ලංකාවේ හිටපු විධායක ජනාධිපතිවරුන් අතරින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග සහ ගෝඨාභය රාජපක්ෂ හැරුණුවිට අනෙක් සියලු දෙනාම තමන්ගේ ධුර කාල අවසන් වනවිට සිටියේ සතුටකින් නොවේ. කොහොම හරි තමන්ගේ ධුර කාලය වැඩිකර ගැනීමට නොයෙකුත් දේශපාලන උප්පරවැට්ටි දැමීමටත් උසාවියෙන් තීන්දුවක් ගැනීමටත් මේ සියලු දෙනාම කටයුතු කළ බව ඉතිහාසයට එක් වී තිබේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යන්නෙත් ඒ පාරේම බවට දිගින් දිගටම පෙර නිමිති පහළ වෙමින් තිබේ.
ආර්. ප්‍රේමදාස ඝාතනය වීම නිසා ඔහුගේ ධුර කාලය වසර 04 කින් අවසන් විය. එම අභාවයෙන් හිස් වූ ධුර කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් පත් කෙරුණු එවකට හිටපු අගමැති ඩී.බී. විජේතුංග තමන්ගේ ධුර කාලය වැඩිකර ගැනීම කෙසේ වෙතත් තමන් නායකත්වය ලබාදුන් යූ.එන්.පිය එපා කියද්දී මහ මැතිවරණයක් පවත්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන පෙරමුණට පරාජය විය.
ඒ වෙලාවේ ලැබුණේ එක ආසනයක බහුතරයක් වුණත් අෂ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසය සමඟ එකතු වී ආණ්ඩුවක් හදා ගැනීමට චන්ද්‍රිකා සමත් විය. ඩී.බී. විජේතුංග ජනාධිපති වී සිටියදී චන්ද්‍රිකා අගමැති ධුරයට පත් වූවාය. ඩී.බී. ජනාධිපති ධුරයට පත් කිරීමට සියලු උදව් කළ හිටපු යූ.එන්.පී ජ්‍යෙෂ්ඨයන් සහ අමාත්‍යවරුන් වූ රනිල් වික්‍රමසිංහ සහ ප්‍රේමදාස සමඟ විරසක වී යූ.එන්.පිය හැර ගොස් ආපසු පැමිණ සිටි ගාමිණී දිසානායකත් ලබාදුන් උපදෙස් ගණන් නොගැනීම නිසා යූ.එන්.පී නායක ඩී.බී. විජේතුංගට සිදු වූයේ චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප ආණ්ඩුවට නායකත්වය දීමටය.
හැබැයි චන්ද්‍රිකා එක්ක එකතු වී තමන්ගේ ධුර කාලය දිගු කර ගැනීමට ඩී.බී. ක්‍රියා කළේ නැත. නියමිත කාලයට එනම් ප්‍රේමදාසගේ ධුර කාලය අවසන් වනවිට ඔහු ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළේය. යූ.එන්.පියේ ජනාධිපති අපේක්ෂක ධුරය ලැබුණේ ගාමිණී දිසානායකටය.
එහෙත් ජනාධිපතිවරණ කැම්පේන් එක අතරතුරදී මහජන රුලියකදී පුපුරා ගිය බෝම්බයකින් ගාමිණී දිසානායක ජීවිතක්ෂයට පත්විය. ගාමිණීගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක යූ.එන්.පියේ අපේක්ෂිකාව වූ අතර ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා ඉතා පහසු ජයක් අත්කර ගත්තේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක සහ ප්‍රතිශතයක වාර්තාවක් ද තබමිනි. ඩී.බී. විජේතුංග මොන ගේමක් හෝ ගහගෙන තමන්ගේ ධූර කාලය දික්කර ගත්තේ නම් කොයි තරම් හොඳ දැයි ඒ වෙලාවේ යූ.එන්.පී. නායකයන්ට නොසිතුණා නම් පුදුමය.
