ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ලංකාවට ඉතිහාසයක් තිබේ. මේ බොහෝමයක් සංශෝධන රටේ අවශ්‍යතාව ඉදිරියට ගෙන සිදු කෙරුණු ඒවාට වඩා දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට විවිධ දේශපාලන පක්ෂ නායකයන් සිදු කළ ඒවාය. නායකයාගේ හීනවලට හරස් වෙන්න ගිහින් බෙල්ල කපා ගන්නවාට වඩා ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා ඉටුකර ගන්න ඉඩ දී තමන්ගේ වැඩක් බලා ගැනීම අපේ බොහෝමයක් දේශපාලකයන්ගේ හැටිය.
හැබැයි මේ කිසිම සංශෝධනයක් ජාතික මැතිවරණයක් කටේ තිබියදී ගෙන ආවේ නැත. එහෙම වෙන්න යන පළවෙනි වතාව 2024 බව පෙනෙන්නට තිබේ. 22 වැනි සංශෝධනය හැටියට ගෙන එන එයින් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කිරීමය. ‘සය අවුරුද්දක්’ වචනය වෙනුවට ‘පස් අවුරුද්දක්’ වශයෙන් වෙනස් කළ යුතු බව එම සංශෝධනයේ සඳහන් වෙයි.
ඒ සංශෝධනය මුලින්ම සාකච්ඡාවට එන්නේ කැබිනට් මණ්ඩල තීන්දුවක් හැටියටය. එය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අදහස් කරන බව ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශය පත්වෙන විට ඒකට බාධාවක් ආවෙත් ආණ්ඩුව ඇතුළෙන්මය. ඒ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගෙනි. නමුත් එයටත් කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහයක් තිබෙන බව සඳහන් කරමින් හැකි පළමු දිනයේම ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සලස්වන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට ලියුමකින් දන්වා තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසකි. එම ලියුමට අතුරලියේ රතන, රන්ජිත් මද්දුමබණ්ඩාර, පලනි දිගම්බරම්, මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අත්සන් තබා තිබුණි.
මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්පසුව තැබූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි. “22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ඒක ව්‍යවස්ථාවේ 122(3) උප වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. මෙවැනි සංශෝධනයක් සරල ක්‍රියාදාමයක් නොව සංකීර්ණ ක්‍රියාදාමයක්. ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මෙහෙම සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හේතුවෙන්” යැයි ද මහාචාර්යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද මේ සංශෝධනයට දැඩි විරෝධය දක්වන බවට අදහසක් පළ කළේය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ යෝජනාව කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණේත් අධිකරණ ඇමැති වශයෙන් ඒ මහතාමය. ඔහුගෙන් කළ විමසුමකදී ඔහු කියා තිබුණේ ජනාධිපතිවරණය අවසන් වනතුරු එම ගැසට් එක නිකුත් නොකරන බවය. “ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙනවා. එම බිය දුරු කිරීම සඳහා අදාළ කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.” යැයි ඔහු කියා තිබිණි.
හැබැයි අධිකරණ ඇමැතිගේ ඒ කතාවට පැය 24 ක්වත් ආයුෂ තිබුණේ නැත. රජයේ මුද්‍රණාලය එම ගැසට් එක මුද්‍රණය කළේය. නීතිපතිගේ අනුමැතිය ලැබීමෙන් පසුව එම ගැසට් නිවේදනය මුද්‍රණය කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මාධ්‍ය මගින් කළ විමසීමේදී ප්‍රකාශ කර තිබිණි.
එහෙම වුණායින් පස්සේ අධිකරණ ඇමැතිවරයා කියා තිබුණේ තමා ගැසට් එක නිකුත් නොකරන ලෙසට උපදෙස් දුන්නේ සද්භාවයෙන් බවයි. මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහයක් දරණ බවට භීතියක් ජනතාව අතර ඇතිවීමට ඉඩ තිබෙන හෙයින් එය වැළැක්වීමට තමන් ක්‍රියා කළ බව අමාත්‍යවරයා කියා තිබිණි. නමුත් මේ සංශෝධනය මැතිවරණයට කිසිම බාධාවක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබිණි.
එහෙත් අමාත්‍ය විජයදාස මහතාගේ මේ මැදිහත්වීම් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් අර්ථ දක්වන්නේ බොරු රඟපෑමක් හැටියටය. ඔහු ඊට දින කිහිපයකට පසුව තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශය මගින් එය පැහැදිලි වන බවත් එය තමන්ව ජනතාව ඉදිරියේ ‘මාකට්’ කර ගැනීමේ එක් පියවරක් බවත් ඔවුන්ගේ මතයයි.
