2024 ජුනි 22 වන සෙනසුරාදා

අපි උසාවියෙන් ශ්‍රීලනිපයෙ ප්‍රශ්න විසඳා ගන්නව

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

  • දුමින්ද දිසානායක දන්න නීතිය මොකක්ද?
  • අපිට මේ පක්ෂය නිවැරදි පීල්ලට ගන්න පුළුවන්
  • රටේ සම්පත් විකුණල ආර්ථිකය දියුණු කළා කියන්න පුළුවන්ද?

වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් සභාපති කෙනෙක්, අලුත් මහලේකම් කෙනෙක් පත්වෙලා තියෙනවා. අලුත් කට්ටිය එක්ක වැඩ කරන්න ලෑස්තිද?

සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී පත්වීමක්. පක්ෂයේ වැඩ බලන සභාපති පත් කරන්නේ දේශපාලන මණ්ඩලයෙන්. ඒත් දේශපාලන මණ්ඩලය කැඳවන්න පුළුවන් පක්ෂ ව්‍යවස්ථාව අනුව සභාපතිවරයට. සභාපතිවරයෙක් නැති දේශපාලන මණ්ඩලයක් වලංගු දේශපාලන මණ්ඩලයක් නෙමේ. එහි ලේකම්වරයත් නෑ. ඒ වගේම පක්ෂයේ ඉන්නවා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු නව දෙනෙක්. එහෙම නැතුව නිමල් සිරිපාල ද සිල්වා මහත්තයට විතරක් බෑ දේශපාලන මණ්ඩලයක් කැඳවන්න තනියම. හොර දේශපාලන මණ්ඩලයකින් පත්වුණු හොර වැඩ බලන සභාපති කෙනෙක් තමයි නිමල් සිරිපාල ද සිල්වා කියන්නේ. ඒ වගේම වැඩ බලන ලේකම්වරයත් එහෙමයි. ඊට පස්සේ ඒ අය මධ්‍යම කාරක සභාව කැඳවන්න යනවා. ඒත් ඒක කරන්න බෑ අවශ්‍ය සංඛ්‍යාව නැති නිසා. ඒ වගේම වැඩ බලන සභාපතිට බෑ සංවිධායකවරු පත් කරන්න. ඒ අය එකතු කරලා සභාපති වෙන්නේ, වැඩ බලන සභාපති වෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදියි. මේකට අපි උසාවියට ගිහින් තියෙනවා. අපි උසාවියෙන් මේ ප්‍රශ්නය විසදා ගන්නවා.

ඔවුන් කියන්නේ ඔවුන්ට වාරණයක් නෑ කියලා?

ඔව් වාරණයක් නෑ. වාරණයක් නැති එකයි නඩුවක් යන එකයි දෙකක්නේ. ඔය නීතිය දන්න මිනිස්සු නෙමෙයිනේ කතා කරන්නේ. දුමින්ද දිසානායක දන්න නීතිය මොකක්ද? එයා දන්නේ වෙන වෙන ඒවා. නීතිය දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනෑ. වාරණයක් නැති වුණාම ඒ නඩුවේ වැරදිකරු තීරණය වෙන්නේ නෑ. ඒ අය වාරණය ගත්ත හැටි අපි දන්නවා උසාවි වලින්. ආණ්ඩුවේ බලය අරගෙන මේ පක්ෂය විනාශ කළා. හැබැයි අපිට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා.

දැන් පක්ෂයේ සභාපති කෙනෙක් නැත්නම් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ කවුද? කොහොමද?

මේක උසාවියේ තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා උසාවියෙන් තීරණය කරයි.

ඔබ නැවතත් පක්ෂය ලබාගන්න සටනක ඉන්නවා. මේ සටන කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්කද?

නෑ මම පක්ෂයෙන් ඈත්වෙලා හිටියේ නෑ. මම හැමවෙලේම පක්ෂය එක්ක හිටියේ. මෛත්‍රීපාල මහත්තයා මගේ ලේකම් ධූරය අරගෙන මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. මට එහෙම කළාට මගේ සංවිධායකවරු පක්ෂයේ සාමාජිකයෝ එක්ක කටයුතු කළා. ඒ නිසා මේ පක්ෂය නිවැරදි පීල්ලට ගන්න කටයුතු කරනවා අපි. ඒ වෙනුවෙන් මම යන්න පුළුවන් උපරිම අධිකරණය වෙත යනවා. අධිකරණ සහනයක් ලැබෙන කල් මම මේක අත්හරින්නේ නෑ.

මෛත්‍රීපාල මහත්තයා කතා කරලා උදව් ඉල්ලුවද?

අනේ නෑ. එතුමා කතා කළේ නෑ.

මෙහෙම ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට මොකද වෙන්නේ?

