2024 මැයි 25 වන සෙනසුරාදා

ඡන්ද වෙන්දේසිය

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 127

මුලින්ම තිබෙන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? යන ප්‍රශ්නය පසුගිය සතිය වනවිට යළිත් දේශපාලන කරළිය උණුසුම් කළ මාතෘකාවක් බවට පත්වෙමින් තිබුණි. පාර්ලිමේන්තු බලය හිමි පොහොට්ටුව ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කළේ මහ මැතිවරණයකට යා යුතු බව කියමිනි. එම මතයට සහාය දක්වන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිව්වේ දැනට පවතින පාර්ලිමේන්තුව සැබෑ ජනමතයක් නියෝජනය නොවන විකෘති තත්ත්වයට පත් වී තිබීම හේතුවෙන් වඩාත් අවශ්‍යව තිබෙන්නේ මහ මැතිවරණයක් බවය. එහෙම කිව්වත් සැබෑ අවශ්‍යතාව එය නොව ජනාධිපතිවරණය තැබීමෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය පොහොට්ටුවට වඩාත් අවාසිදායක වනු ඇති බවට කර ඇති ගණන් හැදීමය. එවැනි තත්ත්වයකදී ලබාගත හැකි ආසන සංඛ්‍යාව ඊට කලින් පවත්වන මහ මැතිවරණයක දී ලබාගත හැකි ආසන සංඛ්‍යාවට වඩා ඉතා පහළට වැටෙනු ඇති බව පොහොට්ටුවේ අදහසක් පවතී.

මේ සංවාදය දිගටම ඇදෙමින් තිබිය දී මුලින් මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවට අදහසක් ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් ද ඇහෙන තත්ත්වයක් මතු විය. එහෙම මහ මැතිවරණයක් තිබ්බොත් කිසිදු ප්‍රධාන පක්ෂයකට හෝ සංවිධානයකට හෝ ස්ථාවර ආණ්ඩුවක් සඳහා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොලැබෙනු ඇති බවට පුරෝකථනය වී තිබීමත් එහෙම අවස්ථාවක දී සජබ සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් ගලවාගෙන ආණ්ඩුවක් පිහිටුවා ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ඔහුට ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන බවට ඇතැමුන් ගොඩනගන තර්කය හදිසි මහ මැතිවරණ කතාවට මූලික වී තිබෙන බවත් සඳහන් විය. හැබැයි මේ ඔක්කොම කතා පසුගිය කැබිනට් මණ්ඩල රුස්වීමේ දී පුස්සක් බවට පත් විය.

‘‘මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ. මා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ මෙවර අයවැයෙන් මුදල් වෙන්කර තිබෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට බවයි.’’
එහෙම කියා තිබූ ජනාධිපතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැත්නම් 2025 අයවැය මේ වසරේ නොවැම්බර් මාසයේ දී ගෙනෙන්නට හැකියාව තිබෙන බවය. මේ කතාවත් එක්කම මුලින් මහ මැතිවරණයක් තිබිය හැකි වන බවට තිබූ කතාබහට විරාමයක් ලැබෙනු ඇත. කැබිනට් මණ්ඩලයට කරන දැනුම්දීමක් නිල දැනුම්දීමක් හැටියට සැලකිය හැකි බැවින් මහ මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුව තවදුරටත් බලපෑම් කිරීමෙන් ද පලක් නොවනු ඇත.

ඒ එක්කම මේ තීන්දුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකයන් හිත හොඳින් පිළි නොගනු ඇති බව නම් ඉතාම පැහැදිලිය. සෙසු නායකයන් කොහොම කිව්වත් බැසිල් දිගින් දිගටම ජනාධිපති හමුවූයේ ද මේ ඉල්ලීම කොහොම හරි ඉටුකර ගැනීමටය. මහින්දත් වරින් වර සිදු කළ අදහස් දැක්වීම්වලින් පෙනී ගියේ ඔහු හදිසි මහ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටින බවය. එය නොලැබෙන බවට ආරංචි පැතිර යද්දී මහින්ද ජනාධිපති රනිල්ගේ පාලනය දැඩිව විවේචනය කරන තැනට තල්ලු විය. ජනාධිපතිගේ ආර්ථික ප්‍රතිපත්ති තමන් අනුමත නොකරන බවට නිවේදන නිකුත් කිරීමට පවා මහින්ද ක්‍රියා කළේය. පොහොට්ටුව මෙතරම් දැඩි විදියට මහ මැතිවරණයක් වෙනුවෙන් හඬ නගද්දී ජනාධිපති රනිල් එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