චන්ද්‍රිකාගේ පළමු ධුර කාලය අවසන් වන විට ඇය සිටියේ '94 දී තමන් ලැබූ අති විශාල ජයග්‍රහණයත් සමඟ ලැබූ ජනප්‍රිය තත්ත්වයේ නොවේ. ජනාධිපතිවරණයට ආසන්න වන විට යූ.එන්.පියේ අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කරට කර සටනක යෙදෙමිනි. බොහෝ මත සමීක්ෂණ පෙන්වා තිබුණේ රනිල් වික්‍රමසිංහට වඩාත් වාසිදායක බවකි. එහෙත් කලින් වතාවල යූ.එන්.පී නායකයන් වූ ප්‍රේමදාසටත් ගාමිණීටත් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙවර එල්ල වුණේ චන්ද්‍රිකාටය. ඇය යන්තමින් දිවි ගලවා ගත්තේ බරපතළ තුවාල ලබා ඇසක් ද අහිමි කර ගනිමිනි. නමුත් පරාජය එළිපත්තේ සිටි චන්ද්‍රිකා ඒ බෝම්බයත් සමඟ රට තුළ ඇතිවූ සානුකම්පිත ඡන්දය සමගින් ජයග්‍රහණය තුළට තල්ලු කරනු ලැබීය. චන්ද්‍රිකා දෙවැනි ධුර කාලය සඳහා ද වරම් ලබාගත්තාය.
හැබැයි චන්ද්‍රිකා දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණය කැඳවූයේ නියමිත කාලයට වඩා වසරකට කලිනි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබේ. 2000 දී තියන්න තිබූ ජනාධිපතිවරණය ඒ නිසා පැවැත්වුණේ 1999 දී ය. ^99 දෙසැම්බර් 18 වැනිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ චන්ද්‍රිකා ඊට දින 03කට පසුව 21 පැවති ජනාධිපතිවරණය ජයගෙන ඊට පසු දිනම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නාය.
එහෙම හැකි ඉක්මනින් ඇය දිවුරුම් දුන්නේ ඒ වනවිට රටේ තිබූ යුදමය වාතාවරණයත් එහිම ප්‍රතිඵලයක් හැටියට ඇයගේ ඇසකට සිදුවූ බරපතළ හානියත් හේතුවෙන් උද්ගතව තිබූ අවිනිශ්චිත බව හේතුවෙනි. ඒ වෙලාවේ තමන් මේ දෙවැනි ධුර කාලය අවසන් කරන්නේ කවදාද යන්න ගැන ඇය තුළ හෝ ඇයගේ සමීපතම දේශපාලන සගයන් තුළ හෝ අදහසක් තිබෙන්නට නැත. නමුත් ටික කාලයක් ගතවන විට ඇයගේ සමීපම උපදේශකයන් විසින් මේ කාරණය ඇයට පෙන්වා දී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ තමන් පළමු ධුර කාලය නිමවීමට නියමිතව තිබූ 2000 වසරේ අදාළ දිනවලදී ඇය යළිත් වරක් අප්‍රසිද්ධියේම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීමයි. මේ නිසා චන්ද්‍රිකා වසරක් තුළදී සිය දෙවැනි ධුර කාලය සඳහා දෙවරක් දිවුරුම් දී තිබිණි. නමුත් දෙවැනි දිවුරුම අප්‍රසිද්ධියේ ලබා දී තිබූ බැවින් එය දේශපාලන රහසක් වශයෙන් පැවතිණි. ඒ රහස එළියට දැමීමට සිදු වූයේ දෙවැනි ධුර කාලය අවසානයේ තව වසරකින් එනම් නියමිතව තිබූ පරිදි 2000 සිට ගණන් හදා 2006 දක්වා තම බලය තබා ගැනීමට චන්ද්‍රිකා උත්සාහ දැරූ බැවිනි.
චන්ද්‍රිකා එහෙම කළේ ඒ වනවිට තමන් ජනාධිපති වුවත් ආණ්ඩුව යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු වී තිබීම හේතුවෙනි. අගමැතිව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතායි. චන්ද්‍රිකා අවසානයේ උසාවියේ ද පිහිට පැතූ නමුත් ඇයගේ දෙවැනි ධුර කාලය පටන් ගත්තේ පළමුවෙන් දිව්රුම් දුන් 1999 දෙසැම්බර් 22 වැනිදා සිට බව උසාවිය තීන්දු කිරීම හේතුවෙන් ඇයට 2005 දීම ධුරය හැර යාමට සිදුවිය. ඒ වනවිට චන්ද්‍රිකා ජනාධිපතිවරණය කල් දැමීමට එරෙහිව යූ.එන්.පියත් ජවිපෙත් දිගින් දිගටම සටන් කරමින් සිටියේය. චන්ද්‍රිකාගේ පක්ෂය ඇතුළෙන් ද ඒ වනවිට ඇයට එරෙහිව ගැටුම් ඇතිවෙමින් තිබුණි. ඒ ගැටුම්වලට මුල් වී සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන සිටි මහින්ද රාජපක්ෂ සහ ඔහුට සහාය දැක්වූ මන්ත්‍රී කණ්ඩායමයි.
