2024 ජුනි 08 වන සෙනසුරාදා

ඉන්දියාවෙ මෝදි සහ ලංකාවෙ මෝදිලා

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

ඉන්දියාවේ මහ මැතිවරණය ඉවර වුණේ නරේන්ද්‍ර මෝදි අනපේක්ෂිත පසුබෑමකට ලක්වෙමින් ලැබූ ජයග්‍රහණයක් සමඟිනි. ජවහර්ලාලා නේරුගෙන් පසුව ඉන්දියාවේ තුන්වැනි වරටත් පිට පිටම අග්‍රාමාත්‍යවරයා වීමේ භාග්‍යය ලැබුවත් මෝදිට ඒ සතුට හදවතින්ම සැමරීම නම් අපහසු වනු ඇත. ඒ බව ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මෝදිගේ හැසිරීම්වලින්ද පෙනෙන්නට තිබුණි.

මෝදි ඡන්දයෙන් දිනුවත් තම පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණු පළමු අවස්ථාව වීම ඔහු පෞද්ගලිකව ලැබූ පරාජයක් විය. ඔහු නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) පසුගිය මහ මැතිවරණයේදී ආසන 303 ක් හිමිකර ගත්තත් මෙවර ලබාගත හැකි වුණේ ආසන 240 ක් පමණි. එය තනිවම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලබාගත යුතුව තිබූ ආසන 272 ට වඩා 32 ක අඩුවීමකි. පසුගිය මැතිවරණය සමඟ සසඳන කල එය ආසන 63 කට වඩා අඩුය.

මේ නිසා මෝදිට දැන් සිදුවෙන්නේ ඔහුගේ බී.ජේ.පී. සමඟ එකතු වී එන්.ඩී.ඒ. සන්ධානය පිහිටුවා ගත් නිතීෂ් කුමාර්ගේ ජේ.ඩී.යූ. සහ චන්ද්‍රබාබු නායිදුගේ ටී.ඩී.පී. පක්ෂ සමඟ එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. එය බී.ජේ.පී. ආණ්ඩුවක් නොව එන්.ඩී.ඒ. ආණ්ඩුවක් වනු දැකීම මෝදිගේ හද පාරවන සිද්ධියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. ලංකාවේ දේශපාලනය අනුව කියනවා නම් මෝදිගේ ආණ්ඩුවේ ‘‘රජුන් තනන්නෝ’’ දෙදෙනෙක් වෙති. ඒ චන්ද්‍රබාබු සහ නිතීෂ් කුමාර් ය.

ලංකාවේ වගේ නොව මේ රජුන් තනන දෙදෙනාම මෑතක් වනතුරුම මෝදිගේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කළ දෙදෙනෙකි. ඔවුන් මෝදි සමඟ සමීපව කටයුතු කළත් මහ මැතිවරණය සඳහා සන්ධානගත වූයේ පසුවය. නිතීෂ් කුමාර් මුලින් විපක්ෂ සන්ධානය වූ කොංග්‍රසය මූලික වූ ‘‘ඉන්ඩියා’’ සමඟ එක්ව කටයුතු කළ අතර මෝදිට කිට්ටු වුණේ පසුවය. මේ දෙදෙනාම ඉන්දීය දේශපාලනය තුළ සැලකෙන්නේ ලොකුම කේවල්කරුවන් දෙදෙනකු වශයෙනි. නිසැකවම ඔවුන් මෝදිගේ ඉතා වැදගත් අමාත්‍යාංශ ලබාගැනීමට ඉල්ලීම් කරනු ඇත. තමන්ට වාසිදායක අවස්ථාව බලා දේශපාලන තීන්දු ගන්නා දෙදෙනකු වශයෙන් ඉන්දීය දේශපාලනය තුළ ප්‍රකටව සිටින නිතීෂ් කුමාර් සහ චන්ද්‍රබාබු සමඟ දේශපාලන දීගයක යාම මෝදිට නම් ඉතා නපුරු සිහිනයක් වීමටද ඉඩ තිබේ. ඒ විදියට බැලුවොත් මෝදිගේ තුන්වැනි ධුර කාලය අතුරේ යන ගමනකි. පසුගිය වාර දෙකම තමන්ට උවමනා හැටියට පාලනය කරගත් මෝදිට එය මහත් දේශපාලන වශයෙන් වේදනාකාරී අත්දැකීමක් වීමටද ඉඩ තිබේ.

