2024 මැයි 25 වන සෙනසුරාදා

අන්තර්ජාලයේ කෝචොක්කාරයන්ට මම උත්තර දෙන්නෙ නෑ

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

එස්.එම්. මරික්කාර් - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

  • ඔය කොළ, රතු අලි පැටව් තමයි ඕවා දාන්නේ
  • රට ගොඩ දාන හොඳම කණ්ඩායම ඉන්නෙ අපිට
  • ජා.ජ.බ. අපි එක්ක විවාදෙකට එන්න බයයි

Q වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන අය කියනවා මැතිවරණයකට නොගිහින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තියාගමු කියලා. මොකක්ද හිතන්නේ ඒ අදහස?

මම හිතන්නේ වජිර අබේවර්ධනටයි, පාලිත රංගේ බණ්ඩාරටයි උත්තර දිය යුතු නෑ කියලා.

Q ඔබත් එක්ක හිටිය මන්ත්‍රීවරුනේ?

ඒක වෙන කතාවක්. ජනවරමක් නැති කට්ටියනේ ඒ අය.

Q එහෙම කියන්න බෑ. ඒ අය මේ රටේ පිළිගත් පක්ෂයක පිරිස්?

වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාම ඒ පිහිටෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක්. රංගේ බණ්ඩාර කියන්නේ මාස දෙක තුනකට සැරයක් විහිළු කතා කියන කෙනෙක්. ඒ අය කියන දේවල්වලට අන්තර්ජාලයේ කෝචොක් දානවා. ඒවට මම උත්තර දෙන්න ඕනෑ නෑනේ.

Q හරි එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්තයව මේ රටේ ජනාධිපතිවරයා හැටියට ජනතාව පත් කරගත යුත්තේ ඇයි?

ඔහුව තෝරගත යුත්තේ පුද්ගලයෙක් මාරු කරලා තව පුද්ගලයෙක් ගේන්න නෙමේ. අපිට මූලික කාරණා කිහිපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලම ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ. ඒ සඳහා ජාත්‍යන්තරය එක්ක අපි ගනුදෙනු කරන්න ඕනෑ. දෙක අපනයන ආදායම වැඩි කරගන්න ඕනෑ. ලෝකේ අලුත් අලුත් දේවල් හඳුන්වලා දෙන්න ඕනෑ. විදේශ ආයෝජන සත පහක් ගෙනල්ලා නෑ ගිය අවුරුද්දේ. ඒවා ගේන්න ඕනෑ. ඒ නිසා ඔක්කොම කටයුතු තියෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක. ඒක තනි පුද්ගලයෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකට කණ්ඩායමක් ඕනෑ. ඒ වෙනුවෙන් හොඳම කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස ළඟ.

Q ඔබ ඔහොම කිව්වට කඩා වැටුණු රට කෙළින් හිටෙව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා ආණ්ඩුවේ අය කියනවා?

එතුමා කළ පළවෙනි දේ තමයි ආපු ගමන් බදු වැඩි කළා. බඩු මිල වැඩි කරලා මිනිස්සුන්ට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව හීන කළා. ඒකෙන් පෝලිම් නැති වුණා. ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා කියන එක නෙමේ. දැන් බලන්න ලක්ෂ 10කට කරන්ට් එක කපලා. කුඩා ව්‍යාපාර වැටිලා. බෙහෙත් ටිකට පවා බදු ගහලා තියෙන්නේ. මේවා කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කණ්ඩායමක් නෑ. ඒ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්නේ අවබෝධයෙන් නෙමේ. ඒ නිසා මේ සියල්ල ගොඩ දාන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපිට.

Q දැන් ඔය ආර්ථිකය කරන එක ගැනනේ ජාතික ජන බලවේගය එක්ක ඔබලා සංවාද කරන්න ගියේ. මොකක්ද ඔය  දෙගොල්ලන්ගේ ආර්ථික සැලැස්මේ වෙනස?

මට කියන්නකෝ ඒ අය ඉදිරිපත් කරපු ආර්ථික සැලැස්මක් කොහෙද තියෙන්නේ කියලා. ඒ අයම කියනවා ආර්ථික සැලැස්මක් කෙටුම්පත් කරලා නෑ, කටින් කියන දේ තමයි ආර්ථික සැලැස්ම කියලා. ඒ මොන ආර්ථික සැලැස්මක්ද? එහෙම කොහොමද කියන්නේ. අපි සැලැස්ම හදලා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ගාව ලියැවිල්ලක් තියෙනවා. එයාලට ඒක නැති නිසයි බය. ඒකනේ දැන් නායකයන්ගේ විවාදය ගැන විතරක් කියන්නේ. ආර්ථික කමිටුවේ විවාදය ගැන සද්ද නෑ. මම කියන්නේ එයාලා බය නම් එක්කො එයාලගේ නායකයා එක්ක ආර්ථික කමිටුවත් එන්න ඕනෑ. නැත්නම් නායකයන්ගේ එක ස්ථිර කරගෙන ඊට පස්සේ දවසක ආර්ථික කමිටුවේ සංවාදය දාගන්න ඕනෑ. මට ඕනෑ නම් පුළුවන් නිවාස සහ නාගරික සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ඒ අය එක්ක විවාද කරන්න.

