2024 ජුනි 29 වන සෙනසුරාදා

හොයලා බලන්නකෝ ජනතාව ඉන්නේ සතුටින්ද කියලා

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

  • ඩොලර් ආදායම වැඩිකර ගන්නෙ නැතුව දේශීය ආදායම වැඩි වුණත් වැඩක් නෑ
  • ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ හැබැයි මේ කළ විදිය වැරදියි
  • අපේ රටේ ණය ප්‍රමාණය දැන් ඩොලර් බිලියන 100 වෙලා

ජනාධිපතිවරයා සුබ ආරංචියක් අරගෙන ආවා පහුගියදා. ඒ ආරංචිය ලැබුණම විපක්ෂයටත් සතුටු ඇති නේද?

ජනතාව සතුටින්ද කියලා ටිකක් හොයලා බලන්න. ජනතාව සතුටින් නම්, මේ රට ණය බරෙන් මුදවා ගත්තා නම්, ජනතාව තුන්වේල කාලා බීලා ළමයින්ට උගන්නලා සතුටින් ඉන්න එපැයි. ජනතාවට සතුටුද කියලා බලන්න.

ඒ වුණාට ජනතාව රතිඤ්ඤා එහෙම දාලා සතුට සැමරුවනේ?

ඒ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වැඩනේ.

ඒ කියන්නේ කවුරුත් කැමැත්තෙන් සහභාගි වුණේ නැද්ද?

නෑ. ඒක ආණ්ඩුව දැනුවත්ව වුණු දෙයක්. ඒක කවුරුත් දන්න දෙයක්නේ.

සජබයේ ආණ්ඩුවක් තිබුණා නම් මේක නෙමෙයිද ගන්න තිබුණු එකම සහ කෙටිම පියවර. එහෙනම් සතුට සමරන්නේ නැද්ද?

නෑ. මමත් පිළිගන්නවා මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. හැබැයි මේ කරපු ක්‍රමවේදයේ අවුලක් තියෙන්නේ.

මොකක්ද අවුල?

අපි දන්නේ නෑ ණය කපා හැරීම කොයි තරම් දුරට සිද්ධ වෙලාද කියලා. මේක මේ ණය වාරික ගෙවීම කල් දාලා නම් ඒකෙන් තේරුමක් නෑ. ගයනාව වගේ රටවල් 37% ක ණය කපා හැරලා තියෙනවා. ඒත් අපේ ද්විපාර්ශ්වික ණයවලට වඩා ස්වෛරී බැඳුම්කරවලට තමයි 28% ක් ඉල්ලලා තිබුණේ. ඒත් අපිට ආරංචි හැටියට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපි 2028 න් පස්සේ ප්‍රාග්ධනය කැපෙනකොට දළ ජාතික ඒකකය ඊට සාපේක්ෂව අඩු වෙනවා. අපි ණය ගෙවන්නේ ඩොලර්වලින් නිසා ඩොල‍ර් ආදායම එක්ක බලන්න වෙනවා. විශාල පාඩුවක් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් ආවොත් කරගන්න බැරි වෙයිද?

නෑ. ඒක සාකච්ඡා කරන්න ඕනෑ වෙනවා. මොකද අපි එකඟ වෙන ඒවා තියෙනවා, එකඟ නොවන ඒවා තියෙනවා. ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන්.

මම අහන්නේ කවුරු බලයට ආවත් මේකම නේද කරන්න වෙන්නේ?

වාහනයක් අරගෙන ලීස් කරලා, ඒක ගෙවාගන්න බැරිවුණාම බැංකුව එක්ක කතා කරලා ගෙවන කාලය දීර්ඝ කරගෙන තියෙනවා. ඒක නරක දෙයක් නෙමේ, හොඳ දෙයක්. බංකොලොත් වුණු රටවල් කරන්න ඕනෑ. ඒත් ණය කපා ගැනීම, ඒ සඳහා පුළුල් සංවාදයක් තියෙන්න ඕනෑ. දැන් බලන්න අපි බදු ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඒත් අපි අපනයන ආදායම හෝ විදේශ ආයෝජන වැඩි කරගෙන නෑ. ඒවා වැඩිකර ගන්නව විනා තව ණය ගන්න එක නෙමේ කරගන්න ඕනෑ. අපේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 කට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ණය කල් දාන්න දාන්න වෙන්නේ ඒක වැඩිවෙන එක විතරයි. අපි දීර්ඝකාලීන ස්ථිර විසඳුමක් ගන්න ඕනෑ.

දැන් ඔබලගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව මේකට විසඳුමක් තියෙනවද?

අනිවාර්යෙන්ම වෙනස් කරන්න ඕනෑ. ඩොලර් ආදායම වැඩි වෙන්නේ නැතුව දළ දේශීය නිෂ්පාදන ආදායම කොච්චර වැඩිවුණත් වැඩක් නෑ. එහෙම නොවුණොත් වෙන්නේ පුරවැසියගේ ඇඟට බදු පිට බදු වැටෙන එක. අපේ සේවා ආර්ථිකය වැඩි කරගන්න තරමට තමා ඩොලර් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් හැටියට ප්‍රේමදාස මහත්තයගේ යුගයේ ඇඟලුම් කර්මාන්ත හරහා ඩොලර් ආදායම වැඩි කළානේ. ඒ නිසා තමයි ජන සවියට ලෝක බැංකුව උදව් කළේ.

දැන් ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න හදන්නේ. ඒ කියන්නේ හිර වෙයිද ඊළඟ ආණ්ඩුව?

අපි ණය අරගෙන සංවර්ධනය කරන්න ගිහින්නේ වැරදුණේ. ඒත් සංවර්ධනය කළ යුතුයි. ඒත් ණය අරන් නෙමේ. මම කියන්නේ ආණ්ඩුව ණය අරගෙන සංවර්ධනය කරන්න යනවා නම් ඒක වැරදියි.

ඔබේ පක්ෂයේ අය නම් කියන්නේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ හොඳයි කියලා?

මම කිව්වේ මගේ මතය. මගේ මතයනේ ඇහුවේ.

පක්ෂයක් හැටියට බහුතර මතයක් තියෙන්න එපැයි?

ඕනෑ කෙනකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්.

ඔබේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කිව්ව දේත් එක්ක පාක්ෂිකයෝ අතරමං වෙනවනේ රනිල් වික්‍රමසිංහද, සජිත් ප්‍රේමදාසද තෝරාගන්නෙ කියලා?

නෑ නෑ පාක්ෂිකයෝ අතරමං වෙලා නෑ. පාක්ෂිකයෝ ඉන්නේ අපේ පක්ෂය එක්ක. ඔයා හිතුවද ඒ කතාවෙන් පාක්ෂිකයෝ අන්දමන්ද වුණා කියලා. එහෙම එකක් නෑ.

ඒත් ඒ පක්ෂයේ සභාපතිනේ?  

ඒ මොනව වුණත් පාක්ෂිකයෝ ඉන්නේ අපි එක්ක. එතුමා උසාවි ගිහින් වාරණයක් අරන් තියෙනවනේ සභාපතිකමෙන් අයින් කරන්න බෑ කියලා. එහෙම තැනක ඉඳලා තමයි ඒක එතුමා දරන්නේ.

ඇත්තද එතුමව මීට පස්සේ පක්ෂයේ වැඩවලට ගන්නේ නෑ කියන්නේ?

ඒක මම දන්නේ නෑ.

 

• ගයාන් ගාල්ලගේ

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00