සුබ’’ වචනය යොදාගෙන මෙරට ජනාධිපතිවරණයක තේමා පාඨය හැදූ එක් අවස්ථාවක් තිබිණි. ඒක වුණේ 2010 වසරේදී මහින්ද දෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අවස්ථාවේදීය. බොහොම ජයග්‍රාහී විලාශයකින් මහින්ද ඒ ඡන්ද සටන ආරම්භ කළේ ඔහු ඒ වනවිට යුද්ධය දිනා මේ රටේ ජනප්‍රියම දේශපාලන නායකයා වශයෙන් රටේම ප්‍රසාදය දිනා ගනිමින් සිටි නායකයා වූ බැවිනි.
කොයි තරම් ජනප්‍රිය චරිතයක් වී සිටියත් මහින්ද තමන්ගේ ඡන්ද සටන ලිහිල් කළේ නැත. ඉහළම ප්‍රතිශතයකින් ඡන්දය ජයග්‍රහණය කිරීම ඔහු නායකත්වය දුන් සෙසු පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනාගේ අරමුණු විය. ඒ සඳහා හොඳම කැම්පේන් එකක් දියත් කිරීමට සැලසුම් කෙරිණි. ඊට හේතුවක් ද තිබිණි.
මේ වෙලාව වනවිට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ යූ.එන්.පීය හිටියේ දේශපාලන වශයෙන් ශක්තිමත් තත්ත්වයක නොවේ. යුද්ධය දිනා ගැනීමට ආසන්න වන විට යූ.එන්.පීයෙන් කරු, රාජිත ඇතුළු මන්ත්‍රීන් පිරිසක් පක්ෂය කඩාගෙන ගොස් මහින්දගේ ‘‘දෑත ශක්තිමත් කිරීම’’ සඳහා මහින්දත් සමඟ එකතු වී සිටියෝය. ඔවුන්ට එරෙහිව නඩු පැවරුවත් ඒ නඩුවේ තීන්දුවෙන්ද එහි වෙනසක් වූයේ නැත. මේ නිසා 2010 දී පැවැත්වෙන ජනාධිපති ඡන්දයෙන් යූ.එන්.පීයට අයත් වන්නේ විශාල පරාජයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි.
යූ.එන්.පීයේ නායක රනිල් වික්‍රමසිංහ එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට දේශපාලන වශයෙන් කර මුලටම පහරදීම මහින්දලාගේ සැලැස්ම වී තිබිණි. යුද ජයග්‍රහණය හේතුවෙන් රනිල් ඔවුන්ට පහසු ඉලක්කයක් විය. ඔහුට එරෙහිව සටන් පාඨ දුසිම් ගාණට ගොඩ ගැසුණේය. හැමෝම බලාපොරොත්තුවෙන් සිටියේ 2009 නොවැම්බර් 10 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දින 14ක් ඇතුළත යූ.එන්.පීය විපක්ෂ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නම් ප්‍රකාශයට පත් කෙරුණු වහාම ඔහුට එරෙහි කැම්පේන් එක අකුණු සැරෙන් ක්‍රියාත්මක කිරීමටය.
හැබැයි විපක්ෂයෙන් ආවේ රනිල් නොවේ. සරත් ෆොන්සේකා ය. ඒ වනවිට මහින්ද යුද ජයග්‍රහණයේ දේශපාලන නායකයා වශයෙන් රට තුළ ප්‍රසාදය දිනා ගනිද්දී සරත් ෆොන්සේකා ද රට ඇතුළේ යුද්ධය දිනූ හමුදා නායකයා වශයෙන් ඉහළම ප්‍රසාදය දිනා සිටි රණවිරුවා විය. යුද්ධය නිමවීමෙන් පසුව මහින්ද ඇතුළු රජයේ නායකයන් සමඟ සිත් අමනාපකම් ඇති කරගත් සරත් ෆොන්සේකාට වටින් ගොඩින් දේශපාලනයට එකතු වෙන්නැයි ආරාධනා ද ලැබෙමින් තිබුණේය. ඔහු මුලින්ම හමුදාවෙන් ඉල්ලා අස්විය. ඊළඟට අර්ජුනලාත් එක්ක දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමිනි. ලකුණ හංසයා විය. මේ ඔක්කොම ගැන දැඩි සෙවිල්ලෙන් සිටි මහින්දලා ගත් ජනාධිපතිවරණය ඉක්මනින්ම කැඳවීමේ තීන්දුවට දේශපාලන පොරපිටියේ මේ වර්ධනාත්මක තත්ත්වයද බලපෑවේය. නාමයෝජනා දීමට විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් රනිල් වෙනුවට ආවේ සරත් ෆොන්සේකා ය. ලකුණ ද අලියා නොව හංසයා විය.
