2024 ජුනි 29 වන සෙනසුරාදා

මේ ආර්ථික අහේනියට සමු දෙමු

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

රටක ආර්ථිකය මිනිස් සිරැරක හදවත වැනිය. යන්තම් ලෙඩ දුන්නත් උපරිම අවධානයක් ඒ වෙනුවෙන් යොමු කළ යුතුය. හදවත ලෙඩ කරන පෙරනිමිති පහළවෙන විටම ඒ සඳහා ප්‍රතිකාර ගත යුතු වෙයි. එසේ සැලකිලිමත් වන්නේ නම් හදවත නැවතී ජීවිතය අහිමිවීමට පෙර ''බයිපාස්'' සැත්කමක් හෝ ''ස්ටෙන්ට්'' දමා හෝ වැඩේ බේරාගත හැකිය. එහෙත් මොන ලෙඩේ හැදුණත් ඒ බවක් ගණන් නොගෙන තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේ නම් සහ කලින් පරෙස්සම් වීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් එය ලෙඩා අසාධ්‍ය තත්ත්වයකට ඇද දැමීමකි. ලංකාවේ ආර්ථිකයට ද සිදුවූයේ මේ කියන හදවත් රෝගියාට සිදුවූ දේමය.

එසේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ හදවත් රෝගියකුට බයිපාස් කිරීම හෝ ස්ටෙන්ට් දැමීම හෝ සිදු කිරීමද පහසු නැත. මෙරට ආර්ථිකයට වින කැටූ බොහෝ දෙනා එයින් තම දෑත් සෝදාගෙන සියලු වැරදි අනුන්ගේ පිට පැටවීමටද කටයුතු කළහ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරැණුම ආර්ථික අර්බුදයකට හසුවීමයි. එයින් බැට කෑමට සිදුවූයේ එයට වගකිව යුතු දේශපාලකයන්ට නොව රටේ පොදු මහජනතාවටය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල දින ගණන් ගෙවීමට ඔවුන්ට සිදුවිය. තමන්ගේ දූ දරැවන්ට අඩුම තරමින් උදෑසනට හෝ කිරි තේ එකක් දීමට ද මවුපියන්ට නොහැකි විය. ඇතැම් පළාත්වල දරැවන් පාසල් ගියේ නිරාහාරවමය. ඔවුන්ගේ බඩගිනි යන්තමින් හෝ නිවීමට ගුරැ දෙගුරැන් තම ශක්ති ප්‍රමාණයෙන් කළ සේවාව ද ඉතිහාසයට එක්ව තිබේ.

මේ දැක්වුණේ මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් මිනිස් ජීවිතවලට මුහුණ දීමට සිදුවූ ඛේදජනක බලපෑම්වලින් ඉතා සුළු කරැණු කිහිපයක් පමණි. එහි ප්‍රතිඵල වඩාත් දරැණු වූයේ මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනකායකට රුකියා සහ ආදායම් මාර්ග පවා අහිමි කරවමිනි. එයින් ඇතිවූ පීඩනය අදටත් වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් පමණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ආර්ථික කළමනාකරණය හැකිතාක් දුරකට හරි මගට ගැනීමට කළ උත්සාහයේ ප්‍රතිඵල හැටියට පෝලිම් යුගය නිමා විය. භාණ්ඩ ද සුබල වීමෙන් හැකි පමණින් ජනතාව ද කෙසේ හෝ තම කුසගින්න නිවා ගැනීමට උත්සාහ දැරෑහ. නමුත් ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක් වශයෙන් මේ බොහොමයක් භාණ්ඩවල මිල ඉතා අධික මට්ටමකට ගියේය. එය අඩු වූයේ සුළු ප්‍රතිශතයකින් පමණි. මේ නිසා ජනතාව තවමත් සිටින්නේ දැඩි ජීවන බරකින් මිරිකෙමිනි. ඖෂධ මිල අඩු කළ බව පැවසුණත් ඒ අඩුවීම සිදුවූයේ සියයට තුන්සියයකින් පමණ ඉහළ ගිය මිලෙන් කිසියම් ප්‍රතිශතයකින් වීම හේතුවෙන් තවමත් බෙහෙත් මිල ඉතා ඉහළය. විදුලි බිල ද ඉන්ධන මිල ද මේ ප්‍රපංචයේම කොටසකි. ලොවේ විදුලි ඒකකයකට වැඩිම මිලක් ගෙවන රටක් බවට ශ්‍රී ලංකාව පත් වූයේද ඒ අනුහසිනි. 

දැන්වත් මේ ආර්ථික මඩ ගොහොරැවෙන් මිදීමට සියලු දෙනා උත්සාහ දැරිය යුතු වෙයි. එසේ නොවුවහොත් මේ රට හැමදාමත් පවතිනු ඇත්තේ ලෙඩ ගාණේය. එය මේ රටේ කිසිවකු හෝ බලාපොරොත්තු වන තත්ත්වයක් නොවේ. ඒ බව මුලින්ම තේරැම් ගත යුත්තේ ජනතාව නොව දේශපාලකයන් විසිනි. රටේ ආර්ථිකය හැදීම ජනතාවට කළ හැක්කක් නොවේ. ඒ සඳහා විශේෂඥයෝ, විශ්ලේෂකයෝ මේ රටේ ඕනෑ තරම් සිටිති. ඔවුන් මේ කටයුත්ත සඳහා මෙහෙයවිය යුත්තේ දේශපාලන නායකයන් විසිනි. රටට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ඔවුන් බැවිනි.

එසේ වුවද රටේ ආර්ථිකයේ මූලික ප්‍රතිපත්ති මත පදනම් නොවී වරින් වර ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇතැම්විට අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට පවා වෙනස් වන ප්‍රතිපත්ති රටක අනාගතයට යහපත් නොවන බව සියලු දෙනා තේරැම් ගත යුතුය. අපේ රට මේ අමාරැවේ වැටුණේ එවැනි වැරදි ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙනි. රටේ අනාගත ආර්ථික අභිවෘද්ධියට වඩා ඊළඟ ඡන්දය ජයග්‍රහණය කිරීම අරමුණු කර ගනිමින් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන රටකට සිදුවිය හැකි වින්නැහිය තේරැම් ගැනීමට ශ්‍රී ලංකාව කදිම උදාහරණයකි. ඡන්දය දිනුවත් ඊළඟ ආණ්ඩුව ආර්ථිකය හසුරැවා ගන්නේ කෙසේද යන්න ඇතැම් දේශපාලකයන්ට අදාළම නැත. රටට කුමක් වුණත් තමන්ට ඡන්දය ලැබෙනවා නම් කමක් නැතැයි සිතන මේ සටකපට දේශපාලනය දුරැ නොවන තාක් මේ ආර්ථිකය හරි මගට ගැනීම සිහිනයක් පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශයට පදනම් වී තිබුණේද රටේ අනාගත ආර්ථික අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව ගමනක් යා යුතු බවයි. නමුත් මේ සඳහා ව්‍යුහාත්මක සූදානමක් තිබේද යන්න නම් උභතෝකොටිකයකි.