2024 ජුනි 22 වන සෙනසුරාදා

ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

  • පොහොට්ටුවෙ සාමාජිකයො අපිත් එක්ක එකතු වුණා
  • අලුත් සාමාජිකයන් ලක්ෂ 20ක් අපි බඳවා ගන්නවා
  • අපේ අභියෝගය ජනතා ප්‍රශ්න මිස විපක්ෂ අපේක්ෂකයන් නොවේ

මේ වෙද්දි සියලු පක්ෂ ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙනවා. කොහොමද ඔබේ පක්ෂයේ වැඩ කටයුතු සහ අලුත් සැලසුම්?

ඉදිරියේදී ජනාධිපතිවරණය නියත වශයෙන්ම තිබිය යුතුයි. හැබැයි මොන මැතිවරණයට වුණත් අපි සූදානමින් ඉන්නෙ. අපේ පක්ෂය බිම් මට්ටමෙන් සූදානම් කරමින් ආවේ පහුගිය කාලයේ. මේ වෙද්දි අපි අලුත් ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. ඒ ලක්ෂ විස්සක් සාමාජිකයන් අපේ පක්ෂය වෙනුවෙන් බඳවා ගන්නවා. හැම කොට්ඨාසයකම, ග්‍රාමසේවා වසමකම ඒක සිද්ධ කරනවා.

කොහොමද ජනතාවගේ ඉල්ලුම?

ඇත්තටම පොදුජන පෙරමුණේ සාමාජිකයන් රුසක් අපිත් එක්ක එකතු වෙමින් ඉන්නේ. මම හිතනවා ඕනෑම මැතිවරණයකට අපේ පක්ෂය බිම් මට්ටමේ සිට දැන් සූදානම්.

අපි දකිනවා ඔබේ නායකයා සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට, විහිළුවට ලක් වෙනවා ඔහුගේ ප්‍රකාශ නිසා. ඇයි එහෙම වෙන්නෙ?

මෙහෙමයි. අද වෙද්දි ජනාධිපතිවරණය සඳහා ඉදිරිප‍ත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් ජනප්‍රිය අපේක්ෂකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. විශේෂයෙන් ඔහුව අභියෝගයක් වෙලා ඉන්න අනෙකුත් අපේක්ෂකයන් විසින් තමයි ඔවුන්ගේ කණ්ඩායම් යොදවලා සමාජ මාධ්‍ය තුළ මෙම ප්‍රහාර එල්ල කරන්නේ. ඒත් සැබෑ ජනතා මතය කියන එක සමාජ මාධ්‍යයෙන් නෙමෙයි, ඒක බිම් මට්ටමට ගිහින් බලන්න ඕනෑ. මේ දේශපාලනය හසුරුවන්න හදන පිරිස් විසින් කරන දේවල්වලට අපි සැලෙන්නේ නෑ. හැබැයි ඔය සැබෑ සමාජ මාධ්‍ය මතය පෙරළා අපිට ගන්න පුළුවන් නම් එතුමා වෙනුවෙන් ඉදිරිපත් කරන සාධනීය යෝජනා පිළිගන්න පුළුවන්. ඒ හැරෙන්න මේ සංවිධානාත්මක මඩ අපි පිළිගන්නේ නෑ.

ඔබලත් ජාතික ජන බලවේගයත් අතර ලොකු ගැටුමක් පේනවා. ඒ අයත් ඔබලත් වේදිකාව තුළ වාග් ප්‍රහාරයට ලක් වෙන්නේ යම් අභියෝගයක් නිසා. ඔබලට ජාතික ජන බලවේගය අභියෝගයක්ද?

අපිට තියෙන අභියෝගය තමයි මේ රටේ තියෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබාදෙන කණ්ඩායමේ අපේක්ෂකයා කවුද කියන එක. අපිට නම් එහෙම අපේක්ෂකයෙක් පේන්න නෑ. ඇත්තටම මාලිමාවට අභියෝගය වෙන්නේ අපි නෙමේ. අපි ඒ අයට වඩා ගොඩක් ඈතින් ඉන්නේ. ඒ අයට අභියෝගය වෙන්නේ දිලිත් ජයවීර මහත්තයා හදාගත්ත පක්ෂය. මේ රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ආවොත් තමයි අපිට අභියෝගය. ඒ හැරෙන්න දැනට එහෙම අපේක්ෂකයෙක් නෑ.

ඔබලා එක්ක කාලයක් හිතවත්ව හිටිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා එදා පාර්ලිමේන්තුවේදී ඔබේ නායකයා ඇතුළු කණ්ඩායමට චරිත සහතික දුන්නා හොඳට දෙහි කපලා. මොකක්ද එකපාර වුණේ?