මේ මොන වර්ධනයක් තිබුණත් එය තමන්ට ජය ගැනීමට තිබෙන අවස්ථාව බාධාවක් නොවන බවට මහින්දලා ගණන් හදාගෙන සිටියත් සරත් ෆොන්සේකාගේ පැමිණීම රටේ ජනමතයට සිදු කරන වෙනස ලොකු විය හැකි බවට ඔවුන් තුළ ලොකු සැකයක් තිබිණි. යුද්ධයේ ජයග්‍රහණය මතින්ම ගොස් ජනාධිපතිවරණයට මුහුණ දීමේදී සරත් ෆොන්සේකා ද ඒ මාර්ගයේම ඉදිරියට එන බව පැහැදිලි විය. මේ නිසා සුපුරුදු බුලත් කොළේ ලකුණින් මහින්ද ඡන්දයට එන බව දැනුම් දෙන පෝස්ටර් ඇතුළු සියලු ප්‍රචාරක දැන්වීම්වල මුද්‍රිත පමණක් නොව විද්‍යුත් නාළිකාවලද යටින් ‘‘සුබ අනාගතයක්’’ වශයෙන් තේමා පාඨයක් සඳහන් විය. ‘‘නැවතත් මහින්ද රාජපක්ෂ ජනපති කරමු’’ වශයෙන් ගැසූ පෝස්ටර්වල යට එම තේමා පාඨය කැපී පෙනෙන අකුරින් සඳහන් විය. පුවත්පත් දැන්වීම්වලත් රෑපවාහිනී නාළිකාවලත් ඒ පාඨය එසේම සඳහන් විය. මේ තේමා පාඨය මහින්දලාගේම නිර්මාණයක් නොව වෙනත් පාර්ශවයක් වෙනුවෙන් නිර්මාණය කෙරුණු පෝස්ටර් කැම්පේන් එකකින් හදිසියේ ඔවුන් අතට පත්වූ එකක් බවටත් ඒ කාලයේ තිරය පසුපස ලොකු කතාවක් පැතිරිණි. කොහොම වුණත් ‘‘සුබ අනාගතයක්’’ යන්න ඡන්ද දායකයන් බොහෝ දෙනකුගේ ආකර්ශනය දිනා ගන්නට සමත් වූ බව ඒ කාලයේ සිදු කළ මත සමීක්ෂණවලින් හෙළි විය.
මහින්ද 57% ක ප්‍රතිශතයක් ලබමින් ජනාධිපතිවරණය ජය ගත්තත් සරත් ෆොන්සේකා ද 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. මේ ප්‍රතිඵලය අනුව තමන් යුද ජයග්‍රහණයම ඉදිරියට දමාගෙන කැම්පේන් කරනවාට වඩා රටේ අනාගතය සුබවාදී කරන වෙනසක් වශයෙන් එය ඉදිරිපත් කිරීම් කොතරම් වැදගත් වී දැයි මහින්දලා වටහා ගන්න ඇත. ජනතාව ඡන්දය භාවිත කිරීමේදී හැඟීම්වලට ඕනෑවට වඩා වහල් නොවන බවත් යම් යම් කරුණු සම්බන්ධයෙන් නිවහල් ලෙස කල්පනා කරන බවත් ඒ අවස්ථාවේදී බොහෝ නායකයන් තේරුම් ගන්න ඇත.
එයින් පසුව 2015 දී ‘‘යහපාලනය’’ යන්න තේමා පාඨය බවට පත්වූ අතර එය ද ජනතාවගේ ආකර්ශනයට ලක් විය. යහපාලනය යටතේ හොරු අල්ලන බවට විශාල ප්‍රචාරයක් දියත් විය. මේ ප්‍රචාරයෙන් යහපාලන ආණ්ඩුව බිහි කිරීමට අඩිතාලම වැටුණි. මෛත්‍රීපාල ජනාධිපති වී රනිල්ට අගමැති වීමට ඒ ප්‍රචාරක සැලැස්ම බොහෝ සේ උපකාරී විය. ජනාධිපතිවරණයට කල් තබාම තේමා පාඨ සහ සටන් පාඨ ගැන හැම පක්ෂයක්ම සැලසුම් කරන බව මේ සිදුවීම්වලින් පැහැදිලි වෙයි.
