2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

මේ දවස්වල ගනුදෙනු වෙන්නේ ඩොලර් රුපියල්වලින්

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය හර්ෂණ රාජකරුණා

  • ජනතාවට සහන දෙන්න අපට වැඩපිළිවෙළක් තිබෙනවා
  • තුත්තිරි ගහෙත් එල්ලෙන්න හිටි අයට ඔක්සිජන් දීලා සූට් පවා මස්සලා
  • දිනන්න බැරි බව දැන දැන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක තේරුමක් නෑ

ජනාධිපතිවරණ සටන ආරම්භ වෙලා තියෙන්නේ. කොහොමද ලැබෙන ජනතා ප්‍රතිචාර?

ඉතාම උද්‍යෝගිමත් ජනතාවක් ඉන්නේ. ජනතාව විශ්වාස කරනවා මෙවර ජනපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා දිනයි කියලා. පහුගිය කාලය එක්ක බලද්දී අපිටත් සතුටින් මැතිවරණයක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ප්‍රධාන අපේක්ෂකයෝ ගණනාවක් තරගයට ඉදිරිපත් වන නිසා ගොඩක් අය කියන්නේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ගන්න බැරිවෙයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයට ඒ අවදානම තියෙනවද?

අපිට මේ වෙද්දී සමීක්ෂණ ප්‍රතිඵල අනුව 45% ක් ලැබිලා තියෙනවා. මම හිතනවා මැතිවරණය ළං වෙද්දී 50% ට එහා වැඩිපුර ප්‍රතිශතයකින් අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා.

වෙනත් අපේක්ෂකයෝ තරගයට එන එක අභියෝගයක් නෙමේද?

වෙනත් අපේක්ෂකයෝ ඡන්දයට එන එක අභියෝගයකට වඩා ඡන්ද කැඩෙන්න පුළුවන්. දිනන්න බෑ කියලා දැන දැන ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වෙන එක තේරුමක් නැති වැඩක්. මොළේ අමාරුවක්ද කියලත් හිතෙනවා.

ඔබලගේ පක්ෂයේ සභාපතිත් ඉල්ලනවා නේද?

අපේ පක්ෂයේ විතරක් නෙමේ, තව අය ඉල්ලනවා. ඒ අයටත් කියන්න තියෙන්නේ ඒක. බොරු වැඩක් කරන්නේ මේ, අපරාදේ.

අපි දන්නවා පොහොට්ටුවේ කණ්ඩායමක් ඉවත්වෙලා ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දක්වනවා කිව්වා. ඒ මේ රට ගොඩගන්න පුළුවන් නායකයා ඔහු නිසා?

අර කතාවට කියනවනේ, තුත්තිරි ගහේ එල්ලෙන්න ඉන්නේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමා වෙන්නේ. යන එන මං නැතුව හිටිය අයට ඔක්සිජන් දීලා සූට් මස්සලා ලෑස්ති කරනවා. මේ අය ජනතාව එළවපු අය. ඒ අය එක්කයි මේ බලය ගන්න එන්නේ. ඔලු ගෙඩි වලින් ජයග්‍රහණය පෙන්නුවට වැඩක් නෑ. ජනතාවයි තීරණය කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණොත් ප්‍රථමයෙන්ම මොකද කරන්නෙ?

සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කළොත් කැබිනට් මණ්ඩලය පත් කරලා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දයකට යන එක තමයි හොඳම දේ. මොකද මේ විකෘති පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් හරි පාර්ලිමේන්තුවක් හදාගන්න ඕනෑ.

ජනාධිපතිවරණයකුත් තියලා මහ මැතිවරණයක් තියන්න සල්ලි තියෙයිද?

ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ වගේ දෙයක් වෙනුවෙන් මුදල් වෙන් කි‍රීම වරදක් නෙමේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුදලක් වැය කරන්න ඕනෑ. ඒවා අනවශ්‍ය වියදම් නෙමේ.

ආණ්ඩුව කියන්නේ සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න බලාගෙන  ඉන්නවලු. එහෙම කණ්ඩයාමක් ඉන්නවද?

අපිට තව සතියක් යනකොට ඒක බලාගන්න පුළුවන්. කවුරු හරි එහෙම දෙයක් කළොත් දේශපාලනමය වශයෙන් සියදිවි හානිකර ගැනීමක්. රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් ගන්න නොකළේ මොනවද? ඉස්සෙල්ලම ඡන්දය නොතියා කල් දාන්න ගියා. අනික් පැත්තෙන් මන්ත්‍රීවරු බාගන්න විමධ්‍යගත අරමුදල් දුන්නා. සමහර අයට බාර් පර්මිට් දුන්නා. මේ දවස්වල ඩොලර්, රුපියල්වලින් ගනුදෙනු කරන්නේ. ඒවාට තමා ගොඩක් අය යටත් වෙන්නේ.

ඒ කියන්නේ ඔබේ පක්ෂයෙත් ඉන්නවද එහෙම අය?

නෑ නෑ.. මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඒ වගේ අය ඉන්නවනේ

හර්ෂණ රාජකරුණට කතා කරලා නැද්ද?

කතා කරලා තියෙනවා. ඒත් අපේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ. මට ඔය විමධ්‍යගත අරමුදල් ලබාදුන්නේ නෑ. මම දෙපැත්තෙ කකුල් තියාගෙන ඩීල් දාගෙන ඉන්න පුද්ගලයෙක් නෙමේ. ඉන්න තැන කෙළින් ඉන්නවා.

ප්‍රතිපාදන ලබාදුන්නේ නෑ කියන්නේ, දුන්න අය ඩීල්වලට ලබාගත්තේ?

නෑ නෑ.. මම කිව්වේ කිසිම ප්‍රතිපාදනයක් මට ලබා දීලා නෑ.

ජනතාව බලාපොරොත්තු වෙනවා අලුත් නායකයගෙන් සහන ලබාගන්න ගොඩක් ඉක්මනින්. ඔබලට එහෙම සහන දෙන්න හැකියාවක් තියෙනවද?

මෙහෙමයි. අපි ජනතාවට දෙන්න පුළුවන් හැම සහනයක්ම ලබා දෙනවා. අපි අයි.එම්.එෆ් එකත් එක්ක ගිය සතියෙත් සාකච්ඡා කළා. ඇතැම් කාරණා සම්බන්ධයෙන් අපි එකඟ නොවෙන කාරණා ගැන කතා කළා. ඒ සියල්ල එක්ක කතා කරලා අවසාන වශයෙන් තීරණයකට එනවා ජනතාවට සහන දෙන වැඩපිළිවෙළ ගැන.

ජාතික ජන බලවේගය කියන්නේ ඔබලට ආණ්ඩුවක් කරන්න බෑ, ඔබලා තනිකර ඩීල් කියලා අනෙක් පක්ෂ එක්ක. ඒක ඇත්තද?

අපේ කිසිම ඩීල් එකක් නෑ. එහෙනම් එතුමව ජනාධිපති කරනවනේ. නැත්නම් අගමැති කරනවනේ. ඒ කිසිම දෙයක් නැති අපිට රතු අලි පැටව් කිව්වේ නෑ එයාල.

• ගයාන් ගාල්ලගේ