සහකාර ලේකම් - මානව හිමිකම් සමගි ජන බලවේගය - පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන
ඔබ දන්නවා මේ වෙද්දි ජනාධිපති සටන ආරම්භ වෙලා තියෙන්නේ නොනිල වශයෙන්. ඔබ හිතන්නේ ඊළඟ ජනාධිපතිවරයට තියෙන අභියෝග මොන වගේද?
පැහැදිලිවම මේ රට ආර්ථික වශයෙන් ගොඩගන්නේ කොහොමද කියලා තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ. විශේෂයෙන් පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගිය සැලසුම් සහ විකල්ප ලබා දිය යුතුයි. ඒ හරහා තමයි ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ. ඒ විශ්වාසය ගොඩනගන්න නම් පොරොන්දු දේශපාලනයෙන් එහා ගිය වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ. ඒ වගේම විශේෂයෙන් ආර්ථිකය සහ රට වෙනස් කරන විශාල ප්‍රතිසංස්කරණ අපිට කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවත් දැනුවත් කරන්න ඕනෑ. අන්න ඒ හරහා තමයි ඊළඟ නායකයා බිහිවෙන්නේ.
දැන් ඔබ කියන කතාව හැම දෙනාම පිළිගන්න දෙයක්. ඒත් ආණ්ඩුව පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නැත්නම් මේ රට ගොඩගන්න බෑ. තව කෙනෙක් අතට ගියොත් රට කඩා වැටෙන්න පුළුවන් කියලා. ඒකෙ එහෙම අවදානමක් තියෙනවද?
“බ්ලූ ප්‍රින්ට්" කියන ආර්ථික සැලැස්ම මගින් අපි අපේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව සිදු කරන්න පුළුවන් වැඩපිළිවෙළ අපි පෙන්නලා දීලා තියෙනවා. ඒක සාර්ථක වැඩපිළිවෙළක්. ඊටත් වඩා ඒක ක්‍රියාත්මක කරන්න හොඳ පිරිසක් අපි සතුව ඉන්නවා. උදාහරණයක් ගත්තම එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් වගේ අය මේ රටේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ. ඔවුන්ට මේ රට ඔසවා තබන්න දැනුම අවබෝධය සහ අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බ්ලූ ප්‍රින්ට් එකත් අපේ දක්ෂ කණ්ඩායමත් නිසා එවැනි අවදානමක් නෑ කියලා.
ඔබ කියනවා බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා කණ්ඩායමට. ආණ්ඩුව කියන්නේ එහෙම බල බල ඉන්න බෑ, මේ පාර තමයි අන්තිම අවස්ථාව, ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ කියලා?
ආණ්ඩුව රට වැටිලා තිබුණු තත්ත්වයට වඩා යම්කිසි එසවීමක් සිදු කරලා තියෙනවා. ඒත් රට වැට්ටුවේ කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට සහාය දෙන රාජපක්ෂලා කියලා. මිනිස්සුන්ට අවශ්‍ය මේ රට වැට්ටුව අයට නීතිය ක්‍රියාත්මක කිරීමත්, නැවත රට වැටෙන්නෙ නැතිවෙන්න නීති සැකසීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත්. ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් රටේ දේශපාලන වෙනස්කමක් අවශ්‍යයි කියලා ජනතාවගේ මතයක් තියෙනවා. ඒ නිසා අපි ජනතාවගේ මතයට ඇහුම්කන් දිය යුතුයි. අපි ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනෑ.
ඔය ලොකු ලොකු ආර්ථික සැලැස්මවල් ගැන කතා කළාට ගමේ මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් ගත්ත සැණින් ජනතාවට හිතට ගතට දැනෙන ඉක්මන් සහනයක්. ඒ සහනය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් තියෙනවද?
මම හිතන්නේ නෑ මේ වෙලාවේ අද දිනලා හෙට සහන දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා බලය ගන්න කණ්ඩායමකට. එහෙම තැනක නෙමේ රට තියෙන්නේ. මේක බංකොලොත් රටක්. ඒ බංකොලොත් රට කළමනාකරණය කරගන්න එක තමයි වැදගත්. අපි ගාව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ බලය ගත්ත ගමන් එක රුයෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි ජනතාවට බර දැනෙන දේවල් අඩු කරන්න අපි පියවර ගන්නවා. අපි අයි.එම්.එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට දැනෙන සහනයක් දෙන්න කටයුතු කරනවා. එහෙම නැතුව කරන්න බැරි පොරොන්දු දෙන්නේ නෑ.
දැන් ඔය අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරලා ඒ යෝජනා වෙනස් කරන්න පුළුවන් වෙයිද? ඔය කියන කිසි දෙයක් මේ රටේ බලය ලබාගත්තම වෙන්නේ නෑ කියලා ජනතාව දන්නවා?
ජනතාවට සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට ඒ අය සමඟ සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන්. ජනතාව ඇත්තටම මේවට වගකියන්න ඕනෑ නෑ. ජනතාව විශ්වාස කරලා ගෙනාපු 69 ලක්ෂයේ ජනවරම රාජපක්ෂවරු වැරදියට යොදා ගත්තා. ඒ අය රට බංකොලොත් කළා. ඒ නිසා ජනතාවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා සාකච්ඡා කරලා විසඳගන්න බැරිකමක් නෑ කියලා මම විශ්වාස කරනවා.
පහුගිය අරගලයේදී ආපු එක් අදහසක් තමා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ කියලා. හැබැයි මුල් අදියරේදී ඒවා වෙනස් වුණත් දැන් දැන් ආයේ ඒවා අමතක වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශපාලනඥයන්ට ජනතාවගේ අදහස වැදගත් නැද්ද?
ඕකට හරි පණිවිඩය දෙන්න පුළුවන් පැහැදිලිවම එළඹෙන ඡන්දයෙදී. ගොඩක් අයට අමතක වෙලා තියෙනවා පහුගිය අරගලය. ඒ නිසා ඒ අයට මතක් කරලා දෙන්න පුළුවන් එළඹෙන ඡන්දයත් එක්ක. ඒ වෙලාවට පුළුවන් දේශපාලනඥයන්ට උත්තර සපයන්න. ඒක ලොකු බලයක්. අන්න ඒක ජනතාව මතක තබාගත යුතුයි.
එළඹෙන මැතිවරණයත් එක්ක මන්ත්‍රීවරුන්ට හොඳ හොඳ ලංසු ලැබෙනවා. අපි දැක්කා ඔබේ නමත් පහුගිය ටිකේ තිබුණා පක්ෂ මාරු කරනවා, ආණ්ඩුවට යනවා කියලා. ඒක ඇත්තද?
සමාජ මාධ්‍ය විසින් බොහෝ වෙලාවට අසත්‍ය කරුණු සමාජගත කරනවා. හැබැයි මේ පක්ෂ මාරු කිරීම් අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ. මේ රටේ පක්ෂ බිහිවුණු දවසේ ඉඳලා සිද්ධ වෙනවා යම් යම් දේශපාලන ප්‍රතිපත්ති සමඟ. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් සමාජ මාධ්‍ය මගින් පෙන්නන දේ වෙනයි. ඒ අය සැලසුම් සහගතව රටේ ඇත්ත ප්රශ්නය මගහරිමින් යනවා.
I ගයාන් ගාල්ලගේ