ජූලි මාසයට ලංකාවේ දේශපාලනය තුළ හැමදාමත් විශේෂ තැනක් හිමිය. විශේෂයෙන් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ පැවැත්වෙනවා නම් හෝ පැවැත්වීමට ආසන්න නම් ජූලි මාසය ඒ උණුසුමින් ගිනියම් වෙයි. යුද්දෙ කාලෙ ජූලි මාසය මෙරට ආරක්ෂක සේවා ප්‍රධානීන්ගේ සුවිශේෂ අවධානයක් යොමුවිය. '83 යාපනේ බොම්බයක් පුපුරුවා මුළු දකුණම ඇවිස්සූ ජූලිය පසුව කළු ජූලිය යැයි නම් කෙරුණේ මේ හේතුවෙනි. මෙරට වැඩවර්ජන ඉතිහාසය තුළ මහත් ඛේදවාචකයක් වූ රජයේ සේවකයන් හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවකට රුකියා අහිමි කළ 80 මහා වැඩවර්ජනයද නම් ලැබුවේ ජූලි වර්ජනය හැටියටය.
දැන් යුද්ධයක් නැත. මේ නිසා යුද උණුසුමක්ද නැත. එහෙත් වැඩවර්ජන එකක් නොව පොකුරක් තිබේ. එදා අසූවේ වැඩවර්ජනය ඔක්කොම රජයේ සේවකයන් එකතුවෙන් දියත් කළත් දැන් වැඩවර්ජන සිදුවෙන්නේ එක් එක් කේෂ්ත්‍රයට අදාළව වෙන් වෙන් වශයෙනි. එක දවසක් දෙකක් ගුරු විදුහල්පතිවරු වර්ජනය කරති. මාස දෙකක් තිස්සේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයේ යෙදී සිටී. විධායක නිලධාරීහු අකුරට වැඩ අතරේ උද්ඝෝෂණය කරති. සෞඛ්‍ය අංශයේ කොටස් කිහිපයක්ම වරින්වර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළ අතර ඉදිරියේදී කොයි මොහොතක හෝ ඔවුන්ද ක්‍රියාකාරී වීමට ඉඩ තිබේ.
මේ වැඩවර්ජන රුල්ල ජූලි මාසයට උරුම ගිනියම් වීමට මේ වසරේත් මග පෑදීමක් කර තිබේ. එහෙම වෙන්න එක ප්‍රධාන හේතුවක් හැටියට පෙනී යන්නේ ජනාධිපතිවරණයේ උණුසුම දැන් සියලු දෙනාටම දැනෙමින් තිබීමය. ඒ අතරේ ආණ්ඩුව පැත්තෙන්ද මේ ගිනියම් වෙමින් පවතින කරළියට පිදුරු දමන සිද්ධීන් පෙළගස්වමින් තිබෙන බවක්ද පෙනී යයි. එහි අලුත්ම තත්ත්වය ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමයි.
මේ පෙත්සම කොයි තරම් උණුසුමක් කරළිය තුළ ඇති කළේදැයි කිව්වොත් බොහෝ දෙනකු මේ පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයා කවුදැයි සොයා බැලීමට පවා දැඩි ලෙස උනන්දු වූ බවක් පෙනුණි. ඒකට ලොකුම හේතුව වුණේ මේ පෙත්සමෙන් ජනාධිපතිවරණ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරෑපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි කෙළින්ම ඉල්ලීමක් කර තිබීමයි.
මේ ඉල්ලීම කර ඇත්තේ මොරටුවේ පදිංචි ව්‍යවසායකයකු බව කියන සී.ඩී. ලේනව නම් මහතෙකි. ඔහු මේ පෙත්සම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව සලකා බලන ලෙස ඉල්ලා තිබීමද විශේෂයකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය, 30(2) ව්‍යවස්ථාව උපුටා දක්වමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය කොපමණද? යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරෑපණයක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සඳහන් කර තිබේ.
මේ සමස්ත සිද්ධිය මෙරට දේශපාලනය සම්බන්ධයෙන් සංවේදී සියලු දෙනා තිගැස්සීමකට ලක් කිරීමට සමත් විය. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවල සඳහන් කරුණු අධ්‍යයනයටද යොමු වූහ. ඒ කොහොම වුණත් මේ පෙත්සම ජනාධිපතිවරයා දැනුවත්ව ගනු ලැබූ පියවරක් බවට විශාල රාවයක් රට පුරා පැතිර ගිය අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ විගසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති චමීන්ද්‍ර දයාන් ලේනව එකී පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර ජනපති හෝ ඔහුගේ නීතිඥ මණ්ඩලයෙන් හෝ කිසිදු විමසීමක් සිදු නොකළ බවය. එසේම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් වන බවත් 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියා තිබිණි.
