2024 ජුලි 20 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය සහ ආරක්ෂාව

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

ක්ලබ් වසන්තගේ ඝාතනයත් එක්ක දේශපාලන කරළිය ද උණුසුම් විය. ඒකට හේතුව ඝාතනය වූ වසන්ත මෙරට බොහොමයක් දේශපාලන නායකයන්, මැති ඇමැතින් පමණක් නොව පොලිසියේ හිටපු ඇතැම් ලොක්කන් එක්ක සමීප සබඳකම් පවත්වා තිබීම නොවේ. ක්ලබ් වසන්ත හිටපු ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් සමඟ පමණක් නොව මෙරට ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් සමඟත් එකට හිඳිමින් ගනු ලැබූ ඡායාරෑප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. හැබැයි දේශපාලන කරළිය උණුසුම් වීමට මේ සබඳකම්වල බලපෑමක් නොතිබිණි. නමුත් ඔහු මරා දැමීමේ සැලැස්ම ක්‍රියාත්මක වූ ආකාරයත් ඒ ඝාතනයට මෙරටින් පැනගොස් පාතාලයේ ගෝඩ් ෆාදර්ලා වී සිටින සමහරුන් සම්බන්ධ බව කීමත් හේතුවෙන් දේශපාලනයට උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අවධානය යොමුවීමෙන් කරළියේ උණුසුම ඉහළ ගියේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කාලය එළැඹීමත් සමඟ සිදුවූ මේ ඝාතනයෙන් ඒ ඒ අපේක්ෂකයාට සහාය දක්වන පිරිස් තමන්ගේ නායකයාගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට චෝදනා කරන්නට වූහ. ජාතික ජන බලවේගයට සම්බන්ධ භික්ෂු සංවිධානයක් අනුර කුමාර දිසානායකගේ ජීවිතය අවදානමකට වැටිය හැකි බව පවසමින් ඔහුගේ ආරක්ෂාව වහාම වැඩි කරන ලෙස ඉල්ලා හඬක් නැගූහ. ඒ එක්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයටද තර්ජන එල්ල විය හැකි බව පවසමින් ඔහුගේ ආරක්ෂාවද ඉහළ දමන ලෙසට සජබ ප්‍රධානීන් කතානායක මහින්ද යාපාට දැනුම් දීමක්ද කර තිබිණි. ඒ පිළිබඳ නිසි ලෙස තක්සේරුවක් කිරීමෙන් පසුව ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි කතානායකවරයාගේ ප්‍රකාශයක සඳහන් විය.

නිසැකවම ජනාධිපතිවරණ අපේක්ෂකවරුන් කවුදැයි ප්‍රකාශයට පත්වූ වහාම ඒ සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වනු ඇත. නමුත් ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන්ට වැඩි වගකීමක් තිබෙන බව පැහැදිලිය.

මේ රටේ ජනාධිපතිවරණ ඡන්ද ඉතිහාසය තුළ අවස්ථා කිහිපයකදීම අපේක්ෂකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් ඝාතනය කෙරුණු සහ ඝාතන උත්සාහයන්ගෙන් ගැලවුණු අවස්ථා කිහිපයක් තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට රත්නපුරදී එල්ල වූ ගල් ප්‍රහාරය හැර අනෙක් අවස්ථාවන් සියල්ල බැර වුණේ එල්.ටී.ටී.ඊ. ගිණුමටය. ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, විජය කුමාරතුංග, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වෛද්‍ය ගාමිණී විජේසේකර එසේ මරා දමනු ලැබූ මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අතර වෙති. ජේ.ආර්. ජයවර්ධන ද පාර්ලිමේන්තුවේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ ඔහු අසුන්ගෙන සිටි මේසය මතට පතිත වූ අත් බෝම්බයක් ඈතට විසි වී පුපුරා යාම හේතුවෙනි. එහිදී කීර්ති අබේවික්‍රම අමාත්‍යවරයා මියගොස් රොනී ද මෙල් සහ ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබූ බවත් වාර්තා විය. එය මැතිවරණයට සම්බන්ධ නොවුවද ඍජුවම දේශපාලන නායකත්වයට එල්ල කරමින් සිදුවූ ප්‍රහාරයක් බවට වූ සියලු ලක්ෂණ එහි තිබිණි.

යුද්ධය හේතුවෙන් ඒ කාලයේ සිදුවූ සියලු ඝාතන සහ ඝාතන තැත් කිරීම් කොටින්ගේ ගිණුමේ සැඟවී ගියේය. දැන් යුද්ධයක් නැත. එහෙත් දේශපාලන නායකයන්ට එල්ල විය හැකි ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිරන්තර සැලකිල්ලෙන් සිටී. ආරක්ෂාවේ තිබෙන හිඩැස් සම්බන්ධයෙන් රට අලුත් මාවතකට කැඳවාගෙන යාමට පාස්කු ප්‍රහාරය ද හේතු විය. එහි පිටත අරමුණු සහ යටි පෙළේ අරමුණු පිළිබඳ විවිධ කථිකා ඇතිවුණත් ඒ පිළිබඳ තවමත් ස්ථිර නිගමනයකට එළඹී නැත. නමුත් පැහැදිලිවම පෙනෙන එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ කතෝලික පල්ලියත් මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවත් අතර ප්‍රබල විරසකයක් නිර්මාණය වීමය. එයට විසඳුමක් ලැබීම දිනෙන් දිනම කල් යමින් තිබෙන අතර මීළඟ ජනාධිපතිවරණය එහිදී ඉතාම තීරණාත්මක විය හැකි බවට ද සැකයක් නැත.

