2024 ජුනි 07 වන සිකුරාදා

මේ වගේ ගොන් පාට් වැඩවලට අපි යන්නෙ නෑ

 2024 ජුනි 07 වන සිකුරාදා, ප.ව. 06:00 57

තිස්ස අත්තනායක - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

  • ඔය තරම් ජන ප්‍රසාදයක් තියෙනව නම් ඇයි ඡන්ද කල් දාන්නේ
  • අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැන අදහස් පළ කරන්න අනුර කුමාරට අයිතියක් නෑ
  • රනිල්  - සජිත් එකමුතුවක් නැතත් පාක්ෂිකයන්ගේ එකතුවක් තිබෙනවා

Q රටම බලන් හිටියේ අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස අතර සංවාදය. ඒත් අනුර ආවට සජිත් මගහැරියා. ඇයි ඔහු මගහැරියේ?

ඇත්තටම ඒ රූපවාහිනිය කළේ රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් ක්‍රියාත්මක කළ එක. අපි ඒ රූපවාහිනියේ සංවාදය කරනවා කිව්වේ නෑ. ඒ වෙනුවෙන් මැදිහත්කාරකම කරන්න කිව්වේ නීතිඥ සංගමයට. අපි ඒ අයටයි රූපවාහිනියක් තෝරගන්න අවසරය දුන්නේ. ඒත් මේ රජයේ රූපවාහිනිය කිසිම මැදිහත්වීමකට අයිතියක් නැතිව මැදිහත් වුණා. අනුර කුමාර මහත්තයට ඒ රූපවාහිනියත් ඒ නිවේදකයත් හොඳ වුණු එක ගැන පුදුමයි. මේක රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර එකමුතුව පෙන්නන අවස්ථාවක්.

Q කොහොම කිව්වත් පාක්ෂිකයා ඕක පිළිගන්නේ නෑනේ. පාක්ෂිකයා හිතන්නේ අපේ නායකයා මගහැරියා කියලා. පාක්ෂිකයට දැන් මොකද කියන්නේ?

ඇත්තටම ඔය විවාදය වගේම, දිනය දුන්නෙත් අපි. ඒත් අපි කිව්වා ස්වාධීනව වැඩේ කරන්න ඕනෑ නිසා නීතිඥ සංගමයට මේකට මැදිහත් වෙන්න කියලා. ඒ ප්‍රමිතිය රුකගන්න. ඒ සියල්ල ඒ අයට දුන්නේ. මේ කිසිම දෙයක් නැතුව චැනල් එකක් මැදිහත් වෙලා විවාදය තියනවා. හරි.. දැන් ඒ නාලිකාවට කියන්නකෝ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයකට කැඳවන්න කියලා.

Q නැවතත් නායකතුමා සංවාදයකට යන එකක් නැද්ද?

නෑ.. මේ වගේ ගොන් පාට් වැඩවලට ආයේ යන්නේ නෑ. මොකද මේවා මේ විහිළු. උසස් මට්ටමේ සංවාදයකට අපි ලෑස්තියි. ඒත් මේ වගේ වැඩවලට ලෑස්ති නෑ.

Q ඔබ උත්සාහ කළා පහුගිය කාලයේ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහත්තයා එක්කර ගන්න. මොකද ඒකට වුණේ?

සභාපතිතුමා සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳගන්න තමයි මම ස්වාධීනව ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණේ. නායකතුමත් කිව්වා ඒ මැදිහත් වීම සිදු කරන්න කියලා. එතුමට උවමනාවක් තිබුණා පක්ෂයේ හැමෝම එකතු කරගෙන දෙයක් කරන්න. ඒ සඳහා තමා උත්සාහ කළේ.

Q ඒත් සභාපතිතුමා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඔබෙන් ඉල්ලුවා නේද?

මම හිතන්නේ නෑ කතා කරපු දේවල් මාධ්‍ය ඉදිරියේ කීම සාදාචාර සම්පන්නයි කියලා. යම් යම් කාරණා කතා කළා. ඒවා හෙළි කරන්න කැමති නෑ.