එසේ වුවද මේ පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සමීප සියලු දෙනා නිහඬ වීමද කැපී පෙනෙයි. යූ.එන්.පී. මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර නම් මේ පිළිබඳ මැදවච්චියේ පැවති රුස්වීමකදී අදහස් දක්වා තිබිණි. ඔහු කියා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූර කාලය වසර 05 ද 06 ද යන්න සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවයි. එය කැබිනට්ටුවට දැනුම් දී ඇති බවත් ඔහු පවසා තිබිණි. නමුත් සෙසු සියලු දේශපාලන පක්ෂ පෙත්සම සම්බන්ධයෙන් දැඩි ලෙස කැළඹීමට පත්වූ බව පෙනුණි.
සජබ සහ ජා.ජ.බ මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සූදානම් වීම බලාපොරොත්තු විය යුතුය. මේ පෙත්සම බැලූ බැල්මට පෙනී යන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව යළිත් වරක් රට තුළ අවිනිශ්චිත බවක් ඇති කිරීමක් බවට කෙනකුට චෝදනා කළ හැක. මේ ආකාරයට අවිනිශ්චිත බවක් ඇති කරමින් පුංචි ඡන්දයට සිදුකළ හානිය සියලු දෙනාට අමතක වීමට හේතුවක් නැත. එය අවසානයේ නැවතුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේය. දැන් එම ඡන්දය නැත.
පුංචි ඡන්දෙට වෙච්ච දේ ජනාධිපතිවරණයට සිදුවනු දැකීමට කිසිවකුත් කැමැති නැත. ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව මේ වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර පැවැත්විය යුතුය. එය නොපවත්වා සිටීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. කොමිසම මේ වන විටත් එහි මූලික වැඩ කටයුතු සිදු කරමින් සිටී. එසේ නම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරෑපණය කර ලැබෙන තුරු ජනාධිපතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසට ඉල්ලීමක් කෙරුණේ නිකම් නොවිය හැකි බව විපක්ෂය තදින් විශ්වාස කරන බව පැහැදිලිය. මෙය ජනාධිපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් බව සජබ සහ ජාජබ දෙපාර්ශ්වයම ප්‍රකාශ කර තිබේ. එයට ඉඩ නොදෙන බව එහි නායකයෝ දිගටම ප්‍රකාශ කරති.
මේ අලකංචි මැද පෙත්සම 08 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමද බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සිද්ධියකි. ඒ සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම්කර ඇති අතර සෙසු සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්ම මහත්මීන්ය. බොහෝ දෙනාගේ අදහස වන්නේ මේ පෙත්සම එදිනම විභාගයට ගෙන අවසන් කරනු ඇති බවය. එය එසේ නොවුණත් මේ පෙත්සම් විභාගය පිළිබඳ තීන්දුවක් ලැබීම ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය. එම තීන්දුව බොහෝ දුරට ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර පැවැත්වීමේ අවිනිශ්චිත බව පිළිබඳව ඇතැමුන් මතු කරන විවිධ තර්කවල අවසානයද සටහන් කරනු ඇත. තවදුරටත් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට එරෙහිව සිදු කරන ප්‍රකාශ ද ඒ තීන්දුව සමඟ නවතිනු ඇත.
මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ජනාධිපති ධුර කාලය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඉතා පැහැදිලි බවය. එසේ නොවන්නේ නම් මැතිවරණ කොමිසම මේ වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමෙන් වළකිනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් 18 වැනිදා ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබුවේ වසර 05 කාලය සඳහා බවත් 2022 අරගලයත් සමඟ මතු වූ තත්ත්වය තුළ ඔහු මේ ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඔහුගේ ධුර කාලය ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මගින් රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගනු ලැබූ බවය. කෙසේ වුවද මේ සම්බන්ධව නිසි ලෙස අර්ථ නිරෑපණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිදු කළ යුතු බැවින් ඒ ගැටලුව පිළිබඳ විග්‍රහ කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු. සඳුදා ලැබෙන තීන්දුව එය රටට පැහැදිලි කර දෙනු ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන දිනයෙන් එය ගැලවීමට ආණ්ඩුවේ කිසිවකු හෝ උත්සාහ දැරුවොත් එයට රටේ විපක්ෂයෙන් කිසිදු ඉඩක් නොලැබෙනු ඇති බවට සියලු පෙරනිමිති දැන් පහළ වී තිබේ. ඔවුන් සියලු දෙනා එවැනි උත්සාහයන් දකින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට සිදුකෙරෙන හානියක් වශයෙනි. එය ජනතාවගේ පරමාධිපත්‍ය ඔවුන්ගෙන් උදුරා ගැනීමට දරන උත්සාහයක් වශයෙන් ඔවුන් හඳුන්වා දී තිබිණි. මේ නිසා ජනාධිපතිවරණය කල් දැමීම වෙනුවෙන් හඬ නැගීම නිරර්ථක උත්සාහයක් පමණක් වනු ඇත. එය රට තුළ අනවශ්‍ය කලබලයක් ඇති කිරීමට පවා හේතු විය හැකිය.
විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) පොහොට්ටුවද ප්‍රකාශ කරන්නේ ඔවුන් ඡන්ද කල් දැමීමට තරයේ විරුද්ධ වන බවය. මහින්දගේ නායකත්වයෙන් පොහොට්ටුව ගොඩනැගුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පසුවය. එජනිස තිබුණෙත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙනි. නමුත් එජනිස කිසි දිනෙක ඡන්ද කල් දැමුවේ නැත. ඔවුන් බොහෝ විට සිදු කළේ ඡන්ද කලින් තැබීමයි. එසේ සිදු කළේද ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ආදරය නිසා නොව තමන්ට දේශපාලන වාසිදායක අවස්ථාවලදී ඡන්ද පවත්වා ජයග්‍රහණය කිරීමේ චේතනාවෙනි. නමුත් එය ඕනෑම රටක දේශපාලනයේ ස්වභාවයයි. මේ දිනවල පැවැත්වූ ප්‍රංශ ජනාධිපතිවරණය සහ එංගලන්ත මැතිවරණය දෙකම නිසි කාලයට පෙර පැවැත්වූ මැතිවරණයි. හැබැයි ඒ ඡන්ද දෙකේම පැවැති ආණ්ඩු පරාජය විය. නමුත් ලංකාවේ මහින්ද නම් ඡන්දවලින් දිනුවේය. අවසානයේ පරාජය වූයේ 2015 දීය. එයද කලින් තැබූ ඡන්දයකි.
එහෙම නායකත්වයක් ඇති පොහොට්ටුව ජනාධිපතිවරණය මෙවර කල් දැමීමට කැමැති නොවීම ගැන පුදුම විය යුතු නැත. නමුත් ඔවුන්ට මෙවර ජනාධිපතිවරණය ඉතාම අවාසිදායක තත්ත්වයක් තුළ පැවැත්වෙන බවද නොසලකා සිටිය නොහැකිය. ජයග්‍රහණය කා සතු වේදැයි කිව නොහැකි වුණත් ගෙවී ගිය කාලය තුළ සිදුවූ දේශපාලන පෙරළි සම්බන්ධයෙන් සලකා බලන විට පොහොට්ටුව සිටින්නේ ඉතාම තීරණාත්මක තත්ත්වයකය. එසේ සිටියදීත් ඔවුන් ජනාධිපතිවරණය කල් දැමීමට විරෝධය දැක්වීම අගය කළ යුතුය. එය කවදා හෝ පොහොට්ටුවට ‘ප්ලස්’ ලකුණක් වනු ඇත.
ජූලි මාසය කොහොමත් නියමිතව තිබුණේ උණුසුම් වීමටයි. එය කලින්ම කැළඹී හාත්පස රත් වූයේ මේ පෙත්සම හේතුවෙනි. මේ පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක් වුවද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව එය ඉදිරිපත් කළ පිරිසටම පාරාවළල්ලක් විය හැකි බවත් තේරුම් ගැනීම අපහසු නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් දේශපාලන කරළිය තවදුරටත් උණුසුම් වනු ඇතිද නැතහොත් තිබෙන උණුසුමද නිවී යනු ඇතිද යන්න බලා ගැනීමට තව දින කිහිපයක් ඉවසිය යුතුය.
- ශශීන්ද්‍ර