2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

එදා රනිල්ට අද මහින්දට

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මීට පෙරත් ගෝඨාභය මහත්තයගෙ කාලෙ පිරිසක් ස්වාධීන වුණා. මෙතෙක් කල් කිව්වෙ රාජපක්ෂලා ඉන්න හින්දා දමිළ මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරයට උදව් කරන්නෙ නැහැ, සජබෙ මන්ත්‍රීවරු උදව් කරන්නේ නෑ කියලා. දැන් ජනාධිපතිතුමාට අපි කියන්නේ සජබෙට කතා කරලා මන්ත්‍රීවරුන් ගන්න, දෙමළ සන්ධානයට කතා කරලා රවුෆ් හකීම්ට බදුයුදීන්ට කතා කරලා ඒ අයගෙ සහාය ගන්න. මෙතෙක් කල් කිව්වේ වමේ සහ සිංහල බෞද්ධ පදනම නිසා ඒ අය එන්නෙ නැහැ කියලනෙ. දැන් ඒ අයට පුළුවන් අනෙක් කට්ටියත් එකතු කර ගන්න. ඉලක්කම් නම් අපිටත් පෙන්වන්න පුළුවන්. එහෙම කළොත් අපිත් ඒ අයගේ තත්ත්වයට වැටෙනවා. මැතිවරණය මෙහෙයවනකොට පුළුවන් බලන්න කවුද ඉන්නෙ කවුද නැත්තෙ කියලා.’’

මෙහෙම කතා කරන්නෙ කවුද? කියන්නේ කාටද? කියන එක එකවරම තේරුම් ගැනීමත් අපහසු විය හැක. එහෙත් එහෙම කතා කරන්නෙ නාමල් රාජපක්ෂයි. ඔහු කෙළින්ම නොකිව්වත් මේ කතාව කියන්නේ වත්මන් ජනාධිපති වගේම මෙවර ජනාධිපතිවරණයට ඉස් ඉස්සෙල්ලාම ඇප මුදල් තැන්පත් කර ජනාධිපති අපේක්ෂකයකු බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහටයි. බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය කළ විමසුමකදී නාමල් මෙසේ කියා තිබුණි. ඒ කතාවේ හොඳම හරිය කියැවුණේ ඊට පසුවය.

‘‘මේ රටේ දේශපාලකයන් ගැන තිබෙන වැරදි මතය සමහර දේශපාලකයන්ගේ හැසිරීමෙන් ජනතාවට තහවුරු වෙනවා. එහෙම බැලුවම අපිට ගහලා ගෙවලා ගිනි තියන එක සාධාරණයි. ඒ නිසා වෙන්න ඇති දෙසිය විසි පහම එපා කියන්නෙ.’’
නාමල් මෙහෙම කතා කරන්නේ දේශපාලන වශයෙන් පොහොට්ටුව මුහුණ දුන් දරුණුම අර්බුදයෙන් බැට කෑ වේදනාව හේතුවෙන් බව පැහැදිලිය. පොහොට්ටුව බිහිවීමෙන් පසුව ඇති වූ ලොකුම පසුබෑම වූ හිටපු ජනපති ගෝඨාභයට එරෙහිව ඇතිවූ ජන අරගලයත්, ඉන්පසුව ඔහු ධුරයෙන් ඉවත් වීමත් හේතු කොටගෙන වුණත් මෙහෙම අර්බුදයක් පක්ෂය ඇතුළේ හටගත්තේ නැත. ඒ අසීරුම අවස්ථාවෙත් පක්ෂය එකට සිටියේය. හැබැයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සියල්ල කණපිට හැරුණි.

