පාලිත රංගේ බණ්ඩාර - මහලේකම් එක්සත් ජාතික පක්ෂය
Q මම දැක්කා ඔබත් වජිර අබේවර්ධනත් කියනවා මැතිවරණයකට නොයා රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපතිකම් කරන්න 225 ම එකතුවෙලා අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා. ඇයි එහෙම දෙන්න ඕනෑ කියන්නේ ඔබලා?
මේ රට බංකොලොත් වෙලා තිබුණේ. සියලු ආයතන අකර්මණ්‍ය වෙලා තිබුණේ. රටේ නීතියක් නැතුව පිරිසක් නීතිය අතට අරන් තිබුණේ. ඒ අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තා. ඔහු දැන් රට නැවතත් සාමාන්‍ය මට්ටමට අරන් තියෙනවා.
Q ඒක හරි, ඒත් ඡන්දයක් නොතියා ඇයි එතුමව තියාගන්න කියන්නේ?
දැන් ඡන්දයක් තියලා අපි මොකක්ද කරන්න හදන්නේ, රට කරන්න නායකයෙක් තෝරාගන්න එක. ඒ සඳහා පහුගිය කාලේ හිටිය අයම ඉදිරිපත් වෙනවා. හැබැයි අභියෝගය ආපු වෙලාවේ කවුරැත් ඊට ඉදිරිපත් වුණේ නෑ. ඒ අය දැන් ඇඳුම් අඳින්න ලෑස්ති වුණාට අභියෝගය හමුවේ පලා ගියා. නායකයෙක්ගේ ගුණාංගයක් තමයි අභියෝග හමුවේ පලා නොයාම. ඒත් ඒ අය ගියා. ඉතින් එයාලට පිට්ටනියක් හදන්න ජනතාවගේ සල්ලි නාස්ති කරන්න ඕනෑ නෑ. ඒ වියදමත් අපේ රටේ ආර්ථිකයට අපහසුයි. ඒ නිසා බිලියන ගණන් මුදල් නාස්ති කරන්න අවශ්‍ය නෑ. රට හදපු මනුස්සයා ඉන්නවා, ඉදිරි සැලැස්මත් කියලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා මැතිවරණය පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහ මහත්තයට රට දෙන්න තියෙන්නේ.
Q බොහෝ අය කතා වෙන්නේ ජනාධිපතිවරයා ඉක්මනින් මහ මැතිවරණයකට යයි කියලා. ඒක ඇත්තද?
ජනාධිපතිවරයව එහෙමම තියාගෙන ඕනෑ නම් මහ මැතිවරණයකට යන්න පුළුවන්. පාර්ලිමේතුවේ හිටිය කණ්ඩායම නිසානේ රට මෙහෙම වුණේ. ජනාධිපතිවරයා සමත්නේ ඒකෙන්. ඒ නිසා ජනාධිපතිවරයව තව අවුරැදු පහකට තියාගෙන මහ මැතිවරණයකට ගියා නම් හරි.
Q ඔබ හිතන්නේ ඉස්සෙල්ලම සුදුසු මොන මැතිවරණයද?
මෙහෙමයි. මැතිවරණයක් පවත්වන්න ගියොත් වෙන්නේ මුල කිව්ව හානියමයි. කට්ටිය කොච්චර හිටියත් දුවන්නේ එක එන්ජින් එකකින්. ඒ රනිල් වික්‍රමසිංහ. ඒක ස්ථිර කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනෑ.
Q ජනාධිපතිවරයට විශ්වාසවන්ත ආණ්ඩුවක් හදාගන්න නෙමෙයිද මේ හදන්නේ?
ජනාධිපතිවරයට විශ්වාස අවිශ්වාස වුණත් ඔහු ඒ හැමෝටම නායකත්වය දෙනවනේ. සමහර මිනිස්සුන්ට තමයි තමන්ගෙම අය ඕනෑ වෙන්නේ. ඒත් රනිල් වික්‍රමසිංහට ලාංකික මිනිස්සු ඕනෑ කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්.
Q අපි දැක්කා සජබයේ සමහර මන්ත්‍රීවරැන්ට විමධ්‍යගත අරමුදල් වෙන් කළා. සමහර අය කියන්නේ ඒ ඔබලගේ පැත්තට ගන්න කියලා. එහෙම අදහසින්ද කළේ?
සජබයේ විතරක් නෙමේ, පාර්ලිමේන්තුවේ වැඩ කරන මන්ත්‍රීවරැන්ට අවශ්‍ය විමධ්‍යගත මුදල් දීලා තියෙනවා.
Q පොහොට්ටුව ඇතුළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් තියෙන්නේ බෙදුණු තීන්දුවක්. ඇයි තවම පොහොට්ටුවේ ඒකමතික තීන්දුව රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ගන්න බැරිවුණේ?
විවිධ මත හැම පක්ෂයෙම තියෙනවා. සජබයෙත් තියෙනවා. ඔය මතයම පොහොට්ටුවේ විතරක් නෙමෙයි, සජබයෙත් තියෙනවා.
Q සජබය එක්ක එකතු වෙන්න අදහසක් නැද්ද?
අපි ඕනෑ තරම් ඒ අයට කියලා තියෙනවා. සජබයේ නායකයටත් අපි දැනුම් දීලා තියෙනවා. ඒ නිසා වෙලාවක් ආපුවම එකතු වෙයි.
Q එකතු වෙන්න සැලැස්මක් තියෙනවද?
ඔව්, කොහොමත් සැලැස්මක් අනුව වැඩ කරන්නේ. ඒකනේ රටේ අර්බුදයට මුහුණ දුන්නෙත් තනි මිනිහෙක් විදිහට.
Q ජාතික ජන බලවේගය කියන්නේ ඔවුන්ට තමයි රට ගොඩගන්න පුළුවන් සැලැස්ම තියෙන්නේ කියලා?
තිස්සමහාරාමේ ප්‍රාදේශීය සභාවවත් කරගන්න බැරි අයට රටක් කරන්න පුළුවන්ද? විහිළු කතානේ. ජනතාව රුලි හැදුවා. ගෝඨාභය මහත්තයත් රුලිවලින් ආවේ. හැබැයි දැන් ගියොත් ලොකු පරිප්පුවක් කන්න වෙනවා.
Q කොහොමද එජාපයට ජනතාවගෙන් තියෙන ඉල්ලුම?
හොඳ ඉල්ලුමක් තියෙනවා. එකම විකල්පය රනිල් වික්‍රමසිංහ කියලා ජනතාව විශ්වාස කරනවා.
Q රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දෙන්න ඕනෑ කරපු දේ නිසාද? කරන්න තියෙන දේ නිසාද?
ඔය දෙකම. හැබැයි වැඩියෙන්ම ඉදිරියෙදි කරන්න තියෙන දේට. මොකද ඔහු කරලා පෙන්නුව කෙනෙක්.
I ගයාන් ගාල්ලගේ