2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඔලු ගෙඩි මාරු වුණාට පාක්ෂිකයෝ මාරු වෙන්නෙ නෑ

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තිස්ස කුට්ටිආරච්චි

  • 92ක් ආවා කියන්නෙම එතැනම බලය ඉවරයි
  • බැසිල් මහත්තයා ඉන්දියාව එක්ක හදාගත්ත ඩොලර් බිලියන හතරෙන් තමයි අපි ගොඩ ගියේ
  • අපේ ගෙවල් ගිනි තියද්දි යූ.එන්.පී. එක හිටියේ අරගලය එක්කනේ

මම ඉස්සෙල්ලම අහන්නේ ඇයි ජනාධිපති ගාවට නොගියේ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හීනයක් වෙලා තිබුණ ජනාධිපතිකම ලබා දුන්නේ අපි පොහොට්ටුවේ බහුතරය එකතු වෙලා. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඒ වගේම පක්ෂයක් හැටියට අපි උපරිම සහාය දුන්නා, ආණ්ඩුව වට්ටන්නේ නැතුව ගෙනියන්න. ජනාධිපතිතුමාවත් ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන යන එක තමයි අපේ ගිවිසුම. ඒ ගිවිසුම ඉවරවෙලා අවුරුදු දෙකක් ගිහින් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න යද්දී පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන්න ඕනෑ කියලා නියමයක් නෑ. හැබැයි ඒත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රටත් පක්ෂයත් පාක්ෂිකයනුත් සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න බැරි වුණා. ඒ මොහොතේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අපේක්ෂකත්වය ගිලිහුණේ. මේ වෙද්දි හොඳම අපේක්ෂකයා ගැන අපි සාකච්ඡා මට්ටමේ ඉන්නේ.

ගිය අය නම් කියන්නේ පොහොට්ටුවේ අයට ගහලා, ගෙවල් ගිනි තිබ්බ වෙලේ පක්ෂයත් පාක්ෂිකයනුත් බේරගත්ත එකයි, රටේ ආර්ථිකය බේරගත්ත එකයි නිසා එතුමට සහාය දෙන්න ඕනෑ කියලා?

ගෙවල් ගිනි තිබ්බ නිසා බේරගත්ත එකයි, ආර්ථිකය කඩා වැටුණු එක ගොඩගත්ත නිසයි සහාය දෙන්න ඕනෑ කියලා හිතනවා නම් ඒ ගිය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ මොළේ ගැටලුවක්. ගෙවල් ගිනි තියද්දී යූ.එන්.පී එකේ අය හිටියේ අරගලය එක්කනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කට්ටියත් අරගල භූමියේ හිටියා. අනික මගේ ගෙදරට ගහන්න ආවේ එජාප නාගරික මන්ත්‍රීවරිය. ඒ නිසා අරගලයෙන් බේරගත්ත නිසා ගියා නම් ඒකට අපි එකඟ වෙන්නේ නෑ. අනික අරගලයෙන් ආවේ පොහොට්ටුවෙත් නැති රාජපක්ෂලා නොවන කෙනෙක්ට ජනාධිපති අගමැතිකම් දෙන්න කියලා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පත් කළේ. ආර්ථික ප්‍රශ්නය ගත්තම රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා සැලසුම් කරපු අයි.එම්.එෆ් එකේ පළවැනි සහ දෙවැනි ණය ගත්ත එක විතරයි. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාව එක්ක හදාගත්ත ඩොලර් බිලියන 4 න් තමයි තවම අපි කන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තය ගෙනාපු එක ඩොලර් එකක් කියන්න බලන්න. යහපාලන ආණ්ඩුවේදී ඩොලර් බිලියන 12.5 ණය අරගෙන කරපු දෙයක් තියෙන්න එපැයි. ඒ නිසා අපි එතුමගෙන් බලාපොරොත්තු වුණේ නෑ, අර්ථිකය හදන්න. අපි දන්නවා එතුමට ඒක බෑ කියලා.

මොකක්ද බලාපොරොත්තු වුණේ?