වඩාත්ම අමාරු වනු ඇත්තේ ඉදිරි මාස 14 තුළදී පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රාන්ත මැතිවරණ කිහිපයට මුහුණ දීමය. ඒවායේ ප්‍රතිඵල මෝදිගේ ඉදිරි පස් අවුරුදු ධුර කාලයේ පැවැත්මට තීරණාත්මක සාධකයක් වනු ඇත.

මෝදි මෙහෙම අමාරුවක වැටුණේ ඇයිද කියන එක ලංකාවේ දේශපාලන නායකයන්ටද ඉතාම වැදගත් වනු ඇත. ලංකාවද තව මාස හතරකට අඩු කාලයකදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී. ඉන්දියාවේ ලොකුම ඡන්දය මහ මැතිවරණය වුණාට ලංකාවේ ලොකුම ජාතික මැතිවරණය හැටියට ගණන් ගන්නේ ජනාධිපතිවරණයයි. එයින් ජය ගන්නා අපේක්ෂකයාගේ සන්ධානයට මහ මැතිවරණයේදී කිසිම ගේමක් නැත. ලංකාවේ දේශපාලන නායකයන්ද මෝදිට සුබ පැතුවත් ඔහුගේ පසුබෑමට තුඩු දුන් හේතු ගැන සමාලෝචනයක යෙදෙන බව නම් නිසැකය.

ආසන 400 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමේ අරමුණින් තම මැතිවරණ කැම්පේන් එක ආරම්භ කළ මෝදි ඒ ඉලක්කය ජය ගැනීම සඳහා බොහෝ සටන් පාඨ භාවිත කළේය. ඔහුගේ දේශපාලනයේ පදනම වන හින්දු ජාතිකත්වය සහ ආගමික සබඳතා මෝදි දැඩිව උළුප්පා පෙන්වීය. කාෂ්මීරයේ ඉන්දීය පාලනය තවත් තහවුරු කරන බවට ප්‍රතිඥා දුන් මෝදි ආයෝධ්‍යාවේ රාම් කෝවිල හැකි ඉක්මනින් ඉදිකර ජනතාවට එය වන්දනා කර ගැනීමට ඉඩ සැලසීය. එසේම මතභේදයට තුඩු දුන් පුරවැසි නීතිය හඳුන්වා දුන්නේ එරට මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස අමනාප කර ගනිමිනි. බී.ජේ.පී. පාලනය යටතේ පවතින ප්‍රාන්ත රාජ්‍ය එම නීතිය දැඩිව ක්‍රියාත්මක කළ අතර ආවාහ-විවාහ සඳහා එයින් තදින් බලපෑම් ඇතිවිය. එසේම තම කැම්පේන් එකේදී මෝදි විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා රළු අන්දමින්  සිදු කළ මතභේදාත්මක කතාද ඔහුගේ අවාසියට හේතු වූ බවද දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි. ආසන 400 ක බලයක් ඉල්ලීමද බොහොමයක් අඩු ආදායම්ලාභීන් බියට පත් කර තිබූ බවත් එවැනි බලයක් ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනයකට බි.ජේ.පීය යනු ඇතැයි ඔවුන් සැක පහළ කළ බවත් කියති.

මෝදිගේ කැම්පේන් එක තුළ තිබූ ජාතිකත්ව සහ ආගමිකත්ව තුරුම්පුව ආපසු කැරකුණු බවට හොඳම උදාහරණ ලැබුණේ උත්තර් ප්‍රදේශ් වෙතිනි. එක්සත් රාජධානියටත් වඩා භූමි ප්‍රමාණයෙන් විශාල, එයට වඩා තුන් ගුණයක ජනගහනයක් සිටින උත්තර් ප්‍රදේශ් මෝදිට කවදත් වාසිදායකව තිබුණත් මෙවර එය වෙනස් විය. ආසන 80 කට හිමිකම් කියන එම ප්‍රාන්තයේ මෝදිට මෙන්ම ගාන්ධිට ද ආසන තිබේ.

කෙසේ වුවද රාම් කෝවිල ඉදිකර ලක්ෂ ගාණක ජනතාවට එය වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නත් එම කෝවිල පිහිටි උත්තර් ප්‍රදේශ් ෆයිසබාද් ආසනයෙන් බී.ජේ.පීය පරාජය වීම මෝදි කම්පනයකට පත් කර තිබිණි. එම ආසනය කොංග්‍රසයේ සමාජවාදී පක්ෂයට හිමි විය. මේ පරාජය බී.ජේ.පීයේ ජනවාර්ගික ආගමික නැඹුරුවට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයකි. ජනතාව රාම් කෝවිල වැඳ පුදා ගත්තත් එය ඉදි කළ මෝදිට ඡන්දය දුන්නේ නැත.

එසේම මෝදිගේ ආසනය වූ වරණසි ඔහු දිනුවත් මෙවර ලැබී තිබුණේ ඡන්ද 152,000 කි. ඔහු මීට පෙර පැවති 2019 මහ මැතිවරණයේදී එම ආසනය සඳහා ඡන්ද 480,000 ක් ලබා තිබිණි. මෙය පැහැදිලිවම මෝදිගේ ප්‍රතිපත්තිවලට ජනතාවගේ කැමැත්ත ඈත් වී යාමකි. එහෙම ඡන්ද අඩුවෙන එක ගුජරාට්හි මහ ඇමැති ධුරය දැරෑ අවදියේ සිටම ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබමින් ජය ගත් මෝදිට පෞද්ගලිකව අත්වූ පරාජයකි. මෝදි ඡන්ද කැම්පේන් එක කළේ තම ප්‍රතිරෑපය පමණක් ඉස්සෙන විදියට බවට ද චෝදනාවක් එල්ල වෙයි. ඊට හාත්පසින්ම වෙනත් ආකාරයක කැම්පේන් එකක් කළ කොංග්‍රසය ප්‍රමුඛ ‘‘ඉන්ඩියා’’ සන්ධානයට නායකත්වය දුන් රහුල් ගාන්ධි නිරතුරුවම තම පක්ෂ නායකයන් සමඟ ජනතාව අතරට යමින් විශාල ජන ප්‍රසාදයක් වර්ධනය කර ගැනීමට සමත් විය. මෝදිට වැරදුණු තවත් තුරුම්පු දෙකක් වූයේ ඉන්දියාවේ උගත් තරුණ පරපුරට රුකියා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අපොහොසත් වීමත් ඉන්දියාව පුරා විසිරී සිටින කෝටි ගණනක් වන ගොවි ජනතාවගේ ඉල්ලීම්වලට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීමක් බවත් එරට දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි.

