2024 ජුලි 27 වන සෙනසුරාදා

මැතිවරණ නීතියට ගරු කරමු

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

දැන් ආරම්භ වී ඇත්තේ සංක්‍රාන්ති සමයකි. ජනාධිපතිවරණය (2024) මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීම එම කාලසීමාවට කාලසටහන සකස් කරනු ඇත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් අලුත් අවුරුද්දේ ආරම්භය සටහන් කරන්නා සේ වත්මන් ජනාධිපතිවරයාගෙන් පසුව නව ජනාධිපතිවරයා තෝරාගන්නා අවස්ථාව දක්වා රටේ පවතිනු ඇත්තේ පරිපාලනමය වශයෙන් නොනගතයකි. රටේ සාමාන්‍ය නීතිය මැතිවරණ නීතියට යටත් වීමෙන් එම තත්ත්වය උදා වෙයි.

සාමාන්‍යයෙන් නොනගතයකදී ජනතාවගේ පැවැත්ම පිළිබඳ නියමයන්ද පවතී. සාමාන්‍ය රාජකාරි කටයුතුවලින් බැහැරව දැහැමි ආකාරයෙන් එම කාලය කළ යුතු බව සඳහන් වෙයි. නමුත් මැතිවරණයකදී උදා වන “නොනගතය” තුළ සිදු නොවන්නේම එම කාර්යයයි. දැහැමි ආකාරයෙන් කටයුතු කිරීම කෙසේ වෙතත් ආවේගශීලී හැසිරීම් ඇතැම්විට ප්‍රචණ්ඩත්වය දක්වා ඇදී යන තත්ත්වයක් පවා ඇතිවීමට තිබෙන ඉඩකඩ ඉතා පුළුල්ය. එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීම මැතිවරණ කොමිසමට පමණක් සිදු කළ නොහැක. ඒ සඳහා දේශපාලන නායකයන්ගේත් ඔවුන්ගේ ආධාරකරුවන්ගේත් සහාය අවශ්‍යය. අති බහුතරය වන සාමාන්‍ය ජනතාව මේ ආවේගශීලී හැසිරීම්වලින් ඈත්ව සිටින බවද සඳහන් කළ යුතුය.

මෙහිදී ජනාධිපතිවරණයට සම්බන්ධ වන සියලු දෙනා මැතිවරණ නීතිරීතිවලට ගරු කළ යුතු වීම ප්‍රධානම සාධකයයි. එම ආදර්ශය ඉහළින්ම නොපැමිණෙන්නේ නම් ඔවුන්ගේ ගෝලබාලයන් කිසිසේත් නීතිවලට ගරු කරන්නේ නැත. 2015 දී පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට පවා ගල් ප්‍රහාර එල්ල වීමත් එක් ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීමත් මේ සඳහා හොඳම උදාහරණයකි. 2019 දී පැවැති ජනාධිපතිවරණයේදී එවැනි ක්‍රියා සිදු නොවුණු තරම්ය. නමුත් එම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස 06 කට පෙර එල්ල කෙරුණු පාස්කු ප්‍රහාරයේ බලපෑම එම ජනාධිපතිවරණයේ “නොනගත” කාලසීමාව පුරාම විහිදී පැතිරී තිබිණි. ජනාධිපතිවරණයෙන් පසුව එළඹුණු කාලසීමාව ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ බවද මෙහිදී සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එළඹෙන පූර්ව මැතිවරණ සමය තුළදී ආණ්ඩුවට එල්ලවෙන ප්‍රධානම චෝදනාවක් වන්නේ ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රාජ්‍ය සම්පත් සහ අරමුදල් බහුලව යොදා ගැනීමත් ආණ්ඩුවේ වියදමෙන් විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්ය. මේ චෝදනාවෙන් ගැලවීමට මෙතෙක් බලයට පත් කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නැත. මෙතෙක් බලයේ සිටි සෑම ආණ්ඩුවකටම එරෙහිව මේ චෝදනාව එල්ල විය. විපක්ෂයේ සිටියදී එවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගිරිය කඩාගෙන බෙරිහන් දෙන සියලු දේශපාලනඥයන් ඔවුන් බලයට පත්වූ විට එම ක්‍රමයම අනුගමනය කිරීම සුලබ සිද්ධියකි. මෙය අපේ රටේ මැතිවරණ සංස්කෘතියට ආවේණික දුර්වලතාවක් බව පෙන්වා දිය යුතුය. මැතිවරණ කොමිසමත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් මේ තත්ත්වය පාලනය කිරීමට කොතරම් උත්සාහ දැරුවත් ඒ හැම උත්සාහයක්ම අතරින් රිංගා යාමට මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක්ම කටයුතු කළ බව යථාර්ථයයි.
මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම මේ තත්ත්වය දැකිය හැකි විය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බවය. එම වැඩසටහන් අතර ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදා දීම් සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් තිබූ බවද සඳහන් කෙරිණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව කොමිසම ක්‍රියාත්මක වන බවද සභාපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මැතිවරණයක සැබෑ අයිතිකරුවන් වන්නේ ඡන්ද දායකයා මිස ඡන්ද අපේක්ෂකයා නොවන බව සියලු දෙනා තේරුම් ගැනීම අවශ්‍යය. තමන් සියලු දේ කරන්නේ ඡන්ද දායකයාගේ සුබසිද්ධිය වෙනුවෙන් බව මේ සියලු අපේක්ෂකයෝ කියති. එසේ නම් ඔවුන් සියලු දෙනා කළ යුත්තේ මැතිවරණ නීතියට ගරු කිරීම මිස ඒවා උල්ලංඝනය කිරීම නොවන බව පෙන්වා දිය යුතුය. මැතිවරණ නීති කඩකිරීම යනු ඡන්ද දායකයාගේ අයිතිය බලහත්කාරයෙන් උදුරා ගැනීමක් බව සියලු ජනාධිපතිවරණය අපේක්ෂකයන්ට සිහිපත් කර දීමට කැමැත්තෙමු.

 

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00