පාක්ෂිකයන්ට අත්වෙලා තියෙන ඉරණම ඉතාම භයානකයි. අනික කියන්න ඕනෑ ඔය හොර සභාපති ලේකම් තනතුරු මැතිවරණ කොමිසම පිළිගන්නේ නෑ. උසාවියෙන් ලබාදෙන නීත්‍යානුකූල තීන්දුව තමයි මැතිවරණ කොමිසම පිළිගන්නේ. මැතිවරණ කොමිසම පිළිගන්න පක්ෂයක් තමයි නීත්‍යානුකූල වෙන්නේ. මම සභාපති, මම ලේකම් කියන්න පුළුවන්. ඒත් මැතිවරණ කොමිසම පිළිගන්නේ නෑ. ඒ අය කියන්නේ උසාවියෙන් විසඳගෙන එන්න කියලා. මේ පක්ෂය විනාශ කරලා තියෙන්නේ. බලන්න දුමින්ද දිසානායක කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතියේ පිනට පහළ වූ නායකයලු. එයාලා එජාපයෙ ද ඉන්නේ? ශ්‍රී ලංකා එකේද? මේ කරන්න හදන්නේ ජනාධිපතිගේ කරේ එල්ලෙන්න යන එක. මේ ප්‍රශ්නය විසඳන්නේ උසාවිය. ඒ තීන්දුව තමයි මැතිවරණ කොමිසම පිළිගන්නේ. කොමිසම පිළිගත්තමයි ඒකේ නීත්‍යානුකූලභාවය ඇතිවෙන්නේ.

කවුද මේ විනාශයට වගකියන්න ඕනෑ?

නිමල් සිරිපාල ද සිල්වා මහත්තයයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ගත්ත තීන්දු තීරණ නිසයි මේක විනාශ වුණේ

ඒත් හම්බන්තොට රුස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා විසිරුණු අය ගොඩක් ඇවිල්ලා හිටියා. ඒක යම් ප්‍රගතියක් නේද? කාටවත් කරන්න බැරිවුණු වැඩක්නේ?

කොහෙද? ඒ එකතු වුණු සියලු දෙනාම වෙන පක්ෂවල ඉඳන් ආණ්ඩුවට ගිය අය. සමහර අය විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට අත් උස්සපු අය. ඒ වගේම තව අය ඉන්නවා ආණ්ඩුවේම ඉන්න අය. මොකක්ද ඒ අය එකතු වුණා කියලා වෙන්නේ. කිසිම දෙයක් නෑ. ඔවුන් මේ පොහොට්ටුවේ අය.

දැන් ඒ අය කිව්වොත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරනවා කියලා, පාක්ෂිකයා හිතනවා නේද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කියලා?

ඒක දැනටමත් කියලා ඉවරයි. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි ඔය හොර සභාපතිත්වය දරන අයගෙන් සංවිධායකකම් ගත්ත අය ඒකට කැමති වෙයි. හැබැයි නියම ශ්‍රී ලංකාකාරයෝ එහෙම වෙන්නේ නෑ. ඔය හොර නඩයට එකතු වෙන්නේ නෑ. ඔය වගේම ප්‍රශ්නයක් වුණා 1981 දිත්. එදත් පක්ෂය ඔහොම අල්ලගෙන ඉබි යතුරු දාගෙන හිටියා. අන්තිමේ උසාවිය තමයි තීන්දුව දුන්නේ පක්ෂයේ අයිතිය ගැන.

උසාවිය හැරෙන්න වෙන විසඳුමක් නැද්ද පක්ෂයේ එකට වැඩ කරපු අය නිසා?

නෑ. වෙන විකල්පයක් නෑ. උසාවියෙන් විතරයි. මොකද ඒ අය හදන්නේ යූ.එන්.පී එකට පක්ෂය අරගෙන යන්න. අපි හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න. අපිට ආණ්ඩුවෙන් කරගන්න දෙයක් නෑ. හැබැ‍යි ඔවුන්ට තියෙනවා දේවල් කර ගන්න.

ඔබේ මානූෂීය ජනතා සන්ධානයේ වැඩ කටයුතු කොහොමද?

අපේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම රුස්වීම් රුසකුත් ඉදිරියේදී පවත්වනවා. බලමු.

ආණ්ඩුව කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැර වෙන කවුරු හරි ගත්තොත් රට ඉවරයි කියලා?

මේ ආණ්ඩුවේ ගමන පැහැදිලිනේ. මේ අය රටේ සම්පත් විකුණනවා. එන්න එන්න මේ රට විදේශ රටවල නිජ භූමියක් වෙනවා. මේ රට  ඉතුරු වෙන්නේ නෑ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙලා කියන්නේ මිනිස්සු භාවිත කරන ප්‍රමාණය අඩකින් අඩුවෙලා. ඒ නිසා ආණ්ඩුවේ වියදම අඩුයි. මේක නෙමේ ආර්ථික දියුණුව කියන්නේ.

• ගයාන් ගාල්ලගේ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00