නීතිඥ අජිත් පී. පෙරේරා - ප්‍රධාන විධායක සමගි ජන බලවේගය
Q ඔබ නීතිඥයෙක්, ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මට කියන්න පාලිත රංගේ බණ්ඩාර කිව්ව විදිහට අවුරුදු දෙකකට ඡන්දය කල් දාන්න පුළුවන්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා තමයි මේක කරන්න වෙන්නේ. මේ කාරණයට අදාළව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 2/3කුත් ජනමත විචාරණයකුත් අවශ්‍ය වෙනවා. හැබැයි කොහොම වුණත් මෙතැන සදාචාරාත්මක අයිතියක් නෑ. හැබැයි කවුරු හරි හිතනවා නම් කරන්න පුළුවන්. මීට කලින් පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඔය වගේම දේවල් කළා. ඒ නිසා විශාල කරදර රුසක් සිද්ධ වුණා. පක්ෂයට අපකීර්තියක් වුණා. ප්රජාතන්ත්රවාදයට විශාල තර්ජනයක් වුණා.
Q ඔබ මේක දේශපාලන වශයෙන් කියවන්නේ කොහොමද?
රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් නියත වශයෙන්ම පරදින නිසයි ඔය කතා කියන්නේ පක්ෂයේ මහලේකම්වරයා.
Q දැන් ඊළඟ මැතිවරණයේ මාතෘකාව වෙන්නේ රට ආර්ථික වශයෙන් ඉහළ නංවන එක. ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ඔබලත්, ජාතික ජන බලවේගයත් සටනක ඉන්නේ. ඇත්තටම ජනතාව පිළිගන්න ඕනෑ ආර්ථික සැලැස්ම කොහෙද තියෙන්නේ?
මේ රට ගොඩගන්න ආර්ථික විප්ලවයක් ඕනෑ. සමාජ වෙළෙඳපොළ ආර්ථිකය කියන ආර්ථික මූලධර්මය මත තමයි ගොඩනැගෙන්න ඕනෑ. මේක මාක්ස්වාදී මූලධර්මයත් නෙමේ. මේක නියෝ ලිබරල් ආර්ථිකයත් නෙමේ. ඒ මැද තියෙන න්‍යායක්. ව්‍යවසායකත්වය සඳහා දිරිමත් කරන අතර පුරවැසියාගේ මූලික අවශ්‍යතා සඳහා රජය විසින් මැදිහත් වෙන වැඩපිළිවෙළක් යටතේ තමා අපි බ්ලූ ප්‍රින්ට් වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ. අපි ඒක ඉදිරිපත් කරලා, කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් සම්මත කරලා, පාර්ලිමේන්තු කණ්ඩායමත් අනුමත කරලා, ඒක සභාගත කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලියි අපි යා යුතු මග.
Q ජාතික ජන බලවේගය කියන දෙයක් තමයි මේ රට ගොඩගන්න දූෂණ වංචාව නවත්තන්න ඕනෑ කියලා. ඔබ කියන්න එහෙම කළාම රට ගොඩගන්න හැකියාව තියෙනවද?
දූෂණ වංචාව නතර කිරීම වැදගත් දෙයක්. ඒත් ඒක නතර කළ පමණින් රට ගොඩ යන්නේ නෑ. ආර්ථික මූලධර්ම ගැන පැහැදිලි අදහසක් තිබිය යුතුයි. ඒත් මාලිමා පක්ෂයට එවැනි ආර්ථික වැඩපිළිවෙළක් ලිඛිතව හදාගන්න බැරිවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. ඒ දේ මූලික කරගනිමින් නිර්මාණය කළ පක්ෂයකට එම මූලධර්මවලින් පිට යන්න බෑ. මාක්ස්වාදී ආර්ථික මූලධර්ම දශක පහක ඉඳලා ක්‍රියාත්මක කරන්න උත්සාහ දරලා බිඳ වැටිලා තියෙන්නේ. අද කොහෙවත් නෑ, උතුරු කොරියාවේ හැරෙන්න. අද මාලිමා පක්ෂයටත් වෙලා තියෙන්නේ ස්ථිර ලෙසම ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න බෑ තිබෙන තත්ත්වය එක්ක.
