2024 ජුලි 06 වන සෙනසුරාදා

රට ණය කරපු කට්ටියම දැන් කියනවා ගෙවීම කල් දාගත්තා කියලා

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ජාතික ජන බලවේගය විධායක සභික ලාල් කාන්ත

  • සරදියෙල් පන්නයේ ආර්ථික සැලැස්ම පට්ටපල් බොරුවක්
  • අපි ජයග්‍රහණය කළාම පාර්ලිමේන්තුව විසුරුවලා තුනෙන් දෙකක් ඉල්ලා ඡන්දෙකට යනවා
  • ජාතික ජන බලවේගය කියන්නේ හැමෝම එකඟ වූ පොදු වැඩපිළිවෙළක්

ජනාධිපතිවරයා පසුගිය දවසක සුබ ආරංචියක් ගෙනාවා ආර්ථික වැඩපිළිවෙළ ගැන. ඒ සුබ ආරංචිය ජාතික ජන බලවේගය අනුව ඔබලා දකින්නේ කොහොමද?

අපේ ගම්වල ඉන්න අය ඔය වචනය දන්නේ නෑ. ඒත් එයාලත් නිතර කරන වැඩක්. කාහෙන් හරි ණය ගන්නවා, ණය ගෙවා ගන්න බෑ කියනවා. ඊට පස්සේ මාසයක් දෙකක් වැඩේ කල් දාගන්නවා. හරිම සරල කාරණයක්. ඉතින් අපේ වෙලා තියෙන්නෙත් ඕක. ඊට වඩා වෙන කාරණයක් නෑ.

ඔබලා හිතන්නේ නැද්ද රටක් හැටියට මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් කියලා?

ණය කළෙත් ඒගොල්ලොනේ. ඒ අයම කියනවා ණය ගෙවීම කල් දාගත්තා කියලා. ණය කල් දාගත්තම කාට වුණත් සහනයක් ලැබෙනවා. ඒක මානසික සහනයක්. ඒත් නැවතත් අපිට ආපහු ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ණය ගෙවන තත්ත්වයක් හදාගන්න, එතැන ජයග්‍රහණයක් තියෙයි. හැබැයි අපි හිතන්නේ නෑ මෙහෙම තත්ත්වයක් තුළ ජනතාවට වාසි සහගත තත්ත්වයක් උදා වෙයි කියලා.

දැන් අද ඔහොම කතා කළාට බලය අපේක්ෂා කරන කණ්ඩායමක් හැටියට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමයට ඔබලටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔබලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

අයි.එම්.එෆ් එකට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අයගේ සැලැස්ම. ඒ සැලැස්ම අයි.එම්.එෆ් එකෙන් බාර අරගෙන යන සැලැස්මක් මේ තියෙන්නේ. ඒත් අපි බලයට ආපුවම මේ සැලැස්ම වෙනුවට අපේ සැලැස්මක් අපි අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා. ඒ අය එක්ක කතා කළාම අපිත් එක්ක එකඟ වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඔය අයි.එම්.එෆ් කියලා තියෙන යහපාලන කොටසට අපි කැමතියි. ඒවා අපි අයි.එම්.එෆ් එකට කලින් ඉඳලා කියන්නේ. ඉතින් අපි ඒක තමයි කරන්න ගියේ 2015 කාලෙත්. හැබැයි මේ ආණ්ඩුවේ මේක වෙන්නේ නෑ. කරන්නේ බදු ගහන එකයි විදේශ ණය කල් දාගන්න එකයි.

ණය ගෙවන්න නම් විදේශ විනිමය අවශ්‍යයි. ඒ සඳහා අපනයනය, නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ, තව ආයෝජන ගේන්න ඕනෑ. ඔබලට වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් තියෙනවද?

ආයෝජන ගෙන්න ගන්න ඕනෑ. ඒක අත්‍යවශ්‍යයි. අපේ ආර්ථික සැලැස්ම මැතිවරණය ආපුවම ඉදිරිපත් කරනවා. අපේ සැලැස්ම තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දකින්නේ දේශපාලනයේදී විතරයි. ඒත් ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. කොල්ලකාරී, දේශපාලනඥයෝ එක්ක බැඳිච්ච සුළු පිරිසක් අතේ ආර්ථිකය තියෙන්නේ. ඒක වෙනස් කරන්න ඕනෑ. අපිට තියෙනවා අපේම වුණු ආර්ථික වැඩපිළිවෙළක්. ආණ්ඩුවට වඩා වෙනස්.