සමාජ, දේශපාලන ගින්නක් තිබුණා. ඒක නවත්තලා ආර්ථිකයේ තිබුණු පෝලිම් යුගය, අන්න ඒක බැලන්ස් කරගන්න තමයි එතුමව ගෙනාවේ. ඒකට බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ විශාල කණ්ඩායමක් සහාය වුණා. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකේ වටේ ගිහින් නායකයෝ හම්බවෙලා ඩොලර් බිලියන පහක්වත් හොයන් ඇවිල්ල මෙන්න මේ ආයෝජනය ගෙනාවා කිව්වා නම් කමක් නෑ. කිසිම දෙයක් කරලා නෑ. ඔක්කොම අපි කරපු දේවල් ඉස්සරහට අරන් ගියා. ඒක අවුරුදු පහක් බලයේ ඉන්න සුදුසුකමක් නෙමේ.

පොහොට්ටුවේ 92 ක් ජනාධිපති සරණ ගියා කිව්වා. ඒක ඇත්තද?

සම්පූර්ණයෙන් වැරදි අර්ථකථනයක්. එදා තිබුණේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම. ඕකේ පොහොට්ටුව විතරක් නෙමේ, පක්ෂ ගණනාවක් ඉන්නවා. එතකොට ඒ කණ්ඩායම් රැස්වීමට 92 ආවා කියන්නේ එතැනම බලය ඉවරයි. 113 බහුතර බලයක් නෑනේ ආණ්ඩුවට. පොහොට්ටුවේ 92 ක් ආවා කියලා කිව්ව කතාවට නම් අපි ලැජ්ජා වෙනවා.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම නම් ඇයි තිස්ස කුට්ටිආරච්චි නොගියේ?

මම දිගටම කණ්ඩායම් රැස්වීම්වලට සහභාගිවෙන කෙනෙක් නෙමේ. එදා තිබුණෙ අනවශ්‍ය කණ්ඩායම් රැස්වීමක්. ඊට සතියකට කලින් ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ කාමර බුක් කරලා කණ්ඩායම් රැස්වීම් තිබ්බා. මම ගියේ නෑ. එහෙම ගෙනල්ලා අත උස්සන්න අපි යන්නේ නෑ.

92 නැත්නම් ගාණ කීයද?

මම ගණන් කියන්නේ නෑ. සුළු පිරිසක් හිටියේ.

දැන් පොහොට්ටුවේ පාක්ෂිකයෝ අන්දමන්ද වෙලා ඇත්තේ කාටද දෙන්නේ කියලා?

පොහොට්ටුව ගොඩනැගුණේ පාක්ෂිකයා සහ දේශපාලන අධිකාරියත් එකතු වෙලා. දේශපාලන අධිකාරිය ගොඩනැගුණේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඉහළට. ඒ හැමෝටම එකම ශක්තිය වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හැමෝම ගොඩ ආවේ එතුමා නිසා. ඒ වුණාට ඔලුගෙඩි මාරු වුණාට පාක්ෂිකයෝ මාරු වෙන්නේ නෑ. ඒක මේ ඡන්දයෙදි පෙන්නනවා.

මම අහන්නේ නෑ පොහොට්ටු අපේක්ෂකයා කවුද කියලා. මොකද ඔබලා කියන්නේ නෑනේ?

නෑ. අපි හත්වැනිදා කියනවා.

නෑ මම අහන්නේ ඒ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් නෙමේ නේද?

රාජපක්ෂවරයකුගේ අවශ්‍යතාවය බිම් මට්ටමේ ඉඳලා තියෙනවා. හැබැයි අපි උත්සාහ කරනවා සහ කතා කරලා තියෙනවා රාජපක්ෂ නොවන කෙනෙක් දාන්න.

ඒ ඇයි?

මහින්ද රාජපක්ෂ මහත්තයට නැවත ඉල්ලන්න බෑ. ආයේ ඉල්ලනවා නම් ඉල්ලන්න ඉන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා ඕනෑම වෙලාවක ලෑස්තියි. හැබැයි පහුගිය කාලේ අරගල භූමියෙන් ආපු යෝජනා තියෙනවා. තව තව යෝජනා තියෙනවා. ආර්ථිකය ගැන තියෙනවා. අන්න ඒ හේතු නිසා ඊටත් වඩා සුදුස්සෙක් අපි හොයමින් ඉන්නවා. හැබැයි තවම රාජපක්ෂ කෙනෙක් නෑ කියලා තීරණය කරලා නෑ.

• ගයාන් ගාල්ලගේ