2019 ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ධූරයට ගෙන ඒමද සැලසුම් සහගතව කල් තබාම ක්‍රියාත්මක විය. එහි ප්‍රධානම සටන් පාඨයක් වී තිබුණේ රටේ ජාතික ආරක්ෂාව බිඳවැටී තිබීමයි. පාස්කු ප්‍රහාරයත් බුද්ධි අංශ සිතාමතා දුර්වල කිරීමේ චෝදනාත් මේ තේමා පාඨවලට පදනම සැපයීය. එයට ගෝඨාභය ජාතිකවාදය ද දැඩි ලෙස එකතු කළේය. ඔහු බලයට ගෙන ඒමට ක්‍රියා කළ සියලු දෙනා මාස කිහිපයක් තිස්සේ එය සැලසුම් කරමින් ක්‍රියාවට නංවා තිබූ බවද පැහැදිලිව පෙනුණි.
දැන් ඊළඟට එළැඹෙන්නේ 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘‘ආරංචිය සුබයි’’ කියවාගත යුත්තේ මේ ජනාධිපතිවරණය ඇසුරින්ම බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ එකඟතාවට පැමිණීම ආර්ථික වශයෙන් රට ලැබූ ජයග්‍රහණයක් බවත් එය සුබ ආරංචියක් බවත් ජනාධිපති රනිල් කියයි. මේ ණය ප්‍රතිව්‍යුහත කිරීම මාස කිහිපයක් තිස්සේ රට තුළ මාතෘකාවක් වී තිබුණි. මෙවැනි එකඟතාවයක් ලැබෙනු ඇති බවට අනාවැකි ද පළ විය. එහෙම නම් මෙය සුබ ආරංචියක් වෙන්නෙ කොහොමද?
එහෙම වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවීමට ඔහුගේ සමීපතම උපදේශකවරුන් සහ මැති ඇමැතින් කරන සැලසුම හේතුවෙනි. මේ වසර මුල සිටම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට යූ.එන්.පීයට සමීප බොහෝ දෙනාගේ ප්‍රකාශවල සඳහන් විය. ඒ සඳහා පොහොට්ටුවේ කැඩී ගිය ලන්සාගේ ප්‍රධානත්වයෙන් විශාල සන්ධානයක් ඇතිකර ගැනීමේ සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරිණි. එය කොතරම් දුරකට සාර්ථක වී දැයි තවම කිව නොහැක. දැන් පෙනෙන්නේ ලන්සාගේ කණ්ඩායම සහ ජනාධිපතිවරයාට ඊට පසුව සමීප වූ ප්‍රසන්න රණතුංගලාත් අතර ද විරසක පවතින බවය.
එසේම පොහොට්ටුවේ ප්‍රධානම මෙහෙයුම්කරු වන බැසිල් සමඟ ද මේ පිරිසේ ගැටුම් ඇතිවෙමින් තිබේ. මෙසේ සිදුවෙද්දී ජනාධිපතිවරණ දිනය ද ආසන්න වෙමින් පවතී. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ පණිවුඩය දැන් සිටම ජනතාව අතරට යා යුතුය. තමා ඉදිරිපත් වන බව ජනාධිපතිවරයා තවම නොකියා තිබෙන තත්ත්වයක් තුළ ඔහුට සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම් තුළ කිසියම් අවිනිශ්චිත බවක් නිර්මාණය වී තිබේ. ඉතිහාසයේ ප්‍රබල ලෙසටම විකෘති ජනමතයක් පිළිඹිබු කරන පාර්ලිමේන්තුවක් පවතින විට එවැනි අවිනිශ්චිත බවක් ඇතිවීමේ පුදුමයක් ද නැත.
පොහොට්ටුව අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවක් ඍජුවම නොකියයි. ඔවුන් කියන්නේ නියම අවස්ථාවේදී අපේක්ෂකයා ඉදිරියට ගෙන එන බවය. එසේම තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයේ කටයුතු කරගෙන යාමට සහාය දක්වන නමුත් ඔහු තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කියති. තවත් පොහොට්ටුවේ පිරිසක් ජනාධිපති රනිල් තමන්ගේ අපේක්ෂකයා විය යුතු බවද කියති. ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් දරන්නේ එම මතයයි.
ශ්‍රීලනිපයේ දැනට බලය අල්ලාගෙන සිටින නිමල් සිරිපාල කණ්ඩායම ද දැඩිව බලාපොරොත්තු තබා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කියාය. එවැනි තත්ත්වයක් තුළ ඔහුට සහාය දක්වා සන්ධානගත වී ඊළඟ මහ මැතිවරණයේදී තමන් තරග කර යළි පාර්ලිමේන්තුවට පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවද පෙනෙන්නට තිබේ.