බැලූ බැල්මට නම් පෙනෙන්නේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිල වශයෙන් නොකියා ඒ ගැන ඉඟි කරද්දී පොහොට්ටුව ඔහුගේ අපේක්ෂකත්වයට සහාය නොදෙන ස්ථාවරයක් ගැනීම එයට හේතුව බවය. පොහොට්ටුව වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස කියා තිබුණේ පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. ජනාධිපතිට සහාය දක්වන පොහොට්ටුවේ ප්‍රබලම චරිතය වශයෙන් කැපී පෙනෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ හඬ ද මේ වනවිට පොහොට්ටුව ඇතුළෙම අභියෝගයකට ලක්වෙන ලකුණු පහළ වෙමින් තිබේ. ඔහු පසුගියදා කොළඹ වොටර්ස් එජ් හෝටලයේ දී සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි පොහොට්ටු මැති ඇමැතින්ගෙන් ද බලාපොරොත්තු වන සහාය නොලැබෙන බව පෙනී ගොස් තිබිණි. රනිල් වික්‍රමසිංහට සහාය දක්වන කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැනි ඇමැතින් ද සුළු වශයෙන් අදහස් දැක්වීමද කැපී පෙනෙයි. මේ වනවිට ජනාධිපතිවරයාද රටේ පවතින තත්ත්වය අධ්‍යයනය කර තීරණයකට පැමිණ තිබෙන බව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ ස්ථාවරය රටට ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වී තිබේ.

මෙය ඍජුවම පොහොට්ටුවේ බලාපොරොත්තු කඩ කිරීමකි. ආණ්ඩුව තමන්ගේ වුණත් තම දේශපාලන අවශ්‍යතා ජනාධිපතිවරයා හරහා ඉටුකර ගන්නට නොහැකි වීමෙන් ඔවුන් තුළ දැඩි කනස්සල්ලක් ඇතිවීම වැළැක්විය නොහැක. තමන්ගේ අපේක්ෂකයකු යොදා ගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එහෙත් එවැනි තත්ත්වයක දී පොහොට්ටුවේ පිරිසක් ගැලවී යාමෙන් වළක්වා ගැනීමට ද එහි නායකයන්ට ලොකු වෙහෙසක් ගැනීමට සිදුවනු ඇත.

