දයාසිරි ජයසේකර - පාර්ලිමේන්තු මන්ත්‍රී
Q ඔබ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක් විතරයි මේ වෙද්දි. ඒත් තනතුරු රුසක් දරපු කෙනෙක්. මොකක්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුණේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ 1951 දි. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2024 දී වළපල්ලට ඇරියා.
Q ඔබ මහලේකම්වරයා හැටියට ඉන්න කාලේ කිව්වේ පක්ෂය වළපල්ලට යවන්නේ කුමන්ත්‍රණකාරයෝ කියලා. ඒත් දැන් කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා?
කුමන්ත්‍රණකරුවෝ හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන එක නවත්තලා, ඒ අයව කරට අරගෙන මට ගහලා එළෙව්වා. පක්ෂය රැකගත්ත මට ගැහුවේ. එදා ඉඳලා තමා මේ විනාශය පටන් ගත්තේ. එදා ඉඳලා තමයි මේ සියල්ලම සිද්ධ වුණේ. නායකයෙක් විදිහට අර්බුදයෙදී හැන්ඩ්ල් කරගන්න බැරිව, නායකයෙක් හැටියට එහෙටයි මෙහෙටයි වැනි වැනි අරයා මෙයා කියන දේවල් අහන එකේ ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. තීරණයක් ගන්න නොදී එහෙට මෙහෙට වනපු එකේ ප්‍රතිඵල තමයි ඔය.
Q දැන් පක්ෂය දෙකට මැද්දෙන් බෙදිලා නිමල් සිරිපාල සිල්වා පාර්ශ්වයයි, විජයදාස රාජපක්ෂ පාර්ශ්වයයි කියලා. ඇත්තටම පක්ෂය තියෙන්නේ කොයි පැත්තෙද?
දැන් තියෙන්නේ උසාවියේ.
Q පාක්ෂිකයන්ට අයිතිත් නෑ?
නෑ තුන් හතර දෙනෙක් කාර්යාලය අල්ලන් ඉන්නවා. තව කට්ටියක් එළියේ ඉන්නවා, තනතුරු මාරු කරනවා. ඕක තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
Q ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න බැරිද?
පුළුවන්. දෙගොල්ලෝ එකතුවෙලා කතා කරලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එතැනින් අයින් කරන්න ඕනෑ. අපි ඔක්කොම එකතුවෙලා මේක ගොඩදාන්න පුළුවන්.
Q දෙපාර්ශ්වයෙන් කොයි පැත්තෙන්වත් ආරාධනා ආවේ නැද්ද එකතු වෙන්න කියලා?
නෑ ඒ අය කතා කළේ නෑ. මම ඔය දෙපැත්තෙම නෑනේ.
Q දැන් ඔබේ සන්ධානය මොකක්ද? ඉදිරි අනාගත සැලැස්ම මොකක්ද?
අපි මානුෂීය ජනතා සන්ධානය. ඒක අපි කරගෙන යනවා. පක්ෂ 23ක් අපිට එකතුවෙලා ඉන්නවා.
Q අපි දැක්කා පහුගිය දවසක විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර යන අය එකතු වුණා. ඔබට ආරාධනාවක් නැද්ද ඒ සන්ධානයට?
මට කතා කළා. මම ඒකට සූදානමක් නෑ. තවම ඒ ගැන අදහසක් නෑ.
Q ඔබට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගන්න කිව්වොත් තෝරගන්න නායකයගේ මොන වගේ දේවල්ද බලන්නේ?
රට ගැන හිතන කණ්ඩායමක් සහ නායකයෙක් එක්ක තමා වැඩ කරන්න වෙන්නේ.
Q එහෙම ඔබ අඳුරගත්ත නායකයෙක් ඉන්නවද?
තවම නෑ.
Q රංගේ බණ්ඩාර එජාප මහලේකම් කියලා තිබුණා අවුරුදු දෙකක් ඡන්දය කල් දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයට බලය දෙන්න ඕනෑ කියලා. ඔබ ඊට එකඟද?
විහිළු කතා කරන මිනිස්සුන්ට උත්තර දීලා වැඩක් නෑ.
Q එහෙම කරන්න පුළුවන්ද?
පුළුවන්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරන් ජනමත විචාරණයකට යන්න ඕනෑ. ඡන්දයක් දින්න මිනිහෙක් කිව්වා නම් කමක් නෑ. එක ආසනයක් තියන් පාර්ලිමේන්තුවේ ඡන්ද 150 ක් ගන්න කතාව.
Q ඔහු කියන්නේ වර්තමාන ජනාධිපතිට අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා. ඔබ මොකද හිතන්නේ?
ඉතින් අවස්ථාවක් දෙන්න දිනන්න එපැයි.
Q එතුමට හැමෝම සහාය දිය යුතුයි කියන්නේ?
ඔව් එතුමා යම් වැඩ කොටසක් කරලා තියෙනවා. ඒත් එතුමා යන ගමන් මාර්ගය නෙමේ රටට ගැලපෙන්නේ. මේ විදිහට ගියොත් විජාතික බලවේගවලට යට වෙන්න වෙනවා. රටේ ජාතික සම්පත් විකුණන ගමන් දවසේ ඩොලර් ගාණ හොයන වැඩක් එතුමගේ තියෙන්නේ. මේක තාවකාලික සහනයක්. රට ගොඩගන්න අරමුණක් නෑ.
Q පාර්ලිමේන්තුවේ විසිරුණු ස්වාධීන වුණු මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා. ඔබට ඔවුන් සම්බන්ධ කරගෙන වැඩක් කරන්න අදහසක් නැද්ද?
ඒක අපි බලන ගමන් ඉන්නේ. අපි හදන්නේ කොහොම හරි මතවාදීව එකතු වෙන්න පුළුවන් කණ්ඩායමක් හොයාගන්න එක.
Q දැන් සමගි ජන බලවේගයෙත්, ජාතික ජන බලවේගයෙත් ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකූ කතාවක් සංවාදයක් තියෙනවා. ඔබට අනුව පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නේ කා ළඟද?
සමගි ජන බලවේගයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් පේන්න තියෙනවා. ඒත් ජාතික ජන බලවේගය 2019 න් පස්සේ එවැනි ලේඛනයක් ඉදිරිපත් කරලා නෑ. ඔවුන් විවිධ අවස්ථාවල විවිධ කතා ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් සමස්තය සම්බන්ධයෙන් නිවැරදි වැඩපිළිවෙළක් නෑ. ඒත් සමගි ජනබලවේගයේ එහෙම එකක් පේනවා.
Q ඔබට සජිත් ප්‍රේමදාස මහත්තයා ආරාධනා කළොත් ඔවුන් එක්ක එකතු වෙන්න කියලා, එකතු වෙනවද?
නෑ තවම එහෙම අදහසක් නෑ. ඉස්සරහට බලමු.
I ගයාන් ගාල්ලගේ