දැන් පොහොට්ටුව තිබෙන්නේ පොහොට්ටුවක් හැටියට නොව පෙති හැලී ගිය නටුවක් වශයෙනි. වඩාත් බලවත් හැළුණු පෙතිද නටුවද යන්න බලා ගැනීමට තව ටික කාලයක් ගතවනු ඇත. කොහොම වුණත් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් පොහොට්ටුවේ වැඩිම පිරිසක් දැන් ඉන්නේ එම පක්ෂයේ පරම දේශපාලන හතුරා වූ යූ.එන්.පිය සමඟිනි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් බව ප්‍රකාශයට පත් කළත් ඔහුත් දේශපාලන ප්‍රතිපත්ති යූ.එන්.පී. ප්‍රතිපත්තිවලින් බැහැරව ගෙන යන බවක් ප්‍රකාශ කර නැත. අලුත් ලෝකයට අනුව මේ රටේ දේශපාලනයත් වෙනස් විය යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වරින් වර ප්‍රකාශ කළත් ඔහු යූ.එන්.පී. මූලික ප්‍රතිපත්තිවලින් ඉවත්වනු ඇති බවට කිසිම සහතිකයක් නැත. එහෙම බැලුවොත් පොහොට්ටුවෙන් ගැලවී ගිය මන්ත්‍රී පිරිස දැන් එකතු වී සිටින්නේ තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදී පක්ෂයත් ඒ ප්‍රතිපත්තිත් එක්කය.

මේ ගැන පැහැදිලිවම කිව්වේ ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කිරීමට යළිත් අවස්ථාව ලැබී සිටින දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයායි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කිව්වේ මෙහෙමයි.

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බිහිවුණේම රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල, ඒ කියන්නේ යූ.එන්.පී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකමුතුවට එරෙහිවයි. අද රනිල් වික්‍රමසිංහ ළඟට ගිහින් ඉන්න බහුතරයක් පොහොට්ටුවේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහව පට්ට ගහපු අය, බැංකු හොරා කියලා කෑ ගහපු අය. රනිල් වික්‍රමසිංහව හිරේ දානකම් මට නින්ද යන්නෙ නෑ කියපු මහින්දානන්දත් අද එතැන. මට හිතාගන්න බෑ ඒ අය එතැන ඉන්නෙ ඇඳුම් ඇඳගෙනද කියලා.’’

නාමල් සහ දයාසිරි දේශපාලනිකව දෙතැනක අද සිටියත් මේ කියන්නේ එකම කතාවයි. විවිධ වරදාන සහ තමන්ගේ දේශපාලන අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන මෙහෙම තමන්ගේ සහාය තමන්ගේ ප්‍රතිපත්තිවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති දරණ නායකයෙක් සමඟ එකතුවෙන එක මේ රටේ දේශපාලනය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර තිබේ. දයාසිරිත් අද මෙහෙම කිව්වත් ඔහුත් අවස්ථා ගණනකදී පක්ෂ මාරු කළ දේශපාලනඥයෙකි. නමුත් මෙවැනි අවස්ථාවලදී එලෙස සිටිමින් අසාධාරණ ක්‍රියාවලට එරෙහිව පක්ෂය ඇතුළේ සටන් කළ දේශපාලකයකු වුවත් දයාසිරි හැමදාමත් මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවටත් පළාත් සභාවලටත් තේරී පත්වූ දේශපාලනඥයෙකි. ඔහු පොහොට්ටුව සමඟ 2020 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට ලැබිය යුතු තනතුරු සම්බන්ධයෙන් බැසිල් සමඟ ලොකු මතභේදයක්ද ඇතිකර ගත්තේය. ඔහුට ශ්‍රීලනිපයෙන් කැපිල්ල ආවේත් ඔහුගේ මේ සටන්කාමී වැඩ හේතුවෙනි. ඒ කොහොම වුණත් දයාසිරි මේ වෙලාවේ පොහොට්ටුවේ බහුතරයක් සාමාජිකයන් ගැන කියූ කතාවේ ලොකු බරක් තිබේ.

