2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

මෙපමණ කාලයක් අයිතිකාරයො නොසිටි ශ්‍රීලනිපයට දැන් අයිතිකාරයො ගොඩයි

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුමින්ද දිසානායක

  • රනිල් මහත්තයට උදව් කරන්න අපි තීන්දු කළේ රට වෙනුවෙන්
  • නාමල්ගෙ නම ගැන කතා කරන එකත් තේරුමක් නෑ
  • සජිත් වත් අනුරවත් රටට කරපු වැඩක් තියෙනවද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කැඩිල තැන් තැන්වල. කට්ටියක් කියනවා සජිත්ට උදව් කරනවා කියලා. ඔබලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරනවා කියලා. ඇත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කොහෙද?

ප්‍රධානම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලි කැඩිලා නෑ. ඒකට හේතුව ඕනෑම කෙනකුට තැන් තැන්වල ගිහින් කියන්න පුළුවන් මම ශ්‍රී ලංකා එකේ අරයා එක්ක මෙයා එක්ක ඉන්නේ කියලා. ඒත් ශ්‍රී ලංකා එක මොකක්ද? ඒ කියන්නේ පක්ෂයේ ව්‍යුහය අනුව පක්ෂයේ සභාපති නිමල් සිරිපාල මැතිතුමා, ලේකම් මම. විධායක සභාව, දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සියල්ල අපි එක්ක ඉන්නේ. අපි තීන්දුවක් ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත ජනාධිපති කරන්න උදව් කරන්න.
දැන් පක්ෂයේ ලේකම් කියන දයාසිරි ජයසේකර මහත්තයා ඉන්නේ සමගි ජන බලවේගයේනෙ?   ඔය හිටපු ලේකම්තුමාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා තියෙන්නේ. ඒ නිසා පක්ෂයේ ලේකම්වරයා හැටියට පෙනී ඉන්න අයිතියක් නෑ. එතුමට පුද්ගලයෙක් හැටියට ඕනෑම කෙනකුට උදව් කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා එකේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ මහත්තයා නෙමේද?

විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වෙන්න එතුමට පක්ෂ සාමාජිකත්වය තියෙන්න එපැයි. එතුමට ආපු අධිකරණ තීන්දුවේ තියෙන්නේ එතුමට පක්ෂයේ අයිතියක් නෑ කියන එක. ඊළඟ නඩු වාරය තියෙන්නෙත් ජනාධිපතිවරණයෙන් පස්සේ.

දැන් හැමෝම ශ්‍රී ලංකා කියනවනේ?

ඔව් අපි සතුටු වෙනවා. දැන් හැමෝම ශ්‍රී ලංකා කියනවා. මෙච්චර කාලයක් අපේ පක්ෂයට අයිතිකාරයෝ නෑ කිව්වා. කවුරුත් ගණන් ගත්තේ නෑ. ඒත් අද පක්ෂයට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. මිනිස්සු අපේ පක්ෂයේ කියන්න උත්සාහ ගන්නවා. ඒක ලොකු දෙයක්. දැන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටිනවනේ.

ඔබ ඔහොම කිව්වට දයාසිරි ජයසේකර කියන්නේ ඔබලා තමා පක්ෂය විනාශ කළේ කියලා?

ඕනෑ කෙනකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. අංගොඩ ගියාම වෛද්‍යවරු ඉන්නවා. ජනාධිපතිවරු ඉන්නවනේ. ඒ වගේ තමා මැතිවරණය කාලය ළං වෙද්දි අංගොඩ ඉන්න ඕනෑ අය එළියේ ඉඳලා කතා කරනවා.

හරි දැන් ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න තීරණය කළේ?    

එදා අරගලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් වුණු වෙලාවේ පාර්ලිමේන්තුව එකතු වෙලා ජනාධිපති කෙනෙක් පත් කරගත්ත වගේම, ඒ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයෙන් රට පාලනය කළේ නැත්නම් අද අපේ රටත් අර බංග්ලාදේශය වගේ වෙනවා නේද? අපි රට වෙනුවෙන් තමයි ඒ තීන්දුව ගත්තේ. ඒ නිසා අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනකොට අපේ පක්ෂයේ ප්‍රතිපත්තිත් රැකගෙන අපි එතුමට සහය දෙන්න තීරණය කළේ රට වෙනුවෙන්. එතුමට විතරක් බාරදෙන එක නෙමෙයි, රට ගොඩගන්න පුළුවන් අරගලයේ කොටස්කාරයෙක් වුණොත් ඒක ඉතාම වටිනවා. අන්න ඒ විශ්වාසය නිසා තමයි එතුමට උදව් කරන්න තීරණය කළේ.