මේ අතර සජබ මන්ත්‍රීන් පිරිසක් ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට සහාය දැක්වීම බවත් සඳහන්ය. ඒ සංඛ්‍යාව මන්ත්‍රීන් 20ක් පමණ වන බවද ජනාධිපතිට සමීප පිරිස කියති. නමුත් සජබ ජ්‍යෙෂ්ඨයන් කියන්නේ එය බොරුවක් බවය. මාස ගණනාවක් තිස්සේ මේ කතාව කිව්වත් තවමත් කිසිදු මන්ත්‍රීවරයකු යූ.එන්.පී.යට එකතු නොවූ බවද ඔවුහු කියති. නමුත් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කරන බවත් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවත් අවස්ථාව පැමිණි වහාම ඔවුන් ජනාධිපතිවරයාට සහාය පළ කරනු ඇති බවත් පෙනෙන්නට තිබේ.
එහෙම බලනකොට ජනාධිපතිවරයාගේ ආරංචිය ඔවුන්ට නම් ඇත්තටම සුබය. ‘‘ආරංචිය සුබයි’’ යන්න ඊට පැය 24කට පසුව ‘‘මේ වෙලාවේ රනිල් තමයි’’ වශයෙන් වෙනස් වෙන්නේත් එයට පසුබිම හැදීමට ද විය හැකිය. ඉදිරියට තවදුරටත් මේ සුබ කතාව ව්‍යාප්ත වන ලකුණු ද පහළ වෙමින් තිබේ. ණය ප්‍රතිව්‍යුහත කිරීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් වශයෙන් ජනගත කිරීම සමඟ තමන් වසර දෙකක් තුළදී රට ගොඩගත් බවත් එහෙම ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙන යනවද එහෙමත් නැත්නම් බලය ගන්න වෙහෙසෙමින් අඳුරේ අතපත ගාන අය එක්ක එකතු වෙනවද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් ජාතිය අමතමින් කළ දීර්ඝ කතාවේ සඳහන් කළේ ද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමේ ඉඟියක් වශයෙන්ද?
ඒක හරියටම දැනගන්න වෙන්නේ ඉදිරි සති දෙක තුන ඇතුළදීය. ජූලි 17 වැනිදායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණය පැවැත්වෙන බවට වන නිල නිවේදනය මැතිවරණ කොමිසම මගින් නිකුත් කෙරෙනු ඇත. ඒ වනවිට ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද යන්න ජනාධිපති රනිල් තීරණය කර තිබිය යුතුය.
එහෙම වෙන්න නම් පොහොට්ටුවේ සහාය ජනාධිපතිගේ ඡන්ද පදනම බවට පත්විය යුතුය. නමුත් එහෙම සූදානමක් පොහොට්ටු නායකත්වය තුළ තිබෙන බවක් පෙනෙන්නට නැත. නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරවීම ද යූ.එන්.පීයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රකාශවල දැක්වෙයි. නමුත් එය යූ.එන්.පීයේ ඡන්ද පදනම ගැන සිදුකෙරෙන අවතක්සේරුවක් බවට පත් වෙයි. එහෙත් පොහොට්ටුවේ වැඩි පිරිසකගේ සහාය ලබාගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වීමට සිදුවන්නේ යූ.එන්.පී. අපේක්ෂකයා වශයෙන් නොවන බව පිළිගත යුතුය.
රටේ ආර්ථිකය තිබුණු තැනින් යම් තරමකට හෝ විසදා ගැනීම යහපත් දෙයක් බව අවිවාදිතය. නමුත් එය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම නම් සුදුසු නැත. ආර්ථික අර්බුදයෙන් තවමත් සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩි විඳිමින් සිටිති. ඔවුන් ගෙවන බදු තවමත් අඩුකර නැත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනය ලබා දීම ගැන කතාත් නැත. වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා වැඩවර්ජන රුල්ලක් පැන නැගී තිබේ. ඒ අතර සුබ ආරංචි ගැන ජනතාවට කොතරම් දුරකට අවධානය යොමු කළ හැකිද යන්න නම් ප්‍රශ්නාර්ථයකි.
මහින්ද ‘‘සුබ අනාගතයක්’’ පෝස්ටරයෙන් ජනාධිපතිවරණයට ආවේ රටේ විශාල බහුතරයකගේ විශ්වාසය දිනාගත් නායකයකු හැටියටය. එහෙම ආවත් ඔහු ජය ගත්තේ 57% ක ප්‍රතිශතයක් ලබමිනි. එය ඔහු 2005 දී ලැබූ ප්‍රතිශතයට වඩා 6% ක වැඩිවීමක් පමණි නම් පාර්ලිමේන්තුවේ එක් අසුනක් නියෝජනය කරමින් ජනාධිපති ධුරයට පත් වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී සිතන්නට බොහෝ කරුණු තිබෙන බව යථාර්ථයයි.
- ශශින්ද්‍ර