ඔබ මාධ්‍යවේදියෙක් හැටියට බලන්න සරත් ෆොන්සේකා මහත්තයගේ ඉතිහාසය ගත්තම ඕක තමා එතුමගේ දේශපාලන භාවිතය. එතුමා හොඳ යුද නායකයෙක්. ඒ ගෞරවය දෙන්න ඕනෑ. හැබැයි එතුමා දේශපාලන නායකයෙක් හැටියට ඉතාම අසමත් නායකයෙක්. යම්කිසි කෙනෙක් පක්ෂයේ නායකයා, ප්‍රතිපත්ති, යාන්ත්‍රණයට පිටින් වැඩ කරනවා නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ එහෙම කෙනෙක්ට තැනක් නෑ. එතුමට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න.

ඒ කියන්නේ සමගි ජන බලවේගයෙන්ද?

ඔව්. එතුමා දිගින් දිගටම ඉල්ලීමක් කළා සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වය එතුමට දෙන්න කියලා. ඒත් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසරයක් නෑ. මොකද අපේ පක්ෂය දිනවන්න පුළුවන් ජනතා ආදරය තියෙන නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ප්‍රේමදාස මහත්තයට අභියෝග කර කර ඉන්න බැරි නිසා තමයි එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට යන්න බලාගෙන ආණ්ඩුවෙන් කාලය ඉල්ලගෙන සජිත් ප්‍රේමදාස මහත්තයා පරිභව කළේ. දේශපාලනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන කෙනෙක් දන්නවා එතුමා නෙමේ ඒ කතා කළේ කියලා. මට කියන්න තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයා පව් කියලා. එතුමා ගත්ත කීර්තිනාමයක් තියෙනවා නම් ඒකත් විනාශ වෙනවා දේශපාලන හැසිරීම නිසා. අනික ඔය කතාවලින් ජන මනස වෙනස් කරන්න බෑ.

ඔබ මගෙන් අහනවා සරත් ෆොන්සේකා මහත්තයා ගැන දන්නවද? එතුමගේ දේශපාලන හැසිරීම ඕක තමයි කියලා. ඉතින් ඔබලා දන්නවා නම් ඇයි ඔහුට පක්ෂයේ සභාපතිත්වය දුන්නේ?

ඇත්තටම ඔහු යුද විරුවෙක් හැටියට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ තීන්දු කළා ඔහුට පක්ෂ සභාපතිත්වය දෙන්න. මෙතැන තියෙන්නේ එතුමා පක්ෂයේ දෙවැනි තනතුරට ආපු එක. එතුමට අවශ්‍ය පක්ෂයේ පළවෙනි තැන. එතුමට වයිස් කැප්ටන් වෙන්න බෑ. හැමදාම කැප්ටන් වෙන්න ඕනෑ. අන්න ඒ නිසා තමයි සියදිවි නසාගත්තා වගේ වැඩක් එතුමා එදා කළේ. මේ රටේ ජ‍යග්‍රහණය කරන පක්ෂය එක්ක වැඩ කරන එක මගහැරලා එතුමා දේශපාලන අනාථයෙක් වෙන්න යන්නේ.

දැන් ඔබලගේ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ දෑත ශක්තිමත් කරන්න යනවනේ?

ඇත්තටම විපක්ෂයේ කෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා නම් අරමුණු දෙකක් තියෙනවා. එකක් විශාල වශයෙන් මුදල් ගන්න, දෙක තනතුරු තානාන්තර අරගෙන තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සපුරා ගන්න. ඒ හැර ජනතා අභිලාෂයන් ඉහළ දමන්නට නම් කිසිම කෙනෙක් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ. මම හිතන්නේ නෑ මේ වෙලාවේ කිසිම විපක්ෂයේ කෙනෙක් මේ වැඩේ කරනවා කියලා. එහෙම කළොත් ඩයනලට, මනුෂල වගේ අයට එකතු වෙන එක විතරයි වෙන්නේ. කවුරු හරි යනවා නම් ජනතා මනාපය ආදායම් මාර්ගයක් කරගෙන යන්නේ ඒ යන කෙනා. මම පෞද්ගලිකව හිතනවා කවුරුත් මේ වෙලාවේ ඔය වගේ තීරණයක් අරන් තමන්ගේ අතින්ම තමන්ගේ ගෙල සිඳගන්නේ නෑ කියලා. ඔය කියන කතා, ඔය කියන ලැයිස්තු ආණ්ඩුව විසින්ම නිර්මාණය කරපු ඒවා.

• ගයාන් ගාල්ලගේ