2024 ජුලි 27 වන සෙනසුරාදා

මේ ආණ්ඩුව අධිකරණය ඉදිරියේ හෑල්ලු වෙලා ඉවරයි

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය - මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර

  • රටම දන්නවා ඊළඟ ජනාධිපති සජිත් කියලා
  • රනිල් මහත්තයා ෆීල්ඩ් මාර්ෂල් තනතුර පඹයෙක් ගාණට දාලා
  • අනුර කුමාර පෙට්ටි කඩයක්වත් කරන්න සුදුසු නෑ

මේ වෙද්දි ජනාධිපතිවරණය කැඳවලා තියෙන්නේ. කොහොමද සජබයේ සූදානම?

ඇත්තටම මැතිවරණයට අපි සූදානම් වුණේ අද ඊයේ නෙමේ. අපේ විපක්ෂ නායකතුමා වැඩ කරන නායකයා හැරියට අභිෂේක ලබලා ඉවරයි. ඔහු කයිය ගහන, බොරු කරන, හොරකම් කරන නායකයෙක් නෙමේ. විපක්ෂ නායකවරයා විතරයි වැඩක් කරන නායකයෙක්ට ඉන්නේ. මේ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන එක ගැන අපිට කිසිම සැකයක් නෑ. අනිත් අයට තියෙන්නේ දෙවැනියා වෙන්න ෆුල් ට්‍රයි එකක් දෙන්න ට්‍රයි කරන එක විතරයි. මොකද රටම දන්නවා ඊළඟ ජනපති සජිත් ප්‍රේමදාස කියලා.

ගිය පාර ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 55 යි ඔබලගේ. හැබැයි මේ පාර යූ.ඇන්.පී නායකයා වෙනම ඉල්ලන්නේ. ඔය ලක්ෂ 55 රැකගන්න පුළුවන් වෙයිද?

එජාපයේ ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයෙදී දැනගන්න පුළුවන් වුණා. අද එතුමා පොහොට්ටුව එක්ක ඉන්නේ. ඒකත් දෙකට මැද්දෙන් කැඩිලා තියෙන්නේ. ඒ නිසා පොහොට්ටුවෙන් එන්නේ කී දෙනාද? එතුමා ඒ පිරිස එක්ක තමා ඡන්දය කරන්න යන්නේ. ඒත් අපි ඉන්නේ ලක්ෂ 70කට එහා ප්‍රමාණයක. ඒ නිසා අපි බලමු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ ලක්ෂ 15 ද 20 ද කියලා.

ඔබේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා වෙනම ඡන්දය ඉල්ලනවා. ඔබලගේ වැඩක්ද මේක?

රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර පඹයෙක් ගාණට දාපු වැඩක් හැටියටයි මට පේන්නේ. එතුමට ඡන්ද පදනමක් තියෙනවද නැද්ද කියන එක අපි දන්නවා. පක්ෂයක නායකයෙක් වෙලත් හිටියනේ. ඒ නිසා එතුමගේ තත්ත්වය සහ ආනිසංස අපි දන්නවා. එතුමා කරන වැඩෙන් එතුමගේ ගෞරවනීය රණවිරු ගෞරවය පවා නැති වෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බෑ කියලා. ඒක මැතිවරණයකට බලපායිද?

මේ ආණ්ඩුව කොහොමත් අධිකරණය ඉදිරියේ හෑල්ලු වෙලා ඉවරයි. අධිකරණයට කරපු අපහාස අපවාද රටේ මිනිස්සු දැක්කා. ඔය දැන් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකිරීම හරහා වෙන්නෙත් ඒ දේම තමා.
පොලිස්පති කෙනෙක් නැතුව කොහොමද කටයුතු කරන්නේ?

එතුමට පුළුවන් මොකක්ද කරන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුමක් ගන්න.

ජාතික ජන බලවේගය මේ වෙද්දී ඔබලා එක්ක කරට කර සටනේ. කොහොමද සටන?

ඇත්තටම ඒක ජාතික ජන බලවේගය නෙමේ. ඒක ජනතා විමුක්ති පෙරමුණ. ඒ අය රට හදන විදිහ, හදන්න පුළුවන්ද යන්න පහුගිය කාලේ පෙන්නුවා. සුනිල් හඳුන්නෙත්ති, ලාල් කාන්ත මොනවද කිව්වේ කියලා අපි දන්නවා. අනුර කුමාර රටේ ජනාධිපතිකම නෙමේ, පෙට්ටි කඩයක් කරන්නවත් සුදුසු නෑ. වෛරය ක්‍රෝධය පදනම් වෙච්ච පිරිස ඡන්දය දෙයි. ඒත් ඒක සීයට 500 කින් වැඩි වුණත් ලක්ෂ 15 යි වෙන්නේ.

ඔබේ පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට යන්න ඉන්නවා නේද?

ඔය යනවා කියන එක අවලංගු සමාජ ගතවුණු බොරුවක්. යනවා කියන කවුරුත් ඒ කාලේ ගියේ නෑ. යන අය නෙමේ, කවුද එන්නේ කියලා ලබන 8 වැනිදා සමගි ජනබල සන්ධානයෙන් බලාගන්න පුළුවන් වෙයි.

එදාට ප්‍රතිපත්ති ප්‍රකාශනත් එළියට දානවද?

නෑ, එදාට වෙන්නේ අපි සන්ධානගත වෙන එක. ඊට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දානවා.

ඔබලගේ නායකත්වය ජනාධිපතිවරණයට පෙර ජාතික සමුළුවක් කැඳවනවද?

එහෙම විශේෂ සමුළුවක් කැඳවන්නේ නෑ. කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කරලා ඉවරයි. ඒ අනුව 8 වැනිදා ප්‍රකාශයට පත් කරනවා.

• ගයාන් ගාල්ලගේ