මෝදිගේ ඡන්ද ප්‍රතිඵලය ලොව විශාලතම මැතිවරණය මගින් ආසියාවේ නායකයන්ට පවා පාඩමක් උගන්වා ඇති බවද පැහැදිලිය. පටු ජාතිකත්ව අදහස්වලට පණ පොවමින් සිදු කරන දේශපාලනයට තමන්ට තවදුරටත් රුවටිය නොහැකි බවට ඉන්දියාවේ ජනතාව ප්‍රබල පණිවුඩයක් මේ ප්‍රතිඵලයෙන් පෙන්වා දී තිබේ. එසේම රට තුළම සිටින වාර්ගික සහ ආගමික වශයෙන් වෙනස් ජන කොට්ඨාසයක් පීඩනයට පත් කිරීම ඔවුන් තවදුරටත් නොඉවසන බවද එයින් පෙන්වා දී තිබේ. ආසියාව තුළ ඉන්දුනීසියාවට සහ පාකිස්තානයට පමණක් දෙවැනි වන මුස්ලිම් ප්‍රජාවක් ඉන්දියාවේ සිටින අතර ඔවුන්ට එරෙහිව මෝදි දිගින් දිගටම දැරෑ තද ස්ථාවරය මෝදිගේ ඡන්ද අඩු කිරීමට ප්‍රබල සාධකයක් විය. අයෝධ්‍යාවේ රාම් දෙවොල කඩිමුඩියේ ඉදිකිරීමට කටයුතු කළ මෝදි එය වන්දනාමානයට ලක්ෂ සංඛ්‍යාත පිරිස් පැමිණෙන විට තමන් ගොඩ යන  බවට අදහසක් ඇතිකර ගන්නට  ඇත. නමුත් රාම් දෙවොලේ ප්‍රතිභාර්යයන් නිසා තමන් ඇස් අන්ධ කර නොගත් බව එරට ජනතාව මෝදිට පෙන්වා දී තිබේ. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවොල පිහිටි ආසනයම තමන්ගෙන් ගිලිහී ගාන්ධිට සහාය දක්වන සමාජවාදී පක්ෂය අතට යාම මෝදිගේ ප්‍රතිපත්තිවලට වැදුණු තද පහරකි.

කෙසේ වුවද මෝදි ඉන්දියාවේ මීළඟ වසර පහේ අගමැති වශයෙන් දිවුරුම් දී ඉරිදා (09) වැඩ බාරගැනීමට නියමිතව සිටියේ තමන් මෙතෙක් පැමිණි ගමන් මග වෙනස් වන බවද සැලකිල්ලට ගනිමිනි. මීළඟ වසර පහ මෝදි යා යුතු වන්නේ ලංකාවේ ‘‘මෝදි’’ ලා කියන වැල් පාලමකින් බව නම් නිසැකය.

මෝදි මුහුණ දුන් තත්ත්වය ලංකාවේ දේශපාලන නායකයන්ටද සිතන්නට යමක් ඉතිරි කර දී  තිබෙන බව පැහැදිලිය. ජාතිකත්වය සහ ආගමික සංකල්ප මත පමණක් රුඳී සිටිමින් තවදුරටත් දේශපාලනය කිරීම මේ රටේ තරුණ පරපුරේ බහුතරය ද ප්‍රතික්ෂේප කරන බව පසුගිය කාලය තුළදී පැහැදිලිව පෙනුණි. එය නොතකා ක්‍රියා කිරීමෙන් අපේක්ෂිත අරමුණු ජය ගැනීම අමාරු වනු ඇත. එසේම උගත් තරුණ පරපුර හිතන විදිය වෙනස් වී ඇති බවද අවබෝධ කර ගැනීම අවශ්‍යය. ආගමික ස්ථාන මුල්කර ගනිමින් සිදු කරන දේශපාලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඵල රහිත වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෝදිට වඩා වයසින් තරුණ රහුල් ගාන්ධි ඉන්දියාවේ තරුණ පරපුරේ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව ඇති බවට එරට දේශපාලන විචාරකයන් කියන අදහස්ද මෙරට නායකයන් අවධානයට ගත යුතු වෙයි.