බලය අතහැර යාමට ආසන්න වනවිට තමන්ගේ අවට දේශපාලනය වෙනස් වෙන ආකාරය එදා චන්ද්‍රිකාට හොඳින්ම දැනෙන්න ඇත. තමන්ට සහාය දක්වන කඳවුරේ ප්‍රමුඛයකු වී සිටි මංගලත් චන්ද්‍රිකාට තව වසරක් නොලැබෙන බව දැනගත් පසුව හෙමින් සීරුවේ මහින්ද දෙසට හැරුණේය. බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි මහින්දත් මංගලත් එක්ක ඒ වනතුරු තිබූ අමනාපකම් අතහැර ඔහු තමන්ගේ සහායට කැඳවා ගත්තේය. චන්ද්‍රිකා එක්ක තරහ වී බඩුමුට්ටු පෙට්ටිවල පටවාගෙන පිටරට ගිය ඩලස්ටත් මහින්ද ඇරයුම් කර තමන්ගේ සහායට ගෙන්වා ගන්නවා දැකීම චන්ද්‍රිකාට බොහෝ දේ සිහිපත් කරන්නට ඇත. තම අවට සිටින සියලු දෙනා තමා අතහැර ඊළඟට බලයට පත්වෙන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ළඟට කිට්ටුවෙන බව ඇය සිය ඇසින්ම බලා ගත්තාය.
ඊළඟට ජනාධිපති වූ මහින්ද තමන්ට එකතු වූ සියලු දෙනාම එකතු කරගෙන බොහොම පහසුවෙන් පාලනය ගෙන ගියේය. යුද්ධය දිනා ගැනීමෙන් පස්සේ 18 වැනි ව්‍යවස්ථාව ගෙනැවිත් එතෙක් තිබූ ධුර කාල දෙකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අවසන් කෙරෙන වගන්තිය ඉවත් කර සදාකාලිකව ජනාධිපති ධුරයේ රුඳී සිටීමට කාරණා ද මහින්ද සම්පූර්ණ කර ගත්තේය. තමන්ගේ ධුර කාලය දික් කර ගැනීමට උසාවි යාමට මහින්දට අවශ්‍යතාවක් නොතිබිණි. ඒ වෙනුවට ඔහු කළේ තමන්ගේ දෙවැනි ධුර කාලය අවසන් වීමට පෙර කලින්ම ජනාධිපතිවරණය කැඳවීමට කටයුතු කිරීමයි. බලය අහිමිවීම ගැන කිසිදු සැකයක් ඔහු තුළ නොතිබිණි. ඔහුගේ සමීප දේශපාලන සගයන් තුළ ද එහෙම අදහසක් තිබුණේම නැත. ඒ සියලු දෙනා තමන්ට ලබාගත හැකි සියලු දේශපාලන වාසි ලබා ගැනීමට මහින්දගේ වටේ රොක් වී සිටියේ ඔහු කවදාවත් අතහැර නොයන ගාණටය.
හැබැයි රටේ ජනතාව ඒ වනවිට සිටියේ වෙනස් වෙමිනි. ඒ වෙනස් වීම දැනුණු මහින්දගේ වටේ සිටි සමහර දේශපාලන සගයෝ තමන්ට ද වෙනස් වීමට කාලය පැමිණ ඇති බව තේරුම් ගනිමින් සිටියහ. පක්ෂය ඇතුළෙත් ප්‍රශ්න ඇතිවීම හේතුවෙන් මෛත්‍රීපාලත් සමඟ තවත් කිහිප දෙනෙක්ම මහින්දගෙන් ඈත් වී විපක්ෂයට ළං වූහ. මෛත්‍රීපාල යු.එන්.පී ප්‍රමුඛ සන්ධානයේ පොදු අපේක්ෂකයා විය. මේ සමස්තය මෙහෙයවීම පිටුපස රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංගත් සිටියහ. අවසන් ප්‍රතිඵලය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හැමදාම බලයේ සිටීමට නීති වෙනස් කරගත් මහින්දට ද බලය අතහැරීමට සිදුවීමය. ව්‍යවස්ථා ගේම් ගහගෙන කොහොම හරි බලයේ සිටීමට උත්සාහ දරණ ඕනෑම පක්ෂ නායකයකු මේ යථාර්ථය තේරුම් ගෙන සිටීම අවශ්‍යය. මේ සත්‍යයට මෛත්‍රීපාලට ද මුහුණ දීමට සිදුවිය.