එහෙම වුණත් නාමල්ලා අරගලය අවස්ථාවේ සිදු කළ ක්‍රියාවන් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අනුමත නොකරන බවද හෙළි වුණේ ඔවුන් පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ද පළ කිරීමෙන් පසුව සිදු කළ ප්‍රකාශ වලිනි. ඒ ඇතැම් මන්ත්‍රීවරුන් කෙළින්ම කියා තිබුණේ අරගලය අවස්ථාවේ පොහොට්ටුවේ ඇතැම් ලොක්කන්ගේ ක්‍රියා හේතුවෙන් තමන්ට ගුටි කෑමට සිදුවූ බවය. තමන්ගේ ගෙවල් දොරවල් අහිමි වූ බවය. ඒ කියූ කිසිදු මන්ත්‍රීවරයෙක් ඒ දවස්වල එහෙම කතාවක් කිව්වේ නැත. ඔවුන් දැන් මෙහෙම කියන්නේ තමන්ට පොහොට්ටුවේ තීන්දුවට පිටින් යාමට සිදුවීම සාධාරණ කිරීමට විය හැක. එසේම නාමල් කියූ ‘‘එහෙම බැලුවාම අපිට ගහලා ගෙවල් ගිනි තියපු එක හරි’’ කියන කතාව ඔවුන්ගේ කතාවලට දුන් පිළිතුරක් විය හැකිය. නමුත් කිසිම වෙලාවක මේ පීල්ල මාරු කළ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නාමල් පෞද්ගලිකව දොස් පැවරීමක් නොකිරීමද මෙහිදී කැපීපෙනෙන කරුණකි.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල කැඩීම් සහ පිල් මාරු කිරීම් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවන්නා සේ මෙය අවසාන අවස්ථාවද නොවනු ඇත. 2015 දීද මෙවැනිම සිද්ධියක් ඇතිවුණේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ අවස්ථාවේය. ඒ වෙලේ මෛත්‍රීපාල සමඟ ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස සන්ධානයෙන් එළියට බැස්ස කිහිප දෙනා හැර සෙසු වැඩි පිරිසක් දෙගිඩියාවෙන් යුතුව හෝ මහින්ද සමඟ රැඳී සිට ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එකටද සහාය දැක්වූහ. හැබැයි මහින්දගේ පරාජයත් සමඟ මන්ත්‍රීවරුන් පිරිසකට මහින්ද අතහැර රනිල් - මෛත්‍රී ඒකාබද්ධ ආණ්ඩුවට එකතු වීමට අවශ්‍ය විය. ඔවුන් මාධ්‍ය සාකච්ඡා පවත්වා තමන්ගේ අභිලාෂය ජනතාව ඉදිරියේ කියා පෑමට ගත් උත්සාහයකදී විජිත් විජිතමුණි සොයිසාගෙන් කියැවුණු ‘‘අප්පච්චි මළා’’ කතාව හේතුවෙන් මේ කණ්ඩායමට අප්පච්චි මළා කට්ටිය යනුවෙන් නමක්ද පට බැඳුණි. හැබැයි ඔවුන්ට ආණ්ඩුවෙන් කැඳවීම් ලැබුණු අතර ඒ රජයේ විවිධ තනතුරු ද ලැබිණි. නමුත් ඒ අවස්ථාවේත් රාජපක්ෂලා කවුරුවත් ඒ කඩාගෙන ගිය පිරිසට එකතු වුණේ නැත. ඒ වගේම මහින්දත් ඒ පිරිසට එරෙහිව කතා කරන්න ගියේත් නැත. දේශපාලනයේ හොඳට තෙම්පරාදු වී සිටි මහින්ද එක් කරුණක් කෙරේ විශ්වාසය තබා සිටියේය. ඒ එම පිරිසට යළිත් තමාගේ නායකත්වය අවශ්‍ය වෙන දවසක් එන බවය. එසේම තමන්ට ද ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරය වැදගත් වන දවසක් උදාවන බවය. ඒ දවස උදාවුණේ 2019 නොවැම්බරයේ ගෝඨාභය ජයගත් ජනාධිපතිවරණය පැවැත්වුණු දවසේය.