විපක්ෂය කියන්නේ ඔබලට සරදියෙල් පන්නයේ ආර්ථික සැලැස්මක් තියෙන්නේ කියලා, ධනපතියගෙන් උදුරා ගන්න. ඒක ඇත්තද?

ඕක පට්ටපල් බොරුවක්. ඒක අපේ හතුරන්ගේ කතාවක්. කාගෙවත් දේවල් පවරා ගන්න අදහසක් නෑ. අපේ තියෙන්නේ ධනවත් නැති අයත් ධනවත් කරන වැඩක් මිසක් ධනවත් අයගෙන් උදුරාගන්න වැඩපිළිවෙළක් නෙමේ. හැබැයි මේ රටේ දේශපාලනඥයෝ මහජනතාවගෙන් කොල්ලකාපු ධනය රටේ නීතිය අනුව නීත්‍යානුකූලව පවරා ගන්න ඕනෑ. දුක් මහන්සියෙන් හොයා ගත්ත දේවල් ඒ අයට අයිතියි. පවරාගන්න කතා විහිළු සහගත කතා.

විපක්ෂයේ අය කියන්නේ ඔබ විතරයි මාලිමාවේ අදහස් දරන්නේ, අනෙක් සියල්ලොම අරටු බැසගත්ත ජවිපෙ මතයේ ඉන්නේ කියලා?

ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක්, ඒ වගේම සන්ධානයක් එක පැත්තකින්. ඒකේ එක එක අය අදහස් පළ කරන්නේ ඒ ඒ අයගේ වචන වලින්. හැබැයි අපේ අදහස පරස්පර නෑ. ඒ හැර කිසිම වෙනස්කමක් නෑ. ජාතික ජන බලවේගය කියන්නේ අපි හැමෝම එකඟ වුණු පොදු වැඩපිළිවෙළක්. ඒ පොදු වැඩපිළිවෙළට පිටින් එක එක අයගේ පෞද්ගලික ස්වභාවයන් තියෙනවා. ඒක නරක දෙයක් නෙමේ. ඒක හොඳයි. මගෙන් ආදරය ගැන ඇහුවොත් මම එකක් කියයි, තව කෙනෙක් තව එකක් කියයි. හැබැයි මගේ දේශපාලන ප්‍රතිපත්තිය ඇහුවොත් එකක් කියයි.

ආණ්ඩුව ඡන්දය කල් දාන්න යනවා කියලා චෝදනා තියෙනවා. එහෙම කල් දාන්න හැකියාවක් තියෙනවද?

ඡන්දය කල් දාන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයකින් විතරයි. ඔය දෙකම දැන් බෑ. ජනමත විචාරණයක් දිනාගන්න පුළුවන් කියන්නේ ආණ්ඩුවට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියන එකනේ. ඒකට ඉදිරිපත් වෙලා දිනාගන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ කිව්වනේ ව්‍යවස්ථානුකූලව මේ වසරේ ඡන්දය තියන්න ඕනෑ කියලා. ඒත් එතුමා කියන්න ඕනෑ ඒක නෙමේ. නොවැම්බර් මාසයේ 17 වැනිදායින් පස්සේ අලුත් ජනවරමක් නැතුව දවසක්වත් ඉන්නේ නෑ කියලා. ඡන්දය කොහොමත් තියෙනවා. ඒක එයා කියන්න ඕනෑ නෑ.

ඔබලා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් මොකද කරන ඉස්සෙල්ලම වැඩේ?

ජයග්‍රහණය කරනවා. කළාට පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවලා තුනෙන් දෙකක් ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වෙන මොකටවත් නෙමේ, අලුත් ව්‍යාවස්ථාවක් ගේන්න ඕනෑ. මොකද මේ වර්තමාන ව්‍යවස්ථාව තියෙන්නේ ජනතාවට නෙමේ, පාලකයට වාසි වෙන්න. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා තුනෙන් දෙකෙන් සම්මත කරගෙන, ජනමත විචාරණයකට යනවා. ඒ සඳහා අදාළ පියවර කඩිනමින් ගන්නවා. ඒ එක්කම රටේ ජනතාවට සහන දෙන ඉක්මන් වැඩපිළිවෙළකුත් ගේනවා.