ඔය වගේ තීන්දු ගන්නේ අපේක්ෂකයා එක්ක ගිවිසුමකට, එකඟත්වයකට ආපුවට පස්සේ. එහෙම දෙයක් තියෙනවද?

ඇත්තටම අපිට එහෙම ගිවිසුම්ගත වෙන්න වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක දී විතරයි. අපිට අමුතුවෙන් ගිවිසුම්ගත වෙන්න දෙයක් නෑ එහෙම. හේතුව එතුමා කියලා තියෙනවා එතුමා එක්ක එකතුවෙන පක්ෂවල අදහස් යෝජනාවලට එකඟ වෙලා සහය දෙන බවට. දැන් ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ රට ඉදිරියට යනවද නැද්ද කියන එක. ඉතින් රට ඉදිරියට ගෙන යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි එතුමා එක්ක හිටගන්නවා. එහෙම නැතුව අපිට හැංගිච්ච කොන්දේසි ගිවිසුම් නෑ.

තව අපේක්ෂකයෝ ඉන්නවනේ. ඇයි ඒ අයට උදව් නොකරන්නේ?

අපි පිළිගන්න එපැයි රට වැටිලා තිබුණා කියලා. ඒ වගේම ඒ වැටිලා තිබුණු තැනින් අපි යම් තරමකට ගොඩ ඇවිත් තියෙනවා කියලා පිළි ගන්නවනේ. ඒ යම් තැනකට ගේන්න හැකියාව තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයට. දැන් ගන්නකෝ අපේක්ෂකයො ටික. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා, අනුර කුමාර මහත්තයා ඉන්නවා.

ඇයි නාමල් රාජපක්ෂ මහත්තයගේ නම නොකියන්නේ?

නෑ.. ඒ නම ගැන කතා කරලා වැඩක් නෑනේ. ඒ නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නෑ. කාලය නාස්ති කරලා නෑ.

හරි ඔබ කියාගෙන ආපු කතාව කියන්නකෝ?  

අනුර කුමාර මහත්තයා කරපු වැඩක් කියන්න. එයා හොඳයි පොතක් කියවලා ඒ ගැන කතා කරන්න. ඒ හැරෙන්න එයාට දෙයක් බෑ. ඊළඟට සජිත්. තාත්තගේ කෙරුවාව ගැන කියනවා මිසක් එයා කරපු දෙයක් කියන්න. මේ දවස්වල වයිට් බෝඩ් බෙද බෙදා ඉන්නවා. මම කියන්නේ ඉස්කෝලයක් හදන්න කියලා එතුමට. පන්ති සීයක් තියෙන ඉස්කෝලෙකට එක වයිට් බෝඩ් එකක් දුන්නම ළමයි අතර වෛරය හට ගන්නවා. දෙනවා නම් මුළු ඉස්කෝලෙටම තාක්ෂණය දෙන්න. ළමයි අතර ඇති නැති පරතරය හදනවා.

රනිල් වික්‍රමසිංහව ඔබලත් විවේචනය කරලා තියෙනවා?

ඔව්.. අපිත් ඔහුව අතීතයේ විවේචනය කරලා තියෙනවා. ඒත් පහුගිය අවුරුදු දෙක දිහා හැරිලා බලන්න. තනි මන්ත්‍රී ධුරයක් තිබුණු කෙනෙක්. හැමෝටම වගකීම් ගන්න කියද්දි මගහැරියා. නමුත් එතුමා ඒ වගකීම අරගෙන හැමෝටම කිව්වා එතුමට උදව් කරන්න කියලා. අවසානයේ එතුමා කළා. ඒ නිසා සැප්තැම්බර් 21 අපි තීන්දු කරන්න ඕනෑ අවුරුදු දෙකක් තුළ වැඩක් කරපු මනුස්සයට දෙනවද? නැත්නම් තාත්තා කරපු එක කියන කෙනාට දෙනවද? ඒ නැත්නම් කයිය විතරක් තියෙන කෙනකුට දෙනවද කියලා.

ඔච්චර විශ්වාසයෙන් කියන්නේ එතුමා දිනනවද?

පැහැදිලිවම. අපි රට දිනවන පක්ෂයක්. සැප්තැම්බර් 21 කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙමේ, රට දිනවන දවසක්. ඒ වෙනුවෙන් අපි කැපවෙනවා.

• ගයාන් ගාල්ලගේ