විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනයට දැන් සති ගණනාවක් ගතව තිබේ. එහෙත් විසඳුමක් නැත. විශ්වවිද්‍යාල එදිනෙදා වැඩ කටයුතු මේ නිසා අවුල් වී ගොසිනි. උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතැයි උප කුලපතිවරු කියති. සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු වුවද විභාග පැවැත්වීම ඉතා අසීරු වී තිබේ. මේ හේතූන් නිසා උසස් පෙළ සමත්ව ඊළඟට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටින සිසුන්ගේ පළමු අධ්‍යයන වර්ෂය ආරම්භය ද කල් යාම වැළැක්විය නොහැක. වැඩවර්ජනයට විසඳුමක් නොමැතිවීම හේතුවෙන් අමාරුවේ වැටී ඇත්තේ සිසුන්ය.
දුම්රිය එන්ජින් රියැදුරන්ගේ එක් වෘත්තීය සමිතියක් සිදු කළ වැඩවර්ජනය හේතුවෙන් දින ගණනාවක් තිස්සේ මගී දුම්රිය ගණනාවක් අක්‍රීය විය. මේ වර්ජනයේ බලපෑම වඩාත්ම එල්ල වූයේ කාර්යාල දුම්රියවලට බවත් මේ හේතුවෙන් කාර්යාල සේවකයන් දහස් ගණනක් අමාරුවේ වැටුණු බවත් වාර්තා විය. දුම්රිය බලධාරීන් සහ වැඩවර්ජකයන් අතර පැවති සාකච්ඡාවක් හේතුවෙන් එම වැඩවර්ජනය තාවකාලිකව නතර වී තිබේ. එහෙත් දුම්රියේ බොහොමයක් වෘත්තීය සමිති කොයි වෙලාවක පත්තු වේදැයි කිව නොහැකි මට්ටමක පවතින බවද නොරහසකි. උදේ ධාවනය කරන දුම්රිය දහවල් වැඩවර්ජනය කරන විට සවස වැඩ අවසන් කර නිවෙස් කරා යාමට දුම්රිය පොළවලට පැමිණෙන මගීන් වැටෙන්නේ අලි අමාරුවකය. එසේ අමාරුවේ වැටෙන මගීන් ගැන සොයා බැලීමට කිසිවකුත් නැත.
අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් ද පසුගියදා වැඩවර්ජනයක් කළ බව වාර්තා විය. එය අවසන් වුවත් යළිත් ඊටත් වඩා බලවත් අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයකට සූදානම් වන බවද කියති. එහිදී පාසල්වල වැඩ කටයුතු පවා අඩාල වීමට ඉඩ තිබෙන බවද ප්‍රකාශ වී තිබේ. මේ වැඩවර්ජනය හෙට අනිද්දාට සිදුකෙරෙන බව වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එවැනි වැඩවර්ජනයක් සිදුවුවහොත් එයින් අමාරුවේ වැටෙන්නේ පාසල් සිසුන්ය. ඔවුන්ගේ මාපියන්ය.
තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ද වැඩි සද්ද බද්ද නැතුවම පැවැත්වෙයි. ඒ රජයේ විධායක නිලධාරීන්ගේ අකුරට වැඩ වෘත්තීය සටනකි. මේ හේතුවෙන් රාජ්‍ය පරිපාලනයට අදාළ ඇතැම් වැඩ කටයුතුවලට බාධා පැමිණෙන බවද වාර්තා වී තිබිණි. එයින් දැඩිව පීඩාවට පත්වන්නේ රටේ මහජනතාවයි. තැපෑල ද මේ වන විට රතු එළි දල්වමින් සිටී.
සෞඛ්‍ය අංශයේ ඇතැම් අංශ ද තමන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බව වරින් වර ප්‍රකාශ කරයි. යම්කිසි අවස්ථාවකදී ඔවුන් ද අවි අමෝරාගෙන සටනට අවතීර්ණ වනු ඇත. එසේ වුවහොත් දැඩි ලෙස අසරණ වන්නේ රෝගී ජනතාවය.
අපේ රටේ පවතින සැබෑ තත්ත්වයේ හරස්කඩක් ඒ සිදුවීම්වලින් පැහැදිලි වෙයි. මෙම වැඩවර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් බැට කන්නේ විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, රජයේ සේවකයන් සහ රෝගීන්ය. වෘත්තීය සමිති වැඩවර්ජන සටන් අවි අමෝරන විට, එයින් පහර වදින්නේ රජය ඇතුළු බලධාරීන්ට නොවේ. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීමෙන් එකී වෘත්තීය සමිති පලිගන්නේ මේ රටේ සාමාන්‍ය පොදු මහජනතාවගෙනි. දුම්රිය මගීන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ රෝගීන් ඇතුළු රටේ සාමාන්‍ය පොදු මහජනතාවට බව නොරහසකි. මේ බව දැන දැනම රජය සහ බලධාරීහු නිහඬව පසුවෙති.
සාමාන්‍යයෙන් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ ආසන්න වනවිට මෙවැනි තත්ත්වයක් ඇතිවීම අතීතයේ සිට සුප්‍රකට අත්දැකීමකි. එහෙත් වෙනස් වන ලෝකයක තවමත් පැරණි සම්ප්‍රදායයන් මතම ක්‍රියාත්මක වනවාට වඩා නවීකරණය වූ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය සමිති වුවද හැඩගැසිය යුතු යැයි අපි සිතමු. රජයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් රටට සිදුවිය හැකි හානි පෙන්වා දීමද වෘත්තීය සමිති මගින් සිදුවිය යුතුය. එසේ සිදු කරමින් තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ වරදක් නැත. නමුත් රටේ පොදු මහජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදු කරන වෘත්තීය සමිති සටන්වලින් රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නැත.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා විට රටේ මහජනතාවට අවම බලපෑමක් සිදුවන අන්දමට ක්‍රියාත්මක වීමට එහි නිලධාරීන් වග බලාගත යුතුය. වැරදි සිදුවන්නේ බලධාරීන් අතින් පමණක් නොවන බවත් ඇතැම් වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද රටේ සෙසු මහජනතාවට වඩා ඉහළ වරප්‍රසාද සහ අයිතිවාසිකම් භුක්ති විඳින බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.