ඔහු මෙරට සිටි කිසිදු ජනාධිපතිවරයකු නොතැබූ පියවරක් තබමින් තමන්ගේ ධුර කාලය වසර 06 සිට 05 දක්වා කෙටි කරගෙන සමහර බලතලවල තටු කපා දැමුවේය. පාර්ලිමේන්තුව වසර 04ක් යනතුරු විසුරුවා හැරීම වළක්වන වගන්තිය ද ව්‍යවස්ථාවට එකතු කළේය. ඒ මොනවා කළත් ඔහු තම ධුර කාලය අවසන් වනවිට වසර 05ක ධුර කාලය අඩු කිරීම තමන්ට බල නොපාන බවට තර්ක ඉදිරිපත් කරමින් උසාවියට යන තැනටම කටයුතු කළේය. නමුත් උසාවිය තීන්දු කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දවසේ සිට එය බලාත්මක වන බවය. මේ නිසා මෛත්‍රීපාල ද බලය අත නොහැර සිටීමට තමන්ට අවශ්‍ය වුණාට නීතියෙන් ඉඩක් නැති බව තේරුම් ගන්න ඇත.
ඊළඟට බලයට පත්වූ ගෝඨාභයට තම ධුර කාලය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවින් ඔහුගේ ධුර කාලය දික් කර ගැනීමක් ගැන කතාබහක් ඇති නොවුණි. නමුත් එම ධුර කාලයේ අවසානය ලබන ඔක්තෝබර් 17 වැනිදාට යෙදී තිබුණත් එය එසේ නොවිය හැකි බවට කසුකුසු පැතිරෙමින් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම බලයේ සිටීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එසේ නොවුණොත් රටේ ආර්ථිකය යළිත් කඩා වැටෙනු ඇති බවත් ඔහුට සමීප යූ.එන්.පී ජ්‍යෙෂ්ඨයෝ කියති. යූ.එන්.පී මහ ලේකම්වරයා වරක් හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජනාධිපතිගේ කාලය වසර දෙකකින් දික් කළ යුතු බවට යෝජනා කළේය. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා දිගටම කියන්නේ මීළඟ වසර 10 තුළම වික්‍රමසිංහ මහතා බලයේ සිටිය යුතු බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් වනු ඇති බවත්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැන් නිතරම ප්‍රකාශ කරන්නේ තමන් මෙම රටේ ආර්ථිකය ගොඩ දැමූ බවත් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනු හැර වෙනත් විකල්පයක් නැති බවත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තමන්ට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය යුතු බවත්ය. එහි යටි පෙළෙන් කියැවෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට වඩා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවයි. එය සිදුවීමට නම් රනිල් දිගටම ජනාධිපති ධුරයේ සිටිය යුතු බවට මතයක් ද ගොඩනගමින් සිටී.
මෙවැනි වැඩපිළිවෙළකට අනුමැතිය සඳහා උසාවි යාමේ සූදානමක් තිබෙන බවද සඳහන් වෙයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා ද කියා තිබුණේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසරකින් කල් දැමීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමක් පවතින බවය. ජනාධිපතිවරණය කල් දැමීමට කවුරුන් හෝ උත්සාහ දරනවා නම් ඒ සියලු දෙනා මේ කෙටි ඉතිහාස කතාව කියවා තේරුම් ගැනීම අවශ්‍යය. සමහර විට මේ සියලු කතාවල අර්ථය බලයේ සිටින ජනාධිපතිගේ ඉදිරි මාස කිහිපය තුළ රටේ තත්ත්වය සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාම ද විය හැකිය. නමුත් බලය හැමදාම තනි පුද්ගලයකු සතුව පවතින්නේ නැත. මේ රටේ බොහොමයක් ජනාධිපතිවරුන් ඒ බව තේරුම් ගත්තේ බලය ගිලිහී යාමෙන් පසුවය.
• ශශින්ද්‍ර