මාතෘකාව ජනාධිපතිවරණය වනවිට තහනම් වචනය පොලිස්පති බවට පත්වීම රටේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් තිබේ. ඒ ගැන කතා නොකරන දවසක් නැති තරම්ය. එහි අලුත්ම තත්ත්වය පිළිබඳව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැක්වූ අදහසක් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කෙරිණි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වුවත් පොලිස්පතිවරයකු පත් කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැති බවය. අධිකරණ තීන්දුව සමඟ කටයුතු කිරීමට මේ රටේ ඕනෑම පුරවැසියකුට සිදුවන බවත් අපේක්ෂකයකු වුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වී නැති හෙයින් එම ධුරයේ වගකීම් ඉටු කිරීමට ඔහු බැඳී සිටින බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා තිබිණි.
පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැත. නමුත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව විභාගයට ගන්නා නොවැම්බර් 11 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කිරීමට ඔහුට වාරණයක් පැනවීය. ඒ අනුව අදාළ කාලය සඳහා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ගැටලුව පැන නැගුණේ එයින් පසුවය. එම තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම තීන්දුව රජය නොපිළිගන්නා බවය. සියලු අලකලංචිවල ආරම්භය එම ප්‍රකාශය විය.
ඒ අනුව රටට පැහැදිලි වූයේ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට රජයේ සූදානමක් නොමැති බවකි. ජනාධිපතිවරයාම කියා තිබුණේ මේ සම්බන්ධයෙන් කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර ගැටලුව ලිහාගත යුතු බවය. නමුත් එම ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සංවිධානත් විපක්ෂයේ නායකයනුත් විසින් ප්‍රබල අභියෝගයකට ලක් කරනු ලැබීය. එසේම ඒ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රතිචාරය ද දැනගන්නට නැත. දැන් රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ විදේශගතව සිටින කතානායකවරයා යළි දිවයිනට පැමිණි පසුව පොලිස්පති ධුරයේ අර්බුදය සම්බන්ධයෙන් ඔහු සමඟ හමුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.
එසේ හමුවක් පැවැත්වීම මේ අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි යන්න ද අපැහැදිලිය. නමුත් මෙවැනි අවිනිශ්චිත බවක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක පැවතීම කිසිවකුටත් සතුටට පත්විය හැකි තත්ත්වයක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම මෙතරම් විශාල අර්බුදයක් වීමට හේතුවක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(සී) වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණය සහතික කර දීම ජනාධිපතිවරයාගේ බලතල අතරට වැටෙයි. මේ අනුව වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට කිසිදු බාධාවක් නැත. ජනාධිපති ධුර අපේක්ෂකයකු වීමද එම ධුරයේ වගකීම් ඉටුකිරීමට බාධාවක් නොවේ. එසේ නොවන්නේ නම් මින් පෙර ජනාධිපතිවරණ පවත්වා තිබිය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපති හෝ ජනාධිපතිනිය එම ධුරයෙන් අස්වීමෙන් පසුවය. නමුත් එසේ වී නැත. ඒ සියලු දෙනා මැතිවරණ කොමිසමේ ඉල්ලීම් ජනාධිපති ධුර අපේක්ෂකයකු හැටියට ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුවද ඉටුකර දී තිබේ.
එසේම මින් පෙර අවස්ථාවලදීද වැඩ බලන පොලිස්පතිවරුන් පත්කර ඔවුන්ට දිගටම සේවා දීර්ඝ ලබාදීමට කටයුතු කර තිබෙන බවද පෙන්වා දිය යුතුය. පොලිස්පති ධුරය පුරප්පාඩු නොවී තිබියදී පවා වැඩ බලන පොලිස්පතිවරුන් පත් කළ ඉතිහාසයක් අපට තිබේ. එ මතු නොව වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරුන් යටතේ පවා මේ රටේ ජාතික මැතිවරණ පවත්වා තිබේ. ඒ මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී වශයෙන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර නොමැති බවද කිව යුතුය. මීට පෙර 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය පැවැත්වුණේ වැඩ බලන පොලිස්පතිවරයකු යටතේ බවද මෙහිදී සඳහන් කරනු වටී.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා විය හැකි සියලු ව්‍යාකූල තැන් නිරාකරණය කර දිය යුතුය. ඡන්දය මේ රටේ නීතිගරුක පුරවැසියන්ගේ අයිතියකි. දේශපාලන පොරපිටියේ කොතරම් සෙල්ලම් දැම්මත් ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ඡන්ද අයිතියට අත තැබීමට කිසිදු දේශපාලනඥයකුට යුතුකමක් නැත.