Q එදා සංවාදයට ආපු අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා එක්තරා සංවාදයකදී කිව්වා කියලා ඔබලගේ "බ්ලූ ප්‍රින්ට්" ආර්ථික සැලැස්ම පක්ෂයේ ආර්ථික සැලැස්ම නෙමේ, එක්තරා කණ්ඩායමකගේ ආර්ථික සැලැස්ම කියලා. මොකක්ද මේ කතාව?

ඒක අනුර කුමාරගේ මතයනේ. අපේ පක්ෂයේ දේවල් තීන්දු කරන්නේ නායකතුමා ඇතුළු කණ්ඩායම. ඒ ගැන අදහස් පළ කරන්න අනුර කුමාරට අයිතියක් නෑ. බ්ලූ ප්‍රින්ට් වැඩපිළිවෙළ පක්ෂයේ ආර්ථික සැලැස්ම. ඒ වගේම නායකතුමාගේ ආර්ථික සැලැස්ම. ඒක වෙනසක් නෑ.

Q පාලිත රංගේ බණ්ඩාර මහත්තයා යෝජනාවක් ගෙනාවා ව්‍යවස්ථානුකූලව නැවත ජනාධිපතිවරයා බලයේ තියාගන්න අදහසක්. මේක වෙයිද?

පාලිත රංගේ බණ්ඩාරගේ හඬ රනිල් වික්‍රමසිංහගේ හඬයි. ඔය තරම් ජන ප්‍රසාදයක් තියෙනවා නම් මොකටද ඡන්ද කල් දාන්නේ. රට හැදුවා නම්, සතුටෙන් මිනිස්සු ඉන්නවා නම් අවුරුදු දෙකකට කල් දාන්න ඕනෑ නෑ, කෙලින්ම පහකටම ගන්නකෝ. මේ මුට්ටිය දාලා බලන්නේ. අනික අපේ ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ, ජනාධිපතිගේ කාලය දීර්ඝ කරන ක්‍රමවේදයක්. පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුළුවන් ජනමත විචාරණයක් ඔස්සේ. මේකෙන් පේනවනේ රංගේ බණ්ඩාරගේ ඔලුවේ මොනවද තියෙන්නේ කියලා.

Q කට්ටිය කියන්නේ මෙහෙම බෙදිලා ගහගත්තට අන්තිමේ අලියයි දුරකථනයයි එකතු වෙයි කියලා?

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර එකමුතුවක් නෑ කවදාවත්. ඒත් පාක්ෂිකයන්ගේ එකතුවක් තියෙනවා. අනික මේ සතියේ බිම් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කරනවා පාක්ෂිකයන් විසි ලක්ෂයක් බඳවා ගන්න වැඩපිළිවෙළ. ඒ හරහා හැම පක්ෂයේම අය එකතු වෙනවා ජන පවුර එක්ක.

Q සමාජයේ ලොකූ භීතිකාවක් මැවිලා තියෙනවා විදුලිබල පනත ගැන. ඔබලගේ ආණ්ඩුවකදී මේ පනත ඉවත් කරනවද? සංශෝධනය කරනවද?

ඒ පනතේ අඩංගු වෙලා තියෙන වගන්ති සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා. මේවා අපි පාර්ලිමේන්තුවේ යෝජනා හැටියට ඉදිරිපත් කළා. මේ පනත හරහා බලශක්තිය සම්බන්ධයෙන් රජයට තියෙන අයිතිය ගැන බරපතළ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ නිසා මේ පනතේ අඩුපාඩුකම් අනාගත අපේ ආණ්ඩුවකදී සංශෝධනය වෙයි.

Q දැන් අපේක්ෂකයෝ ගොඩයි. ඇයි සජිත් ප්‍රේමදාසව මිනිස්සු මේ රටේ නායකයා කරගත යුත්තේ? මොකක්ද හේතුව?

ඔහු අවංකව රට ගොඩගන්න උත්සාහ කරන නායකයෙක්. ඔහුට හොරකම වංචාව දූෂණය නෑ. වැටිලා තියෙන රට ගොඩගන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෙක් සහ කණ්ඩායමක් ඉන්නේ අපි ළඟ. වෙන කොහෙවත් නෑ.

I ගයාන් ගාල්ලගේ

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00