘‘මම ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන්නෙ නෑ. රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගන්න සූදානම්. ආණ්ඩුව එක්ක හිටියත් පක්ෂයේ ස්වාධීනත්වය අපි පාවලා දුන්නෙ නෑ. ආණ්ඩුවේ අයිතිය තිබෙන්නේ පොදුජන පෙරමුණටයි. අප එසේ ප්‍රකාශ කරන්න ඕනෑම වෙලාවක සූදානම්.’’ වැනි කරුණු ඔහු තදින්ම ප්‍රකාශ කර තිබිණි. එහි හරය තමන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිටියත් ඔහුගේ ප්‍රතිපත්ති අනුමත නොකරන බවය. පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දානව නම් එහෙම රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවලට නොගහා එය කළ නොහැකි බව මහින්ද හොඳින්ම එය දැන සිටියි.

දැන් රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවෙන් අයකු (බොහෝ දුරට ධම්මික පෙරේරා) ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැහැදිලිය. පොහොට්ටුව කෙළින්ම ඡන්දෙට එන බව කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ඔහුගේ අනුගාමික පිරිස කියද්දී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ හැකිද යන්නත් ගැටලුවකි.

ජනපති සහ පොහොට්ටුවෙන් දෙදෙනකු ඉදිරිපත් වුණොත් එයත් සුවිශේෂ අවස්ථාවකි. එකම ආණ්ඩුවෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වන මුල්ම අවස්ථාව වන බැවිනි. විපක්ෂයෙන් එන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ අනුර කුමාරත් දැනටම ඉන්නේ වැඩේට බැහැලාය. ‘‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’’ බව දැන් සිටම පෙනෙන්නට තිබේ.

- ශශීන්ද්‍ර