මේ අල්ල පනල්ලේ ඇමෙරිකාවේ සිදුවූ ට්‍රම්ප්ට වෙඩි තැබීමේ කම්පනය ද ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් රත්වී තිබෙන දේශපාලන කරළියට තදින්ම දැනුණේය. ඒ තරම් ආරක්ෂාවක් තිබෙන ඇමෙරිකාව වැනි රටක අවුරුදු 20 ක කොල්ලකු අතට ස්නයිපර් තුවක්කුවක් ලැබී තිබීමත් රහස්‍ය සේවා ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන සිටියදීත් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ප්‍රම්ප්ගේ කනට වෙඩි තැබීමට හැකියාවක් ලැබීමත් ඕනෑම රටක ආරක්ෂක අංශ තිගැස්සීමට හේතුවන බව නොරහසකි. දැනට ලංකාවේ පාතාලය අතේ නැත්තේ ස්නයිපර් තුවක්කු පමණි. එහෙම නැතුවත් මහ දවාලේ විශාල ජනකායක් ගැවසෙන මංසන්ධියක ඇති ගොඩනැගිල්ලක උඩුමහලට කඩා වැදී හරියටම තමන්ගේ ටාගට් එකට යා හැකි තරමට ආරක්ෂක තත්ත්වය පිරිහී ඇත්නම් ස්නයිපර් තුවක්කු පාතාලය අතට ගියොත් විය හැකි විනාශය තක්සේරු කර ගැනීමටත් අපහසු වනු ඇත.

මේ පසුබිමේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුර සැලකීමක් දැක්විය යුතු බවට මතු කෙරෙන අදහස් අවතක්සේරු කළ යුතු නැත. එසේම ලබා දෙන ආරක්ෂක උපදෙස් එලෙසම පිළිපැදීමටද සියලු අපේක්ෂකයන් වග බලාගත යුතුය. මේ සියලු අපේක්ෂකයන්ගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව සමඟ එකට බැඳී පවතින බව ආරක්ෂක ප්‍රධානීන් දැන සිටීම ද අවශ්‍යය.

ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයකදී පූර්ව මැතිවරණ සමය තුළ භීෂණය පැතිරවීම බොහොමයක් ආසියානු රටවල දැකිය හැක. එය අපේ රටටත් පොදු කාරණවකි. එකී භීෂණ සහ ප්‍රචණ්ඩකාරී පරිසරයක් මැවීමට බොහෝ විට ක්‍රියා කරන්නේ බලය අතැතිව සිටින ආණ්ඩු පක්ෂය බව ඉතිහාසය පෙන්වා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය ආම්පන්න සියල්ලෙන් ආණ්ඩු පක්ෂ හෙංචයියන් සන්නද්ධය. ඒ තත්ත්වය මේ රටේ බලයේ සිටි සියලු දේශපාලන පක්ෂ මගින් පෝෂණය කොට පවත්වාගෙන යන්නක් බැවින් එකිනෙකාට දොස් පවරා ගැනීම්වලින් පලක් නැත.

මෙරට ඇතැම් දේශපාලන නායකයන් පාතාලය සුරතල් කළ බවට වන චෝදනා බොහොමයකි. ඇතැම් ආණ්ඩු නායකයන් පාතාලයන් ගේට්ටුවෙන් එළියේ තබා ඔවුන්ගෙන් වැඩ ගත් බවත් තවත් සමහර නායකයන් ඔවුන් දොරවල් ඇතුළටම අරගෙන ඔවුන්ගෙන් වැඩ ගත් බවත් මේ රටේ පාතාලය සහ දේශපාලනය සම්බන්ධ අතීතය පෙන්වා දී තිබේ.

මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයන් පසුපස යමින් විවිධ වරදාන ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ට සහාය දක්වන පිරිස් ද තමන් සමඟ යන එන්නේ කවුදැයි ගැන පැහැදිලි අවබෝධයක් තබාගත යුතුය. එසේම කුමන අපේක්ෂකයකුට සහාය දැක්වුවත්  සියලුම අපේක්ෂකයන්ගේ ආරක්ෂාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව බවට හැඟීමක් සියලු ඡන්දදායකයන් තුළම තිබීම අවශ්‍යය. ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැවසෙන්නේ ජනතාව අතරය. මේ ජනතාව අතර විවිධාකාර අරමුණු ඉටුකර ගැනීමට පැමිණෙන පාතාලයන් ද සිටිය හැක. යමක් සිදුවීමෙන් පසුව ඒ ගැන කම්පා වෙනවාට වඩා සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ජීවිතාරක්ෂාව වැදගත් වන බවට හැඟීමක් හැම ඡන්දදායකයා තුළම තිබීමේ වැදගත්කම එයයි.

- ශශින්ද්‍ර