ඒ කෙසේ වුණත් ජනාධිපතිවරයා මාධ්‍ය හිමිකරුවන් ඉදිරියේ ප්‍රකාශ කර තිබුණේ නිසි කාලයේදී ජනාධිපතිවරණය පවත්වන බවයි. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිවකුත් බියක් ඇතිකර නොගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. ව්‍යවස්ථාවේ වත්මන් ගැටලු සහගත තත්ත්වය ඇතිවුණේ 2015 වසරේ සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයේදී එම කටයුත්ත බාර වූ නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් අතපසුවීමකින් බවද කියූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවද සඳහන් කර තිබිණි. එදිනම ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට සහභාගි වී සිටි ජනාධිපතිවරයා එහිදී ද එම ප්‍රකාශය කළේය. එම අවස්ථාවට අධිකරණ අමාත්‍යවරයා ද සහභාගි වී සිටි අතර මේ දෙදෙනාම එහිදී ඉතා සුහදව කතා කරමින් සිටිනු දැකිය හැකි විය. කෙසේ වුවද නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපතිගේ කතාව ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් පළ කර තිබිණි.
මේ ව්‍යවස්ථා සංශෝධනයේ කතාබහ මැද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ ඉදිරි දිනවලදී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගන්නා දිනය නිශ්චිතවම ප්‍රකාශ කරන බවය. ඒ අනුව සිකුරාදා (26) එම ගැසට් එක කොමිසම ප්‍රකාශයට පත් කළේය. නාමයෝජනා අගෝස්තු 15 කැඳවා සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බව සඳහන් කෙරිණි. ආණ්ඩු පක්ෂ රැස්වීමේදීද (22 වැනිදා) ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවට මන්ත්‍රීවරුන් හමුවේ සහතිකයක් දුන් බවත් හෙළි විය.
එහෙම නම් ජනාධිපතිවරණයක් නොතබනු ඇති බවට රටේ මහජනතාව අතර භීතියක් එහෙමත් නැත්නම් සැකයක් තිබෙන්නේ ඇයි? ඒ ගැන එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හමුවේ ඔහුගේ දේශපාලන මිත්‍රයකු ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රමාද කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දෙන පිරිසක් සිටීම එයට හේතුවක් බවය. ඒ මතය නියෝජනය කරන පිරිස ජනාධිපතිට පෙන්වා දී ඇතැයි කියන්නේ ජනාධිපතිවරණය මේ වසරේ නොතබා ලබන වසරට කල් දමාගත හැකි නම් ඔහුට ජයග්‍රහණය කිරීමට තිබෙන අවස්ථාව ද ඉහළ යනු ඇති බවය. මේ අදහසම දරණ ජනාධිපතිට සහාය පළ කරන පොහොට්ටුවේ කිහිප දෙනකු ද සිටින බවත් ඔහු කියා තිබිණි.
එහෙත් මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී සිදු කළ යුතු වීමත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තුන්වරක්ම ඉතා පැහැදිලිව ලබා දී ඇති තීන්දු තුනකින් ඒ බව සනාථ කර තිබීමත් නිසා ලබන ඔක්තෝබර් 17 වැනිදා වන විට නව ජනාධිපතිවරයකු පත් වී සිටිය යුතු වෙයි. එහෙම නම් ජනාධිපතිවරණය කල් දමා ගැනීමට ඇත්තේ එකම අවස්ථාවකි. එය සිදු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණි.
එහෙම වුණත් ඒක පහසු වැඩක් නොවේ. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා උපයෝගී කර ගන්නවා නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක සම්මතයක් ලබාගෙන ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු වෙයි. මේ සංශෝධනය 26 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබිණි. ඉන්පසුව ලබන සැප්තැම්බර් 03 වැනිදා පනත සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් වාර්තා විය.
එහෙම සම්මත කර ගත්තත් ඒකෙන් ජනාධිපතිවරණයට බලපෑමක් වෙනවද? වැඩි දෙනා කියන්නේ එහෙම බලපෑමක් නොවන බවයි. වඩාත්ම වැදගත් වන්නේ මැතිවරණ කොමිසමත් ඒ අදහසේම සිටීමයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ 22 සංශෝධනයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි. එහෙම නම් ඇයි විපක්ෂයේ අය මේ තරම් සැකයක් භීතියක් මතු කරන්නේ? ඒක ගැන හරියටම අදහසක් ගන්න පසුගිය 14 වැනිදා උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු දීමට මහියංගණයට ගිය ජනාධිපති රනිල් එහිදී කරපු කතාවේ කොටසකට අවධානය යොමු කළ යුතුය.
“පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි. අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නොවේ. පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය කියන ස්ථාවරයේ මම සැමවිටම සිටිනවා.”
ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ අධිකරණය මගින් ලබාදෙන රාජ්‍ය පාලනය හා සම්බන්ධ නඩු තීන්දු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටත් තීන්දු ගන්න හැකියාවක් තිබෙනවා යන අදහසේ සිටිමිනි. නමුත් එහෙම අවස්ථාවක් උදා වුණොත් අධිකරණය සමඟ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර මත ගැටුම් ඇතිවීම වළක්වා ගත නොහැකි වනු ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වාරණ නියෝගය සම්බන්ධයෙන්ද කැබිනට්ටුව ගැඹුරින් අධ්‍යයනය කර තමන්ගේ මතය දක්වන බවට කළ ප්‍රකාශය ද ඒ හා සමඟම සිදුවීමකි.
22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මුලින්ම තීන්දුවක් ගත්තේ කැබිනට් මණ්ඩලයයි. කැබිනට් මණ්ඩලය මෙහෙම තීන්දු ගන්න කොට ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව අතර සැකයක් භීතියක් පහළ වීම ගැන පුදුම විය යුතු නැත. ජනතාව අතර පමණක් නොව විරුද්ධ පක්ෂ, දේශපාලන පක්ෂ අතර ද එවැනිම සැකයක් පහළ වීම සාධාරණය. නමුත් මේ වෙලාවේ පාර්ලිමේන්තුව තුළ කිසිම ඒකමතික බවක් නොතිබීම නිසා ආණ්ඩුවේ උවමනාව හැටියට යෝජනාව තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමත් බරපතළ ගැටලුවක් විය හැකිය. නාමල් රාජපක්ෂ පසුගියදා සිදු කළ සැර ප්‍රකාශ දෙකම අනුව මෙහෙම යෝජනාවකට පොහොට්ටුවේ බහුතරයක සහාය ලබා ගැනීම නම් බොහොම අසීරු වන බව පැහැදිලිය.
එහෙත් දැන් කැබිනට්ටුවේ ඉන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පත්වූ අමාත්‍යවරුන් පමණක් නොවේ. අප කලින් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ මිතුරා දැන් ඉන්න කැබිනට් එක ගැන කියා තිබුණේ මෙහෙම කතාවකි.
“දැන් බලන්න මේ කැබිනට් එකේ ඉන්න කීයෙන් කී දෙනා ද ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන්නේ. නිමල් සිරිපාල ඇමැතිතුමා පටන් ගත්තේ ශ්‍රීලනිපයෙන්. හැබැයි හැම ආණ්ඩුවකම ඇමැතිවරයෙක් හැටියට හිටියා. යූඑන්පී එකෙත් හිටියා. සුසිල් ප්‍රේම්ජයන්ත, ශ්‍රීලනිපයෙන් පටන් ගත්තා. දැන් ඉන්නේ රනිල්ගේ කැබිනට් එකේ. පවිත්‍රා වන්නිආරච්චි කියන්නේ රනිල්ගේ පාලනය දැඩිව විවේචනය කරපු කෙනෙක්. අද ඉන්නේ රනිල්ගේ කැබිනට් එකේ. බන්දුල ගුණවර්ධන පටන් ගත්තෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන්. දැන් ආපහු රනිල්ගෙ කැබිනට් එකේ. විජයදාස රාජපක්ෂ පටන් ගත්තෙ යූ.එන්.පී එකෙන්. ඊළඟට පොහොට්ටුවේ, ආපහු යූ.එන්.පී. දැන් රනිල්ගෙ කැබිනට් එකේ. ප්‍රසන්න රණතුංග බඩ බැඳගෙන රාජපක්ෂලා එක්ක හිටියෙ. අද රනිල්ව ජනාධිපති කරන්න ගේම ඉල්ලන්නෙ රාජපක්ෂලාගෙන්. ඉතින් මෙහෙම ඇමැතිලා සෙට් එකක් 22 ගේන්න විතරක් නෙවෙයි, ජනාධිපතිවරණය කල් දාන්න කියලා ගේන යෝජනාවකට වුණත් අත උස්සන එකක් නැහැ කියල ද හිතන්නෙ. තමන්ගේ බලය රැකගන්න පුළුවන් නම් ආණ්ඩුව ගහන ඕනෑම ගේම් එකකට සපෝට් කරන්න, පිල් මාරු කරන්න සූදානම් පිරිසක් කැබිනට් එකේ ඉන්න කොට ජනාධිපතිවරණය කල් දාන්න බැරි නැහැ කියන භීතිකාවක් ඇතිවෙන එක අහන්නත් දෙයක්ද?”
මේ කතාවෙ ඇත්ත නැත්ත හරියටම බලාගන්න තව ටික දවසක් ඉවසා සිටිය යුතුය. ඒ කොහොම වුණත් ජනාධිපතිවරණය ගැන රටම බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවක ව්‍යවස්ථා ගේම් ගහන්න යන එක නම් මාරක ළිඳේ මෝටර් සයිකල් ධාවනයටත් වඩා අනතුරුදායක බව නම් කිව යුතුය.
ශෂීන්ද්‍ර