එසේම පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසකගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට දැඩි විශ්වාසයකින් කතා කළ නිමල් ලන්සාට මේ වනතුරුද එය ඉටුකර දීමට නොහැකි වී තිබීම ද ජනාධිපති රනිල්ගේ අවධානයට දැඩිව යොමුව තිබෙන ගැටලුවකි. රාජපක්ෂවරුන්ගේ දැඩි හිතවතකු වී සිටි ලන්සා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඔහුට සමීප විය. දැන් ලන්සා දැඩි රාජපක්ෂ විරෝධියෙක් වී සිටියි. එසේ සිටියත් පොහොට්ටුවේ සිටින රාජපක්ෂලා කෙරෙහි කලකිරුණු මන්ත්‍රීවරුන් රනිල්ට සහාය දක්වන පිරිසක් බවට පත්කර ගැනීමේ ඔහුගේ මෙහෙයුම දැන් අසාර්ථක වී තිබේ. එසේ තිබිය දී පොහොට්ටුවේ සහාය නොමැතිව ජනාධිපතිවරණයට තරග කර රනිල් වික්‍රමසිංහ මහතාට ජයගත හැකි වන බවට ලන්සා කර තිබූ ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොලැබුණු බවද කරළියේ ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයන් ද එම අදහස ප්‍රතික්ෂේප කර තිබූ බවත් මේ නිසා ලන්සා දැන් අලි අමාරුවක වැටී සිටින බවත් දැනගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සජබ මන්ත්‍රීන් පිරිසක් ඔහුට සහාය දැක්වීමට පැමිණෙනු ඇති බවට තිබූ පුරෝකථනය ද මේ වනවිට දියාරු වෙමින් පවතී. ජනපති රනිල්ට සජබ මන්ත්‍රීන් 18 දෙනකුගේ සහාය ලැබෙනු ඇති බවට කොතෙකුත් ප්‍රකාශ නිකුත් වුණත් එකම මන්ත්‍රීවරයකු හෝ සහාය දක්වන බවට තවම සලකුණක්වත් නැත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු එම සජබ මන්ත්‍රීන් නිහඬව සිටින බව දැන් තිබෙන ප්‍රචාරයයි. සංවර්ධන වැඩ ඉලක්ක කර ගනිමින් විමධ්‍යගත අයවැයේ මුදල් වෙන්කර දුන් මන්ත්‍රීන් පිරිසකගේ නම් එහිදී ඉහළින්ම සඳහන් වෙයි. එසේ ප්‍රතිපාදන ලැබූ සජබ මන්ත්‍රීවරුන් අතර අජිත් මාන්නප්පෙරුම, ඒ.සී. අලවතුවල, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, ඉෂාක් රහමාන් සහ කාවින්ද ජයවර්ධන ද වෙති. එයට අමතරව එක්සත් ජනරජ පෙරමුණේ පාඨලී චම්පික රණවක ද, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න ද සිටිති.

මේ මන්ත්‍රීවරුන් සහ පොහොට්ටුවේ සිටින ජනාධිපති රනිල්ට සහාය දක්වන නමුත් දැනට නිහඬව සිටින මන්ත්‍රීවරුන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු තම සහාය දැක්වීම හෙළි නොකරනු ඇති බව දැනට තිබෙන තත්ත්වයයි. මේ ගැන අදහස් දැක්වූ එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු (දැනට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන) ප්‍රකාශ කර තිබුණේ ඔය කියන මන්ත්‍රීවරුන් කී දෙනකුට ඊළඟ මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්විය හැකිදැයි යන්න ඉතාම අවිනිශ්චිත බවය. මේ තත්ත්වය බලපානු ඇත්තේ මුලින් ජනාධිපතිවරණය පවත්වා ඊළඟට මහ මැතිවරණය පවත්වන විටදී බවත් එවැනි පසුබිමක මේ බොහොමයක් මන්ත්‍රීවරුන්ට තමන්ගේ මන්ත්‍රී ධූර රුක ගැනීම බලවත් ප්‍රශ්නයක් වනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබුණි.

ජනාධිපතිවරණය මුලින් පවත්වන තත්ත්වයක දී එසේ සිදුවිය හැකි බවට විවාදයක් නැත. තවමත් දැඩි ලෙස නිහඬව සිටින රටේ ඡන්ද දායකයන් බහුතරය තමන් මෙතෙක් කල් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි අප්‍රසාදයක් බව සමාජයේ හරස්කඩකට කන්දෙන ඕනෑම කෙනකුට වැටහී යන සත්‍යයයි. බලවත් දේශපාලන පක්ෂ විසින් පිරිනමන විවිධ වරදාන සහ මුදල්වලට ‘‘බිලි බෝයිස්ලා’’ වෙන මන්ත්‍රීවරුන්ට නම් ඊළඟ මහ මැතිවරණය ඉතාම තීරණාත්මක විය හැකි බව ඒ කතාබහවලින් පෙරාගත හැකි සත්‍යයයි.