ඉන්දියාවේ ඡන්ද දායකයන් මිලියන ගණනින් වෙනස් වෙමින් පෙන්වා දී ඇත්තේ මෝදි තම පක්ෂය වූ බී.ජේ.පීය සමඟ ගෙන ගිය දැඩි මතධාරී අධිපතිවාදී වෛරී සහගත ජාතිකත්ව ප්‍රතිපත්තිය තමන් නොඉවසන බවය. අපේ රටේ ඇතැම් දේශපාලන නායකයන් තවමත් මේ පාඩම ඉගෙන ගෙන නැත. මෝදි අමාරුවෙන් ලැබූ ජයග්‍රහණයට සුබ පතන විට ජාතිවාදී ආගම්වාදී පටු ආකල්ප වෙනස් කළ එරට ඡන්ද දායකයන්ටද සුබ පැතුම් එකතු කිරීමේ වැරුද්දක් නැත. 
අපේ රටේ ද මෙවැනි දේශපාලන පක්ෂ උඩු යටිකුරු වූ අවස්ථා දෙකක් තිබේ. ඉන් එකක් වූයේ 2015 ජනාධිපතිවරණයයි. ඒ ඡන්දෙට කලින් හිටපු ජනපති මහින්ද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තමන්ට දිගටම බලයේ සිටීමට හැකිවන පරිදි නීති වෙනස් කර ගත්තේය. එම සංශෝධනය මගින් ආණ්ඩුවට පැවරෑ බලතල අසීමිත බව රටේ ජනතාව තේරුම් ගත්තේය. 2015 දී මහින්දට තම ධුරය අහිමි වූයේ ඊට පෙර ඔහුට ඡන්දය දුන් පිරිසෙන් විශාල පිරිසක් ඔහුට එරෙහි වීම හේතුවෙනි. ඒ පිටුපස ජාති භේද, ආගම් භේද, ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබූ බවට කොතරම් චෝදනා කළත් මහින්දට එරෙහිව ඡන්දය භාවිත කළේ ජාත්‍යන්තර ප්‍රජාව නොව මෙරට ජනතාවමය.

මීළඟ උදාහරණය නම් ගෝඨාභය බලයට එද්දී පාවිච්චි කළ ජාතිකවාදී ආගම්වාදී සටන් පාඨයයි. එම කැම්පේන් එක බුද්ධාගම සහ සිංහල ජාතිය පමණක් ඉලක්ක කර ගනිමින් සිදුවිය. රටේ බහුතර ජනතාව එය හිස් මුදුනින් පිළිගෙන ඔහුට විශාල බලයක් ලබා දුන්හ. තමන් බලයට පත් වුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් බව ගෝඨාභය ප්‍රසිද්ධියේ කිව්වේය.

එහෙත් වැඩි කාලයක් යන්නට පෙරම සිංහල බෞද්ධ ඡන්ද එකතු කිරීමෙන් පමණක් රට දියුණු කළ නොහැකි බව ජනතාවට තේරුම් ගියේය. තමන් මුහුණු දෙන සැබෑ ගැටලුවලට සිංහල බෞද්ධ ප්‍රතිපත්ති තිබීම පමණක් ප්‍රමාණවත් නොමැති බව රටේ තරුණ පරපුර විශේෂයෙන්ම තේරුම් ගෙන තිබිණි. තමන්ගේ ගැටලුවලට පිළිතුරු නැතිවූ විට ජනතාව පාරට බැස ගෝඨාභය බලයෙන් පහ කර දැමූහ. ඒ පිටුපස කුඩුකාරයෝ, ගංජාකාරයෝ, ගණිකාවෝ සිටි බවට කොතරම් චෝදනා කළත් පාරට බැස්සේ පිටරටින් පැමිණි මිනිසුන් නොව මේ රටේම පුරවැසියන්මය. ඒ බහුතරය ගෝඨාභයට ඡන්දය දුන් අයමය.

ඉන්දියාවේ මෝදි නම් තමන්ගේ පසුබෑම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබෙන බවක් කියන්න ගියේ නැත. ලංකාවේ ඉන්න ‘‘මෝදි’’ ලා තේරුම් ගත යුත්තේ දැන් ඉන්න ජනතාව විශේෂයෙන් තරුණ පරපුර අපේක්ෂා කරන්නේ සැබෑ වෙනසක් බවයි. ජනාධිපතිවරණය තව මාස 4 කින් පැවැත්වීමට නියමිතව තිබියදීත් ජනතාව දේශපාලනිකව මෙතරම් දැඩි නිහඬ බවකින් සිටීම අපේ රටේ නායකයන් හරිහැටි කියවා තේරුම් ගත යුතුය. එහෙම නැතිවුණොත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පරාජය වන අපේක්ෂකයාට කියන්න සිදුවන්නේ තමන්ගේ පරාජය පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පැවති බවය. ලංකාවේ  ‘‘මෝදි’’ ගේ වෙනස ඒකකය. 

- ශශින්ද්‍ර