2024 ජුලි 06 වන සෙනසුරාදා

අද කයිය ගහන අයට රට බාරගන්න තිබුණනේ

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග

  • අනුර කුමාරත් හර්ෂත් දෙන්නම දැන් කියන්නෙ වැල් පාලමෙන් එගොඩ වෙමු කියලයි
  • රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත්තෙ රනිල් ජනාධිපතිතුමයි
  • මම එදා වගේම අදටත් මහින්ද මහත්තයට ආදරෙයි

අපි දැක්කා ජනාධිපතිවරයා පසුගියදා සුබ ආරංචියක් අරගෙන ආවා. ඔබ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හැටියට සුබ ආරංචිය දකින්නේ කොහොමද?

රටට වෙලා තිබුණු පීඩාවෙන්, බංකොලොත්භාවයෙන්, ජනතාව විඳලා තිබුණු පීඩාවෙන් ගැලවෙන්න ඕනෑ කියන අදහසේ තමයි රටම හිටියේ. ඒ තත්ත්වයෙන් මිදෙනකල් අපිට ජාත්‍යන්තරව ලැබෙන ණය ආධාර ලැබෙන්නේ නෑ. ලංකාවේ කෙනෙක් බැංකුවෙන් ණය ගත්තම ඒක ගෙවාගන්න බැරිවුණාම ආයේ කිසිම ණයක් දෙන්නේ නෑ වගේ තත්ත්වයක් තමයි අපිට තිබුණේ. ඒ නිසා ජනාධිපතිතුමා අයි.එම්.එෆ් එකට ගිහිල්ලා කතා කරලා මේ තත්ත්වයෙන් මුදාගන්න තමයි කටයුතු කළේ.

විපක්ෂය නම් කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා වුණේ තවත් ගෙවීම් කාලය වැඩිවීම සහ පොලිය වැඩිවීම කියලා. එකෙන් වාසියක් නෑ කියලා කියන්නේ?.

ඔය කයිය ගහන අයට මේක බාර අරගෙන කරන්න තිබුණනේ. ජනාධිපතිතුමා කිව්වා මීට වඩා හොඳ සැලැස්මක් තියෙනවා නම් ඒ අයට යන්න ටිකට්, ඉන්න තැන්වල වියදම් හරි දෙන්නම්, ගිහින් කතා කරගෙන එන්න කියලා. එතුමා එහෙම යනවා නම් කැමතියි කිව්වා, රටට හොඳක් වෙනව නම්. හැබැයි ඒවට උත්තර නෑ. මිනිස්සුන්ට ඕනෑ කයියක් ගහන්න පුළුවන්. ඒත් ප්‍රායෝගිකව දෙයක් කරන්න ගියාම බයයි. ඇත්තටම ඒ අය හිතුවේ නෑ කෙටි කාලයකින් මේ රට මේ තත්ත්වයට පත්වෙයි කියලා. ඒ අය කිව්වේ නැද්ද ඉස්සරහට ඩොලරයක් මාරු කළොත් රුපියල් විල්බැරෝවක අරන් යන්න වෙන්නේ කියලා. ඒ බය කිරීම නිසා ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ රට දාලා ගියා.ඒ තත්ත්වය හමුවේ බය වීම සාධාරණයි නේද?

නෑ නෑ.. ඒ අයට දැක්මක් වැඩපිළිවෙළක් නැති නිසා ඒ බය ජනතාව අතර ඇති කළා. ඒ නිසා අභියෝගය බාරගත්තේ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට දැක්මක් විශ්වාසයක් තිබුණා. ඒ නිසයි අභියෝගය බාරගත්තේ. එතුමා හැම මාස තුනකටම සැරයක් ඇවිල්ලා කරන වැඩපිළිවෙළ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කළා. විපක්ෂයේ අයත් අයි.එම්.එෆ් එක හම්බවුණානේ. රටට ආදරේ නම් ඒ අයගේ වැඩපිළිවෙළ අයි.එම්.එෆ් එක එක්ක කතා කරලා කරගන්න තිබුණනේ. ඒත් ඒක කරන්නේ නැතුව කයිය ගහනවා විතරයි. රට කඩා වැටුණු වෙලාවේ හැමෝටම ආරාධනා කළා. ඒත් කිසිම කෙනෙක් ආවේ නෑ.

විපක්ෂය කියන්නේ ඒ අය බලයට ආවොත් මේ අයි.එම්.එෆ් එකඟතා වෙනස් කරලා ආර්ථික වැඩපිළිවෙළ වෙනස් ක්‍රමවේදයකට අරගෙන යනවා කියලා. එහෙම වු‍ණොත් හොඳක්ද නරකක්ද වෙන්නේ?