Q ඒ කියන්නේ නිවාස සහ සංවර්ධන කැබිනට් ඇමැති ඔබද ඔබලගේ ආණ්ඩුවක?

ඒක මම දන්නේ නෑ. මම ඒ විෂය සම්බන්ධයෙන් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ ගැන අවබෝධයක් තියෙනවා. ස්මාර්ට් සිටි හදන්නේ කොහොමද? ගංවතුර පාලනය කරන්නේ කොහොමද? කියන එක ගැන මට අවබෝධයක් තියෙනවා.

Q ඔබ නායකතුමාගෙන් ඇමැතිකම ඉල්ලුවේ නැද්ද?

ඒක ඉතින් ජනාධිපතිවරණයෙන් දින්නට පස්සේ බලමු. දැක්කනේ පහුගිය අයවැය දෙකේම නිවාස සහ නාගරික සංවර්ධන විවාදය ආරම්භ කළේ මමනේ.

Q ණය ගෙවන්න ගත්තම මේ රටේ නැවතත් හිටිය තත්ත්වයට වැටෙයි කියලා සමහර අය අනාවැකි කියනවා. ඔබලා ආර්ථික සැලැස්ම අනුව ඒක මගහැර ගන්නේ කොහොමද?

ඔබේ ප්‍රශ්නය වැරදියි. ණය ගෙවන්න ගත්තම හිටපු තත්ත්වය නෙමේ, ඊටත් වඩා පහළට වැටෙනවා. බදු වැඩි කරන්න වෙනවා. බදු නොකර ඉන්න නම් ඩොලර් ආදායම වැඩි කරගන්න වෙනවා. අපනයන ආදායම වැඩිකර ගත්තේ නැත්නම් අමාරුවේ වැටෙනවා. ලෝකයේ නව වෙළෙඳ ප්‍රවණතා ගොඩක් තියෙනවා. ඒවාට ඇතුළත් වෙන එක තමා අපේ අරමුණ. ඉන්දියාවට තෙල් නෑ. හැබැයි ඒ අය තොරතුරු තාක්ෂණයට එකතුවෙලා වාර්ෂිකව ඩොලර් බිලියන 123කට වැඩි ආදයමක් හොයනවා. ඒ හා සමානයි සෞදියේ තෙල් අපනයනයෙන් හොයන ආදායම. අපි ලෝකය එක්ක පාලමක් හදාගත්තොත් තමයි සාර්ථකත්වයට එන්න පුළුවන් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂලා කළේ ඒ පාලම කඩා ගත්තා.

Q අපි දකිනවා නායකතුමා ඔබලගේ ජපන් භාෂාවෙනුත් කතා කරන ඒවා, තව විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වෙනවා. ඔබ මොකද හිතන්නේ ඒක ගැන?

ඔබ බලන්න ජනතා විමුක්ති පෙරමුණේ කොමන්ට්  ආර්ම් එකක් තියෙනවා. ඒ හැමෝම ඉන්නේ ෆේක් ප්‍රොෆයිල්වලින්. ඒ අය කොළ, රතු අලි පැටව්. අන්න ඒ අය තමා මේවා කරන්නේ.

Q රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඡන්දය ඉල්ලුවොත් සජිත් ප්‍රේමදාස මහත්තයට අවාසි වෙයිද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුව එක්ක ඉල්ලුවොත් ඔහුට සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නෑ.

Q ඇයි ඔබ එහෙම කියන්නේ?

මේ රටේ ජාතිවාදය අන්තවාදය ගෙනල්ලා, වඳ කොත්තු වඳ සාෆිලා ගැන කිව්ව කතා එක්ක මම සහතික වශයෙන්ම කියනවා ඔහුට ඡන්ද හම්බවෙන්නේ නෑ. දැන් පොහොට්ටුවට ඡන්ද මිලියන දෙකයි තියෙන්නේ. ඒත් මහින්ද මහත්තයට දුන්නට මහින්ද මහත්තයා කිව්වත් රනිල්ට ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ ඡන්දයට ඡන්ද ලක්ෂ 168ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. අපි ගිය පාර අමාරුම වෙලාවේ ලක්ෂ 56ක් ගත්තා. අපිට ලක්ෂ 70 ක් ගන්න 69 ලක්ෂයෙන් ඕනෑ ලක්ෂ 14 යි. හැබැයි ජාතික ජන බලවේගයට ලක්ෂ හැත්තෑවක් ගන්න ලක්ෂ 65ක් ගන්න ඕනෑ. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ.

I ගයාන් ගාල්ලගේ