2024 ජුලි 27 වන සෙනසුරාදා

මේ රටේ ජනතාවගේ ජීවිත බේරුවේ රනිල් ජනාධිපතිතුමයි

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

එක්සත් ජාතික පක්ෂය - නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  • කියන්න දෙයක් නැති නිසා විපක්ෂය දැන් විහිළු කතා කියනවා
  • අපේ උත්සාහය රටේ තරුණ පෙළට හොඳ අනාගතයක් හදන එකයි
  • අපේ රට ගැන අද ජාත්‍යන්තරයට හොඳ විශ්වාසයක් තිබෙනවා

ජනාධිපතිවරණයට මේ වෙද්දි දින නියමවෙලා තියෙන්නේ. මොන වගේ සූදානමක්ද එජාපයේ තියෙන්නේ?

ජනාධිපතිවරණයට අපි හොඳටම සූදානම්. පක්ෂයක් හැටියට බිම් මට්ටමේ වැඩ කටයුතු ඉතාම සාර්ථක විදිහට සිද්ධ කරලා තියෙන්නේ. ආසන මට්ටමින් කලාප සංවිධායකවරු පවා පත් කරලා තියෙන්නේ. අපි ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඉන්නේ. අපි හිතනවා ජයග්‍රහණය කරයි කියලා.

විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න විවිධ උප්පරවැට්ටි දානවා කියලා?

ඇත්තටම විපක්ෂයට කියන්න දෙයක් නෑ. ජනාධිපතිතුමා බාරගත්තේ විශාල අභියෝගයක්. ඔය කෑගහන කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. ඒ වෙලාවේ රටේ ආර්ථිකය වැටිලා තිබුණේ. අන්න ඒ මොහොතේ බය නැතුව එතුමා අභියෝගය බාරගත්තා. එහෙම බාරගත්ත කෙනාට මේ මැතිවරණවලට බයයි කියන්නේ විහිළුවක්. දැන් විපක්ෂයට කියන්න දේවල් නෑ. මේ වගේ දේවල් අල්ලන් මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරන්න යන්නේ. හැබැයි ජනතාව දන්නවා ජනාධිපතිතුමා රටට කරපු වෙනස. අනික එතුමා ව්‍යවස්ථාවට ගරු කරන කෙනෙක්.

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ පොහොට්ටුව. ඒත් පොහොට්ටුව තාම නිල වශයෙන් වැඩේට හා කියලා නෑ?

පොහොට්ටුවේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න ඕනෑ කියන තැන ඉන්නවා. ඒ වගේම පොහොට්ටුවේ බිම් මට්ටමේ ජනතාවත් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දක්වන්න ඕනෑ කියලා. මොකද ජනතාවගේ ජීවිතේ බේරුවේ ජනාධිපතිතුමා කියලා. ඒක පක්ෂයේ ඉහළ අයත් දන්නවා. ඒක එහෙම නොවුණොත් පොහොට්ටුව කැඩෙන්න පුළුවන්. අනික විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු පවා කියනවා රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි කරන්න පුළුවන් කියලා. ඒක දැන් හැමෝගෙම මතය.

ජනාධිපතිවරයාගේ ආර්ථික සැලැස්ම ගැන බොහෝ විවේචන තියෙනවා. මෙවර මැතිවරණයේදී මීට වඩා වෙනස් ආර්ථික සැලැස්මක් රට වෙනුවෙන් ඉදිරිපත් කරනවද?

නෑ. මේ සැලැස්මම තමා. අපි දන්නවා සමහර තීන්දු තිරණ ගන්න ඕනෑ හරි වෙලාවට. ජනතාවට අමාරුයි තමයි. ඒත් එහෙම තීරණ ගන්නේ නැතුව රට කරන්න අමාරුයි. රටකට ආර්ථික සැලැස්මක් ඕනෑ. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරද්දි අසීරුතා ඇතිවෙනවා. ඒක පිළිගන්නවා. ඒත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ රටත් බේරගෙන ණයත් ගෙවලා හරි සැලැස්මකට යන ගමනක්. හැබැයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ වෙද්දි. රට බංකොලොත් වෙලත් ජනතාවට සහන දුන්නා එතුමා. ඒ මොහොතෙත් දුන්නා කියන්නේ රට නිවැරදි වෙනකොට මීට වඩා සහන දෙන්න පුළුවන්.

ඒත් විපක්ෂයට ආර්ථික සැලැස්මක් තියෙනවා කියනවනේ?

එහෙම සැලැස්මක් නෑ. අපිට කතා කරද්දී තේරෙනවා. ඒවා වචන විතරයි. කොහොම වුණත් ඒ අය අභියෝගය දුන්න වෙලේ ආවෙ නෑ. මග ඇරියා. එහෙම කරපු අයට සැලැස්මක් කොහෙද? රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආර්ථික සැලැස්ම තවදුරටත් ඉදිරියට අරන් ගියොත් ලොකු වෙනසක් ඉදිරියේදි රටේ වෙනවා. මීට වඩා සහන දෙන්න පුළුවන් ජනතාවට.

අයි.එම්.එෆ් එකේ ණයෙන් පමණක් රට ඉදිරියේදි පාලනය කරන්නද යන්නේ?

නෑ. අපි ආයෝජනයත් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලොකු වාසියක් අපේ රටට සිද්ධ වුණා. ඒ නිසයි යම් ආර්ථික ස්ථාවරභාවයක් ආවේ. ඒ නිසා අනෙක් රටවල් අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ආයෝජකයෝ රටට එමින් ඉන්නේ. රටේ ආයෝජනය කිරීම ඇතුළේ තමයි අපේ රටේ ආර්ථිකය ස්ථිර වෙන්නේ. විශේෂයෙන් තරුණයන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ ගන්නේ.

විපක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය කළ යුතුයි කියලා?

විපක්ෂය රට ගැන හිතන්න ඕනෑ. ඒ අය ඉන්නේ බල අරගලයක. ඒක සාධාරණයි. ඒත් ප්‍රශ්නය දැනගෙන එකම වේදිකාවට ඇවිල්ල ජනාධිපතිවරයාට සහය දක්වන්න ඕනෑ. අන්න එහෙම වුණොත් තමයි ජනතාව බලාපොරොත්තු වෙන දේවල් දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිවුණොත් තමයි රට මීට අවුරුදු දෙකක් හිටිය තැනට නැවත යන්නේ.

ඔබ ගම්පහෙන් ඡන්දය ඉල්ලලා නැවත කොළඹ එනවා කියලා කතාවක් තිබුණා?

නෑ එක වැරදියි. මම ගම්පහ මිනිස්සු එක්ක ඉන්නේ. ඒ නිසා නැවත මම ගම්පහ දේශපාලනය කරනවා. මොකද මාව පළාත් සභාවට, පර්ලිමේන්තුවට යැව්වේ ගම්පහ මිනිස්සු. ඉතින් ඒ නිසා මම ගම්පහ දේශපාලනය කරනවා.

• ගයාන් ගාල්ලගේ

 

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00