මේ ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය ඉක්මනින් තැබීමට කොවිඩ් වසංගතය හරස් විය. මේ නිසා මහ මැතිවරණය පැවැත්වුණේ 2020 අගෝස්තු මාසයේදීය. ඒ මහ මැතිවරණයෙන් යූ.එන්.පීය දේශපාලන වශයෙන් සමතලා වී ගියේය. යූ.එන්.පීයෙන් කැඩී ගිය සජිත් තමන් සමඟ එක්වූ පිරිසක් කැටුව තරග කර ආසන 52ක් දිනා ගැනීමට සමත් වෙද්දී යූ.එන්.පීයට ලැබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලැබුණේ එම මන්ත්‍රී ධුරයේ පිහිටෙනි. ඒ වගේම ඉන්පසු ඇතිවූ අරගලයෙන් පසුව එල්ලෙන්න පිදුරු ගහක් හෝ සොයමින් සිටි පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරය මහාර්ඝ වස්තුවක් විය. තමන්ගේ ආණ්ඩුව යටතේ බංකොලොත් වූ ආර්ථිකයත්, ගොඩනැගුණු ගැටලුත් සෑහෙන දුරකට විසඳා දීමට සමත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය ඔවුන් දකින්න ඇත්තේ තමන්ට ලැබුණු දෙවියන්ගේ තෑග්ගක් හැටියටය. මේ නිසා රාජපක්ෂලාගේ කැමැත්ත ලැබුණත් නැතත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට මේ මන්ත්‍රී පිරිස කටයුතු කර ඇති බව පැහැදිලිය. මේ බව මහින්ද රාජපක්ෂ මහතාට නොදැනුණා නම් පුදුමය. ඔහුත් ඉන්න ඇත්තේ මේ ගැටලුව කොහෙන් ඉවර වෙනවාදැයි දැඩි විමසිල්ලෙන් යුතුව බවත් පෙනෙන්නට තිබිණි. මාධ්‍ය මගින් මේ ගැන විමසීම් කරන විට ඔහු දුන් පිළිතුරේ සඳහන් වුණේ ඒ ගැන පක්ෂයේ මතය අනුව තීන්දු කරන බව පමණි. අවසානයේ පොහොට්ටුවේ මන්ත්‍රීන් පිරිසක් මහින්ද සමඟ ඉතිරි වෙද්දී සෙසු සියලු දෙනා නැවතුණේ රනිල්ගේ පාමුලය.

එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව හදද්දීත් සිදුවූයේ මේ වගේම සිද්ධියකි. ශ්‍රීලනිපය වෙනුවට පොහොට්ටුව ගොඩනැගූ විට මෛත්‍රීපාල, දයාසිරි වැනි කිහිප දෙනකු හැර සෙසු සියලු දෙනා නැවතුණේ මහින්දගේ පාමුලය. මේ හේතුවෙන් ශ්‍රීලනිපයද මේ වනවිට තිබෙන්නේ ඩාලි පාරේ සහ උසාවියේය. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කළත් ඔහු නියෝජනය කළ ශ්‍රීලනිපය කාට අයිතිදැයි කියන්නත් අමාරුය. එහෙම බැලුවොත් එදා යූ.එන්.පීයට සිදුවූ දේ අද සිදුවී ඇත්තේ පොහොට්ටුවට සහ ශ්‍රීලනිපයටය. මේ දෙකේම නායකත්වය එක පැත්තකය. මන්ත්‍රීවරුන් තවත් පැත්තක හෝ පැති කිහිපයකය.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අමතක කළ නොහැකි සාධකයක් ඉතිරිව තිබේ. ඒ බව ඔවුන්ට මතක් කර දුන්නේ මහින්ද සමඟ ඉතිරි වූ එක් මන්ත්‍රීවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුය. ඔහු මෙහෙම කිව්වේය.

‘‘රනිල් වික්‍රමසිංහ මහතා ළඟට ගොස් සිටින අයත් පාර්ලිමේන්තුවට ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ පින්තුරෙ ගහගෙන ඡන්දෙ කරලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයෝ පක්ෂය හැර යන්නේ නෑ. පක්ෂයේ ඡන්ද පදනම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මතයි. ඔය ගිය අය 100 ක්, 200 ක්, 500 ක් හෝ 1000ක් ගෙන යාවි. කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැටෙන්නෙ නෑ. අපිට අලුතෙන් ඡන්ද ලක්ෂ 15ක් පක්ෂයට ගේන්න පුළුවන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලබන සතියේ ඉදිරිපත් කරනවා. එලෙස පක්ෂය අත්හැරදාලා මේ පිරිස ගිය හේතුව කුමක්ද කියලා ජනතාව දන්නවා.’’

ඒ වගේම ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශාන් විජයලාල් ද සිල්වා මහතා ද පසුගියදා මෙහෙම කතාවක් කියා තිබුණි.

“රාජපක්ෂවරුන් නිසා ඡන්දෙ දිනපු අය හිතාගෙන ඉන්නවා නම් රාජපක්ෂවරුන්ට බැණලා ඡන්ද දිනන්න පුළුවන් කියලා ඒ අයට වෙන්නේ අහිකුණ්ඨකයො නැතුව නටන්න ගිය නයාට වෙච්ච දේ තමයි.’’
එහෙම වෙයිද කියා බලන්න සැප්තැම්බර් 21 වැනිදා වනතුරු බලා සිටිය යුතුය.

• ශශින්ද්‍ර

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00