ජනාධිපතිවරණයට පොහොට්ටුව ද සැරසෙන බවට මහින්ද පසුගිය දිනවල ජාතික සම්පත් විකිණීමට එරෙහිව සිදු කළ සැර ප්‍රකාශය ප්‍රබල ඉඟියකි. පොහොට්ටුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව රටේ ජාතික සම්පත් රුක ගැනීමට මුල්තැනක් ලැබෙන අතර ඒවා වෙන්දේසියේ දැමීම ඔවුන්ගේ බලවත් උදහසට පත්වෙයි. ඊළඟට ඒවා දේශපාලන වේදිකාවේ ප්‍රබල සටන් පාඨ බවට පත්වෙයි. ඒ වගේම අධික බදු බර ද පොහොට්ටුව දකින්නේ ජනතාව අසීරුවට පත් කරන සාධකයක් හැටියටය. ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර සුබසාධනයට වැඩි ඉඩක් වෙන්වීමද සිදුවෙයි.

එහෙත් රටේ උද්ගත වූ දැඩි ආර්ථික අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වූයේද එම පැරණි ආර්ථික මතවාද බවට ප්‍රබල මතයක්ද දැන් ජනගත වී තිබේ. රටට ලබාගත යුතු ඍජු විදේශ ආයෝජන ආපසු හැරවීමට පොහොට්ටුවේ එම ‘‘සටන් පාඨය’’ ද හේතු විය. ජාතික සම්පත් රුක ගැනීම අවශ්‍ය වුණත් එය රට තුළ පවතින සැබෑ ආර්ථික තත්ත්වයත් සමඟ ගලපා ගැනීම ද අවැසිය. රටේ ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින විට ජාතික සම්පත් රුකෙන්නේ ද නැත. එවැනි අවස්ථා වළක්වා ගැනීමට ඍජු විදේශ ආයෝජන අවශ්‍යය. ආයෝජන සමඟ රටේ සම්පත් ඒකාබද්ධ කිරීම ජාතික සම්පත් විකිණීමක් හැටියට දැකීමේ අමිහිරි, කටුක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට රටේ ආර්ථිකයට සිදුවිය. එයින් බැටකෑවේ දේශපාලකයෝ නොවේ. රටේ පොදු මහජනතාවයි.

මීළඟ ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක විය හැක්කේ මේ ආර්ථික ප්‍රතිපත්ති ගැටුම නිසා බව පැහැදිලිය. රටේ ජනතාවට ප්‍රධානම ගැටලුව තමන්ට තිබූ ‘‘හොඳ ජීවන තත්ත්වය’’ අහිමි වී යාමයි. එයට හේතු වූයේ ආර්ථික කඩා වැටීමයි. ඒ කඩා වැටීම සිදු වූයේ මේ රට පාලනය කළ දේශපාලන පක්ෂ තමන්ගේ බලය සහ බඩ වඩා ගැනීමට මුල් තැනක් දී රටේ අනාගත අභිවෘද්ධිය පරදුවට තැබීම බව ජනතාව අවබෝධ කරගෙන තිබේ. තමන් දුප්පත්කමින් පීඩා විඳිද්දී බොහොමයක් දේශපාලනඥයන් අසීමිත ලෙස පොහොසත් වී සිටින බව ඔවුන්ගේ ඇසට පෙනෙන සත්‍යයයි.

ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? යන ගැටලුව පැන නගින්නේද මේ බඩගෝස්තරවාදී දේශපාලනය නිසා මිස වෙනත් කිසිවක් නිසා නොවේ. නැත්නම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී තවත් බිලියන 10ක් වියදම් කර අකාලයේ මහ මැතිවරණයක් ඉල්ලීමේ හේතුව කුමක්ද? එය ජනතාවගේ ඉල්ලීමක් නොව දේශපාලකයන්ගේ ඉල්ලීමකි. දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණය රටේ නීතියට අනුව මුලින් පැවැත්විය යුතු බවයි. එහෙත් දේශපාලනයේ දී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවත් ඔප්පු කර ඇති අපේ රටේ ජනාධිපතිවරණය ගැන කර ඇති ප්‍රකාශයත් ඉදිරියේ දී වෙනස් වුණොත් ඒ ගැනත් පුදුම වෙන්න දෙයක් නැත.

I ශශීන්ද්‍ර