දැන් අනුර කුමාරත්, හර්ෂ ද සිල්වාත් කිව්වනේ වැල් පාලමෙන් ගොඩවෙන්න ඕනෑ කියලා. ඒ නිසා අයි.එම්.එෆ් යන්න ඕනෑ කියනවා. දැන් කරන්නේ මොකක්ද අපි. මෙහෙමයි, ඔය දේශපාලන කුහකත්වයට කියන කතානේ. මම දෙයක් කියන්නම්. අනුර කුමාරට හරි සජිත් ප්‍රේමදාසට හරි රට බාරදුන්නොත් අර 2022 තත්ත්වයට යන්න ඉඩ තියෙනවා. මම කියන්නේ නෑ යනවා කියලා. නමුත් ඉඩ තියෙනවා.

දැන් විපක්ෂය කියන්නේ ආණ්ඩුවයි ජනාධිපතිවරයයි එකතුවෙලා ඡන්දය කල් දාන්න යන්නේ කියලා. ඒක ඇත්ත නේද?

ඒක බොරුවක්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කිව්වා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තියෙනවා, ලබන අවුරුද්දේ මහ මැතිවරණය තියෙන්නේ කියලා. ඒක ජනාධිපතිතුමා තමයි ඉස්සෙල්ලම කිව්වේ. අපි ආණ්ඩුවක් හැටියට කිව්වා අපි කිසිම විදිහකින් මැතිවරණ කල් දාන්නේ නෑ කියලා.

ඒත් මේ මැතිවරණ කල් දැමීම සඳහා ධූර කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අරගෙන අධිකරණයට ගිය සිදුවීම ගැන ආණ්ඩුවට ඇඟිල්ල දික් වෙන්නේ?

කවුරු හරි මනුස්සයෙක් උසාවියට ගිහින් නඩුවක් දැම්මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන එක වැරදියි. ඒක ජනාධිපති මාධ්‍ය අංශයෙනුත් පැහැදිලි කළානේ. මොනවා හරි දෙයක් වුණොත් මෙයාලා ඇඟිල්ල දික් කරනවා ආණ්ඩුවට. වගකීමෙන් කියන්නේ අපි නියමිත වෙලාවට මැතිවරණය තියෙනවා.

මට කියන්න ඔබ ඇයි දැන් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නේ? ඇයි ඔහුව නැවත බලයට ගේන්න ඕනෑ කියන්නේ?

2015 දිත් මම හරි තැන හිටගත්තා. මම හිතනවා මහින්ද මහත්තයා එදා ගෙදර යා යුතු නායකයෙක් නෙමේ. එතුමා මේ රටේ මිනිස්සුන්ට ජීවිත දානය දුන්න කෙනෙක්. ඒ මිනිස්සු වැරදි තීන්දුවක් ගත්තත් පස්සෙ පසුතැවුණා, ඒ ගත්තේ වැරදි තීන්දුවක් කියලා. මම එදා වගේම අදටත් මහින්ද මහත්මයට ආදරෙයි. ඒ නිසා මම කියන්නේ 2022 මැ‍යි 9 සහ ජූලි 9 කියන්නේ ඉතාම නරක දවස් දෙකක්. එදා මහින්ද, ගෝඨාභය මහත්වරු හම්බවුණා නම් ගඩාෆිව මැරුවා වගේ මරන්න හිටියේ. ඒක ඒ විපක්ෂයේ කණ්ඩායම් කරන්න ගිය දේ. අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඇස්වලට පිහියෙන් ඇන්නා. එහෙම කරන්න පුළුවන් මානසික පිස්සන්ට විතරයි. ඒ වගේම එදා පාර්ලිමේන්තුව වට කරලා අල්ලගන්න ගියේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ගියේ. ඒත් ඒක රුකගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වගේම කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න එතුමට සහාය දුන්නේ පොහොට්ටුවේ අය. පොහොට්ටුවේ කට්ටියක් ඉවත් වෙලා ගියා. ඒ අයත් එකතු කරගෙන මේ ගමන ආවේ ජනාධිපතිතුමා. එහෙම කරපු මිනිහෙක්ට අපි අවස්ථාවක් දෙන්න ඕනෑ. ආයේ අත්හදා බලන්න බෑ. ඒකයි රනිල් වික්‍රමසිංහ මහත්තයට මම පොහොට්ටුවෙ ඉඳගෙන ආරාධනා කරන්නේ. අපෙත් වගකීමක් තියෙනවා එතුමට සහාය දෙන්න. මොකද අපේ පාක්ෂිකයන්ට 2022 දි හැංගිලා ඉන්න වුණේ.

ඒත් සමහර පොහොට්ටුවේ අය අකමැතියි. ඒ අය කියන්නේ වෙන අපේක්ෂකයෙක් දානවා කියලා?

එක එක මානසිකත්වයේ ඉන්න අය ඉන්නවා. ඒ අය හිතන්නේ අපි තනතුරු ගන්න කියලා. ඒත් මම කියනවා හොඳට හිතන්න පාක්ෂිකයන්ගේ මතය මොකක්ද කියන එක. ඔය කියන අය කවුද බලන්න. ඒත් ගොඩක් අය කියන්නේ පොහොට්ටුව සහාය දෙන කෙනා මේ රටේ ජනාධිපති වෙනවා කියලා.

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00