2024 ජුනි 01 වන සෙනසුරාදා

රංගෙගේ ඡන්ද කතා

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් වශයෙන් පෙන්වා දෙමින් තවත් අවුරුදු දෙකක කාලයකට ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කළ යුතු යැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය දේශපාලන කරළිය තුළ දෙබරයකට ගල් ගැසීමක් බවට පත් වී තිබේ. රංගේ බණ්ඩාර මහතාගේ එම ප්‍රකාශයත් එයින් දේශපාලන කැළඹීමක් ඇතිවීමත් අතර තිබුණේ ඉතාම සීමිත කාලාන්තරයකි. එයින් පෙන්වා දී ඇත්තේ මේ වෙලාවේ මැතිවරණ කල් දැමීමක් ගැන කතා කිරීම රටේ ජනතාවට කොතරම් සංවේදී කාරණාවක් බවට පත්ව තිබේද යන්නයි.

මේ ප්‍රකාශය සිදුකරන රංගේ බණ්ඩාර මහතා මෙරට සිටින ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර පමණක් නොව රාජ්‍ය අමාත්‍ය ධූර පවා හෙබවූ පළපුරුදු මහජන නියෝජිතයෙකි. වර්තමානයේ රටේ ජනාධිපති ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන පක්ෂයේ මහ ලේකම්වරයාය. මේ හේතු කිහිපය ඔහු කරන ප්‍රකාශයක වගකීම පිළිබඳ වටහා ගැනීමට ප්‍රමාණවත්ය. එසේ නම් ඔහු මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද? එ මතු නොව වඩා ප්‍රායෝගික ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයකට මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවටද ඔහු යෝජනා කරයි. මැතිවරණ පැවැත්වීම කල් දැමීමම බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙද්දී එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුකූලව සිදුකිරීමක් ගැන මෙවැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මත පළ කරන්නේ කෙසේද? එය වැරදීමකින් කිව්වා විය නොහැක. ඔහු තවම ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නැතිවීමෙන් ඒ බව සනාථ වෙයි.

තමන්ගේ අදහස වඩාත් ප්‍රබලව කියා පෑමට ඔහු තව කාරණා කිහිපයක්ද එකතු කරගෙන තිබිණි. ඉන් එකක් වූයේ මැතිවරණයක් පැවැත්වීමෙන් පරිසර දූෂණයක් සහ අනවශ්‍ය මුදල් නාස්තියක් සිදුවන බවයි. එසේ නම් රංගේ බණ්ඩාර මහතාට කෙදිනකවත් මන්ත්‍රීවරයකු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. දැවැන්ත පක්ෂයක මහලේකම් තනතුර දැරීමට හැකිවන්නේද නැත. ඔහු මන්ත්‍රීවරයකු වූයේද පරිසර දූෂණයක් සහ අනවශ්‍ය මුදල් නාස්තියක් වශයෙන් ඔහුම හඳුන්වන මැතිවරණ තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ පැවැත්වීම පරිසර දූෂණයක් සහ අනවශ්‍ය මුදල් නාස්තියක් වශයෙන් දකින ප්‍රජාතන්ත්‍රවාදී රටක සිටින එකම දේශපාලන පක්ෂ මහලේකම්වරයා විය හැක්කේද පාලිත රංගේ බණ්ඩාර මහතා විය හැක.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී බැවින් එය පක්ෂයේ අදහස නොවන බව පැවසීමටද හැකියාවක් නැත. පක්ෂ මූලස්ථානයේ සිට පක්ෂයේ නොවන පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවක් පැවැත්වූවා නම් එය බරපතළ විනය කඩ කිරීමකි. පක්ෂයේ විනය ආරක්ෂා කිරීමට සිටින ප්‍රධානම පුද්ගලයකු අතින් එවැනි වැරුද්දක් සිදුවීමට ඉඩක් නැත. කෙසේ වුවද මේ අදහසට පක්ෂයේ නායකත්වයෙන් නම් කිසිදු අනුමැතියක් ලැබී නැති බවටද ආරංචි පැතිරෙයි. පක්ෂයේම සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කර තිබීමෙන් ඒ බව පැහැදිලි වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය කැබිනට් ඇමැති රුස්වීමේදී ජනාධිපතිවරණය නියමිත කාලය තුළදී පැවැත්වෙන බවට කළ ප්‍රකාශය තුළින්ද එය වඩාත් තහවුරු වෙයි.

ඡන්ද කල් දැමීමේ වෑයම සම්බන්ධයෙන් රටේ බොහොමයක් දේශපාලන පක්ෂවල නායකයන්ගෙන්ද ප්‍රබල විරෝධයක් එල්ල වී තිබේ. ඔවුන් දැඩිව ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය තුළදී පැවැත්විය යුතු ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවකි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවක් බවත් මෙවැනි ප්‍රකාශ ලෝකය හමුවේ රටේ ප්‍රතිරෑපයට පවා විශාල හානියක් කරන බවත් සමහර නායකයන් ප්‍රකාශ කර තිබිණි. එම අදහස් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුකර ඔවුන්ගේ සැක සංකා දුරු කිරීම රජයේ බලධාරීන්ගේ වගකීමකි. එසේ නොවන විට රටේ ජනතාව අතර ද නොසන්සුන්කම් වර්ධනය වීමට ඉඩ තිබෙන බවත් එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකි බවත් මෙරට ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. මේ ඉතිහාසය රංගේ බණ්ඩාර මහතාට ද අමතක වී තිබිය නොහැක.

රටේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙමින් රට ගොඩනැගෙමින් තිබෙන බවත් ණය ප්‍රතිව්‍යුහකරණය, ජාත්‍යන්තර අරමුදල, ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ තිබෙන අපේක්ෂා තවදුරටත් වර්ධනය කර ගැනීමට නම් මේ පවතින ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ද රංගේ බණ්ඩාර මහතා කියා තිබිණි. එසේ නම් කළ යුතු හොඳම දෙය මැතිවරණය කල් දැමීම නොව නියමිත දිනට මැතිවරණය පවත්වා එම ක්‍රියාවලිය සඳහා ජනතාවගේ අනුමැතිය ලබාගැනීම බව රංගේ බණ්ඩාර මහතා ද දැන සිටිය යුතුය.

 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00