Q දැන් සජබයෙන් කී දෙනෙක් ආණ්ඩුවට යන්න ඉන්නවද?
මම සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හැටියටත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු හැටියටත් කියනවා, කිසිම මන්ත්‍රීවරයෙක්ට වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙන්න උවමනාවක් නෑ. වික්‍රමසිංහ මහත්තයගේ ධූර කාලය උපරිම වශයෙන් ඔක්තෝබර් මුල් සතිය විතරයි තියෙන්නේ. ඔහු දිනන්නේ නෑ. එහෙම තත්ත්වයක් මත කිසිම මන්ත්‍රීවරයෙක් කැමති නෑ එහෙම හේත්තු වෙලා නම කැත කරගන්න. අනික වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ තනතුර රුකගන්න දූෂිතයෝ එක්ක එකතු වෙලා ඉන්නේ. ඔහු ඉන්නේ විකුණන ප්‍රතිපත්තියේ. රාජ්‍ය දේපළ විකුණන්න ඔහු නීතිය හදනවා. එවැනි තත්ත්වයක කිසිම කෙනෙක් එකතු වෙන්නේ නෑ.
Q ඔබ හිතන්නේ එළඹෙන ආණ්ඩුවක මූලික අරමුණ විය යුත්තේ කරපු දූෂණ වංචා හොය හොයා සල්ලි හොයාගන්න එකද? ඒ ආණ්ඩුවේ ඉඳන්වත් රටේ හොරකම දූෂණය නවත්වන එකද? මොකද මේ රටේ එහෙම හොයාගත්ත සල්ලියක් නෑ?
දූෂණ වංචාවට එරෙහිව හොඳට ක්‍රියාත්මක වුණු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. රටේ පාලන අධිකාරියේ ඉහළම තනතුරු දැරුව අය, ඒ අයගේ දූ දරුවන් පවා අත්අඩංගුවට ගත්තා. නඩු පැවරුවා. ඒ නඩු තවම තියෙනවා. සමහර නඩු ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කාලේ ඉල්ලා අස්කර ගත්තා. සමහර ඒවා පරක්කු වෙන්න හේතුව මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරු එක්ක ඉන්න නිසා. ඒ නිසා මේ හොරකම දූෂණයට විරුද්ධ ආණ්ඩුවක් හැදෙන්න ඕනෑ. ඊටත් වඩා සමාජයක් හැදෙන්න ඕනෑ. ලෝකයේ දූෂණ නැති රටවල් හරි අවමයි. දූෂණ නවත්තන්න අවශ්‍ය පාරවල් අවහිර කරලා තියෙන්නේ. ඒ හරහා පුළුවන් රට හොඳට ඉදිරියට අරගෙන යන්න. මෙහේ නෛතික තත්ත්වය සෑහෙන්න හැදිලා තියෙන්නේ. මමත් මැදිහත් වෙලා සකසපු දූෂණ විරෝධී පනත හරහා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
Q ඔබලගේ ආණ්ඩුවක් ආවොත් ජනතාවට දැනෙන කෙටිකාලීන සහන දෙන්න පුළුවන්ද?
අපේ බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙළ යටතේ කෙටිකාලීන ආර්ථික සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නෙ. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒත් අපේ මූලික අරමුණ තියෙන්නේ දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළක්. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කරලා, අපනයනය වැඩි කරලා, රට තාක්ෂණික වශයෙන් ඉදිරියට ගිහිල්ලා, බලශක්ති සුරක්ෂිතතාවය හරහා රට ඉදිරියට ගෙන යාම තමා අපේ අරමුණ.
I ගයාන් ගාල්ලගේ