අයි.එස්. ත්රස්තයන් ආපසු ලංකාවෙන් මතුවෙන බව අසන්න ලැබීම පවා සියලුම ශ්‍රී ලාංකිකයන් තැති ගන්වන සුළු ආරංචියකි. එම තොරතුර අයි.එස්. නම මෙරට ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක් වශයෙන් සටහන් වූ අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට ඍජු සම්බන්ධයක් තිබීමත් එවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු විශ්වාසදායක තොරතුරු සියල්ල ගණන් නොගැනීම හේතුවෙන් සිදු වූ මහ ජීවිත විනාශයත් යළි යළිත් සිහිගන්වයි. කොළඹ සහ මීගමුවේ පදිංචිව සිටි අයි.එස්. ත්රස්තයන් පිරිසක් ඉන්දියාවේදී කොටුවීම මෙරටට ඉතාම වැදගත් තොරතුරක් වන්නේ එබැවිනි.
ලංකාවේ අයි.එස්. ත්රස්තයන් කොළඹදී කොටුවුණත් ඉන්දියාවේදී කොටු වුණත් ඒ ගැන අප සතුටු විය යුතුය. මාධ්‍ය වාර්තාවලට අනුව මේ පිරිස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීය. මේ පිරිස සිවුදෙනකු වුවත් ඔවුන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පසුපස තව කොතරම් පිරිසක් සිටිනවාද යන්න හෙළිවනු ඇත. අල්ලාගත් සිවුදෙනාට පාකිස්තාන ජාතිකයකු නායකත්වය දී ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වූ බවත් එහෙත් ඔහු ද ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට පදිංචිය සඳහා ගිය අයකු බවත් ගුජරාට පොලිස් ප්‍රධානියා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය. එසේම ඔවුන් පැමිණ ඇත්තේ ඉන්දියාවේදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබිණි.
මෙරට සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සෙවණැලි තවමත් එසේම පවතිද්දී යළිත් වරක් එස්.අයි. ත්රස්තයන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කිරීමට ලංකාවම තෝරා ගැනීම මෙරට ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානයට යොමු විය යුතු බව පෙන්වා දිය යුතුය. පාස්කු ප්‍රහාරයට මුල් වූ සහරාන් සහ ඔහුගේ සහචරයන් නැගෙනහිර කාතන්කුඩි ප්‍රදේශය මුල් කරගෙන බිහි වුවත් ඉන්දියාවේදී කොටුවූ පිරිස කොළඹ සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයා ගැනීම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල රතු එළියක් පත්තු කර තිබේ. මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී කිසිදු දේශපාලන බලපෑමකට යට නොවී එය සිදුකිරීම ආරක්ෂක බලධාරීන්ගේ වගකීමකි. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහරාන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරු විවිධ හේතූන් මත යට ගැසුණු ස්වභාවයක් තිබුණු බවත් එම බලපෑම් අතර දේශපාලන බලපෑම් ද තිබුණු බවත් ප්‍රකට රහසකි. සියලු තොරතුරු අතැතිව තිබියදීත් එම බිහිසුණු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම රටක් වශයෙන් අප සියලු දෙනාම ලැජ්ජාවට පත් කළ කාරණයක් බව ද සඳහන් කළ යුතුය.
එහෙත් අයි.එස්. ත්රස්තයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම ඉන්දියාව ආරක්ෂක බලධාරීන් කටයුතු කළ ආකාරය පැසසුම් ලැබිය යුතුය. ඒ හේතුවෙන් සිදුවිය හැකිව තිබූ මහා විනාශයක් වළක්වා ගැනීමට ඔවුනට හැකි වී තිබේ. මොවුන් පිළිබඳ තොරතුරු ගුජරාට් පොලිසියට ලැබී ඇත්තේ පසුගිය 18 වැනිදාය. ශ්‍රී ලංකාවේ සිට මේ සිවුදෙනා චෙන්නායි හරහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානාවකින් අහමදාබාද් ගුවන්තොටුපළට පස්වරු 8.10 ට පැමිණි බවත් ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා කණ්ඩායමක් ගුවනින් හෝ දුම්රියෙන් අහමදාබාද් නගරයට ඉකුත් 18 හෝ 19 වැනිදා පැමිණෙන බවත් ඔවුන්ට බුද්ධි තොරතුරු හරහා දැනගන්නට ලැබී තිබිණි. ගුජරාටයේ ත්‍රස්ත මර්දන ඒකකය එහිදී වහාම ක්‍රියාත්මක වී එම දින දෙකෙහිම ගුවනින් සහ දුම්රියෙන් අහමදාබාද් නගරයට පැමිණීම සඳහා ටිකට්පත් වෙන් කරගෙන තිබූ සියලු මගීන්ගේ නම් ලැයිස්තු පරීක්ෂා කරද්දී ශ්‍රී ලංකාවෙන් පැමිණි මේ කණ්ඩායම ගැන ඔවුන්ට ඉව වැටී තිබිණි. ඉන්පසු ඔවුන් කොටු කරගෙන එම ප්‍රහාරය වළක්වා ගත් බවත් අවි ආයුධ සහ සැලසුම්වල තොරතුරු පවා සොයාගත් බවත් සඳහන්ය.
මේ සිද්ධිය සම්බන්ධව ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඉන්දියාවේ ආරක්ෂක අංශ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආකාරය අපට උගන්වා ඇත්තේ යස පාඩමකි. එහෙත් උගත් පාඩම් වලින් කිසිදා වැඩ නොගන්නා එසේම සියලු තීරණ දේශපාලනය සමග අනාගන්නා බලධාරීන් මෙරට සිටින තාක් මෙවැනි සිදුවීම් යළිත් ඇතිවිය හැකි බව පෙන්වා දිය යුතුය. රටේ අංක එක දේශපාලන බලය නොව ජාතික ආරක්ෂාව බව සියලු දෙනා අවබෝධ කරගත යුතුය. කොළඹත් මීගමුවෙත් අයි.එස්. ත්රස්තයන් සිටින බව ඉන්දියාව අල්ලා ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් නොදැන සිටියා නම් එය බරපතළ අතපසුවීමක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමු.