2024 ජුනි 01 වන සෙනසුරාදා

ඡන්ද කල් දැමිල්ල

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

ජනාධිපතිවරණය ගැන කතාව හදිසියේම වෙනත් පැත්තකට හැරී තිබේ. ඒ හැරවීම සිදු කළේ පාලිත රංගේ බණ්ඩාරයි. රංගේ බණ්ඩාර යනු නිකම් කට කහනවාට කතා කරන අයෙක් නොවේ. එහෙම ආවාට ගියාට කතා කරන්නත් රංගේට හැකියාවක් නැත. ඔහු යු.එන්.පියේ මහා ලේකම්වරයා බැවිනි.

යු.එන්.පියේ මහා ලේකම්වරයා මේ රටේ මැතිවරණ අවුරුදු දෙකකට කල් දමා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව කිව්වේය. ඒ සඳහා සජබ සහ ජා.ජ.බ. නායකයන්ද එකඟ විය යුතු බවටත් ඒ ගැන ප්‍රකාශයක් කළ යුතු බවටත් රංගේ කිව්වේ විධානයක ස්වරෑපයකිනි. මේ ගැන පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු බවත් කිව් රංගේ ඒ ගැන ජනමත විචාරණයකට පසුව යා හැකි බවත් කියා තිබිණි.

මේ කතාවේ හරය ආණ්ඩුවේ කෙසේ වෙතත් යූ.එන්.පීයේ අදහස ඉදිරි වසර දෙකකදී මේ රටේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වීම බවය. රංගේ පක්ෂයේ මහලේකම්ද වීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශය නිල ප්‍රකාශයක් වශයෙන් පිළිගැනීමට සිදුවෙයි. වජිර වරින් වර කියන කතාවලට වඩා රංගේ ගේ කතාව බරින් වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර 10ක කාලයකට රට බාර දිය යුතු බවට වජිර අබේවර්ධන කිහිප වතාවක් පැවසුවත් කවුරුවත් ඒ කතාව ගණන් ගත්තේ නැත. එය බොහෝ දෙනකු දැක්කේ ජනතාවට විහිළු සැපයීමක් හැටියටය. නමුත් රංගෙ ගේ කතාව රටේ දේශපාලන කරළිය ඇතුළේ පුපුරා ගිය බෝම්බයක තත්ත්වයට පත්විය. ඉතාම ඉක්මනින් ඒ කතාවට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේය. හතරවටින්ම රංගේ ඉලක්ක කරගෙන පහර එල්ල වුණු අතර තත්ත්වය බරපතළ වෙද්දී රංගේ හදිසියේම පසුගිය බ්‍රහස්පතින්දා (30) යළිත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. එය විනාඩි එකහමාරකට පමණක් සීමා විය. ඔහු එහිදී කිව්වේ ලබන සඳුදා තමන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන බව දැනුම් දීමට මේ සාකච්ඡාව පවත්වන බවකි. නමුත් ඔහු කිසිදු ප්‍රශ්නයකට හෝ උත්තර දීමට නොනැවතී වහාම එතැනින් පිට විය.

මෙය මැතිවරණ කල් දැමීම ගැන පවතින කතාව තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත් කිරීමක් විය. පක්ෂය ඇතුළේ ඒ ගැන මතභේදාත්මක තත්ත්වයක් පවතින බවට ඒ සිද්ධිය සංඥාවකි. දැන් තිබෙන්නේ සඳුදා රංගේට කියන්න යමක් ඉතිරිවේදැයි හිතන්නත් බැරි තත්ත්වයකි.

එහි උණුසුම මැකී යන්නත් පෙරම ජනාධිපතිවරයාට ඉතා සමීප උපදේශකයකු වන ආශු මාරසිංහ ද දැඩිව ප්‍රකාශ කළේ වසර දෙකකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කර දිය යුතු බවය. ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට එයින් ජය ගැනීමට හැකි නම් පමණක් යන මතයක්ද ඔහු ඉදිරියට දැම්මේය. උතුරේ නායකයකු වන සී.වී. විග්නේෂ්වරන් ද කියන්නේ මේ අවුරුදු දෙකත් දික් කළ යුතු බවට වන කතාමය. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ ඉතාම සැලසුම් සහගතව  ජනාධිපතිවරණය කල් දැමිය යුතු වන බවට මතයක් ජනගත කෙරෙමින් තිබෙන බවයි. ඒ ගැන සෙසු සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ විරෝධය පළ කරමින් සිටී.

ඉදිරි කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ජනාධිපතිවරයා රංගේ ගේ කතාවෙන් පසුව ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය පැවැත්වීම ‘‘අල කිරීමේ’’ සැලැස්මක් කවුරුන් විසින් හෝ ක්‍රියාත්මක කරන බවට බලවත් සැකයක් රටේ පොදු මහජනතාව අතරටද කාන්දු වෙමින් තිබේ. තව ටික කලකින්ම මේ ජනතාව ‘‘ඕක තමයි අපි කිව්වේ’’ යනුවෙන් කියන්නත් බැරි නැත. එහෙම කියා ඔවුන් නිකම් සිටිනු ඇතැයි කියා නම් සිතිය යුතු නැත. එහෙම කියන්නේ අපේ රටේ මැතිවරණ කල් දැමීමෙන් සිදුවූ ප්‍රතික්‍රියා ගැන බොහොමයක් දේශපාලන නායකයන්ට දැන අමතක වී තිබෙන බවක් පෙනී යන බැවිනි. ඒ ගැන තරමක සිහි කැඳවීමක් සිදු කළ යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමටත් ප්‍රථමයෙන් මහ මැතිවරණය කල් දැමීම සිදු කළේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් 1975 දීය. 1970 පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ සමගි පෙරමුණු තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීමට සිරිමා බණ්ඩාරනායකට හැකි විය. ඒ ආණ්ඩුව ^75 දී මහ මැතිවරණයකට යා යුතුව තිබුණත් සිරිමාවෝගේ සමීපතම උපදේශකයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු සමහරුන්ගේ උපදෙස් මත සිරිමාවෝ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමුවේය. ඒකට උපයෝගි කර ගත්තේ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කරමින් සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. උපදේශකයන් පෙන්වා දුන්නේ එම ව්‍යවස්ථාවට අනුව අලුතින් දිවුරුම් දීම නිසා වසර 05 ක් එතැන් සිට ගණන් බැලිය යුතු බවය. ඒ කාලේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ අණ පනත් එතරම් ශක්තිමත් ඒවා නොවූ බැවින් පහසුවෙන්ම මේ කල් දැමීම සිදු කරගත හැකි විය. හැබැයි '75 දී පැවැත්විය යුතුව තිබූ ඡන්දය '77 දී තැබීමෙන් ශ්‍රීලනිපයට අත්වූයේ අන්ත පරාජයකි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පවා ශ්‍රීලනිපයට අහිමි විය.

ඊට වසර 05කට පසුව යූ.එන්.පීයද ඒ වරදම කළේය. ඒ වෙලාවේ ජේ.ආර්. රටේ විධායක ජනාධිපති වශයෙන් සිටිමින් ජනාධිපතිවරණය පවත්වා දෙවැනි ධූර කාලය ආරම්භ කර සිටියේය. ජේ.ආර්. ගේ සමීපතමයන් ඒ වෙලාවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ පවතින හයෙන් පහක බලය එලෙසම තබා ගැනීමට මහ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වමු කියලාය. ඉතිහාසයේ ඉතාම දූෂිත මැතිවරණයක් වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කළු පැල්ලමක් එකතු කළ එම ජනමත විචාරණය ලාම්පු-කළගෙඩි සෙල්ලම වශයෙන් හඳුන්වනු ලැබීය. මැතිවරණ දූෂණ වළක්වන නීති වර්තමානයේදී තරම් ප්‍රශස්ත මට්ටමක නොතිබූ බැවින් හොර ඡන්ද දැමීම නිදහසේ සිදුවිය. කොටින්ම ජනාධිපතිවරණයේදි ජේ.ආර්. ගේ ප්‍රතිවාදියා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දයද වෙනත් පුද්ගලයකු පැමිණ භාවිත කළේ ප්‍රසිද්ධියේමය.

ඒ මැතිවරණ කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පතුලටම ඇද දැම්මේය. මහ මැතිවරණය තිබුණා නම් එයට තරග කර පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව තිබූ දකුණේ ජේ.වී.පී එකටත් උතුරේ අන්තවාදී තරුණ කොටස්වලටත් පාර්ලිමේන්තුවේ දොර වැසුණේය. ඔවුන් දෙපිරිසම කැලෑ වැදී අවි අතට ගෙන සන්නද්ධ අරගලයට තල්ලු වූහ. මේ දෙපිරිසම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සන්නද්ධ අරගලය තෝරා ගැනීම වැරදි පාරක යාමක් වුණත් පාර්ලිමේන්තුවේ දොර වැසීම ඔවුන්ගේ අරගලවලට ප්‍රබල සාධාරණත්වයක් ආරෝපණය කළ වග සැඟවිය නොහැක.

ඉන් පසුව රටේ දෙකොණින්ම ගිනි ඇවිළුණි. දහස් ගණනින් මිනිස් ජීවිත අහිමි විය. විධායක බලතල මඩේ හිටවූ ඉන්නක් බවට පත් විය. පාර්ලිමේන්තුව ඇතුළේත් බෝම්බ පිපිරුණි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීම ප්‍රමාද වනවිට එහි අතුරු විපාක හැමවිටම ප්‍රචණ්ඩත්වයට නැඹුරු විය හැකි බව බොහෝ නායකයන් තේරුම් ගන්නා විට ප්‍රමාද වී වැඩිය.

ඊළඟට රටේ යළිත් ඡන්දයක් කල් දැමුණේ සිරිසේන - වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව සිදු කළ පළාත් පාලන ඡන්දය කල් දැමීමයි. 2017 දී පැවැත්විය යුතු වූ ඒ ඡන්දය වසරකින් කල් දැමුණේ පළාත් පාලන පනත වෙනස් විය යුතු බව හේතුවක් කර ගනිමිනි. ඒ අවස්ථාවේ එම ඡන්දය කල් දැමීමට දැන් ඡන්ද කල් දැමීම ගැන ලොකුවට කෑ ගසන ශ්‍රීලනිපය පමණක් නොව ජවිපෙද සහාය ලබා දුන්නේය. සජබ හිටියෙත් ඡන්දෙ කල් දැමූ යූ.එන්.පිය ඇතුළේමය. අවුරුද්දකට පස්සේ ඒ ඡන්දය පැවැත්වුණි. මුළු රටෙන්ම ආණ්ඩු පක්ෂය සේදී ගියේය. රටේ පළාත් පාලන ආයතන 337න් 310කම බලය ආණ්ඩුවෙන් ගිලිහී විපක්ෂයේ ඔඩොක්කුවට වැටුණේය. ඒ වැටිල්ලෙන් ගොඩ එන්න යහපාලන ආණ්ඩුවට හැකිවුණේම නැත. ඊළඟ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනුවේ ඒ රුල්ලේ නැගී ඇවිත්ය. ගෝඨාභය ආණ්ඩුවත් 2019 පළාත් සභා ඡන්දයත් 2022 දී පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණයත් කල් දැම්මේය. දැන් ඒ ඡන්ද  දිගටම කල් යමින් පවතී. ඒ අතරේ ගෝඨාභයට බලයද අහිමි විය.

මැතිවරණ කල් දැමීම්වල ප්‍රතිවිපාක ඔහොමය. මැතිවරණ කල් දැමීම බලයේ ඉන්න  ආණ්ඩුවට දැනෙන්නේත් පෙනෙන්නේත් මහා ජයග්‍රහණයක් හැටියටය. හැබැයි ඒවායේ ප්‍රතිඵල එන්නේ පොලියත් එක්ක බව ඒ වෙලාවේ නම් මතක් වෙන්නේ නැත. ඡන්ද කල් දමන්න සැලසුම් හදන සියලු දෙනාම ඒ ගැන දැන සිටිය යුතුය.

ලංකාවේ ජනතාව දැන් සිටින්නේ ඉතිහාසයේ බරපතළ ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙමින් සිටින අවස්ථාවකය. මෙවර මැතිවරණ කල් දැමීම සඳහා වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් හේතුවකට ගන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සිදු කරගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව යන්නයි. එහෙම හේතුවක් උඩට ගත්නවා නම් රට ආර්ථික වශයෙන් කඩා වැටුණේ කොහොමද යන සංකීර්ණ ගැටලුවටද පිළිතුරු සොයාගත යුතුය. එම හේතු සියල්ල එසේම තිබුණත් රටේ පොදු මහජනතාවගේ කර මුලටම හිර කරමින් බදු ගැසීමත්, ඉන්දියාවෙන් ලබා දෙන ලද ඩොලර් බිලියන 04ක ණය ආධාරයත්, කොවිඩ් අර්බුදයෙන් පසුව සිදුවූ සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් හරහා රටට ලැබුණු ආර්ථිකමය සහන රටේ පවතින වත්මන් යහපත් තත්ත්වයට හේතු විය. ඒ සමඟ අයි.එම්.එෆ්. එක සමඟ ගිවිසුම්ගත වීමත් ඔවුන්ගෙන් ලැබුණු වාරික දෙකත් සහනයක් විය.

ඒ තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගැනීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙයක් කළ බව නොරහසකි. එහෙත් රටේ ජනතාව දැඩි ලෙස තවමත් ආර්ථික වශයෙන් පීඩා විඳින බවද අමතක නොකළ යුතුය. එසේම ඉහළ මට්ටමින් සිදුවන වංචා සහ දූෂණද තවමත් අඩු නැත. ඒවා පාලනයට කොතරම් තද නීති ගෙන ආවත් වැරදි කරන බලවත් පුද්ගලයන්ට ඒ නීති ක්‍රියාත්මක වෙන්නේද අඩුවෙනි.

ඒ සියල්ලටමත් වඩා රටේ දැන් පවතින පාර්ලිමේන්තුවද සැබෑ මහජන මතය නොපෙන්වයි. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් සිටින්නේ කණ්ඩායම් වශයෙන් වෙන් වෙලාය. ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කවුද, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කවුද යන්න තෝරා බේරා ගැනීමත් අපහසු තරමට තත්ත්වය සංකීර්ණ වී තිබේ. ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ පවතින මේ අවිනිශ්චිත බව දුරු කිරීමට හොඳම විසඳුමයි. එය කල් දැමීමෙන් සිදුවන්නේ පවතින තත්ත්වය තවදුරටත් සංකීර්ණ අර්බුදකාරී තත්ත්වයකට පත්වීම පමණි. එවැනි තත්ත්වයක් යටතේ පවතින ආර්ථික ගැටලු විසඳා ගැනීම තවදුරටත් අසීරු වීමයි.

ජනාධිපතිවරණය කල් දැමීමට කතා කරන සියලු දෙනා එහෙම කියන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසිය සඳහා බව රටේ මිනිස්සු නොදන්නවා නොවේ. මීට කලින්ද ඔවුන්ට මේ කතාව අසා පුරුදුය. ආර්ථිකය ගොඩ දැමීමට මැතිවරණය කල් දැමීම කවදාවත් විසඳුමක් වන්නේ නැත. එයින් සිදුවෙන්නේ ජාත්‍යන්තරය තුළ රට තවත් හුදෙකලා වී ආර්ථික ගැටලු තවදුරටත් සංකීර්ණ වීම පමණි. ඒ අතරම ජනතාවගේ අසහනයද වර්ධනය වෙයි. ඡන්ද කල් දැමීමට කතා කරන හැමදෙනා එහෙම කල් දැමූ ඡන්දවලින් පස්සේ සිදුවූ දේ ගැන හරි සොයා බැලීමක් කළොත් කවදාවත් ඡන්දය කල් දැමීමට යෝජනා කරනවා තබා එවැන්නක් ගැන හිතන්නේවත් නැත.

I ශෂීන්ද්‍ර