2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

ෂෙයික් හසීනා ඉගෙන නොගත් ලංකාවේ පාඩම

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

බංග්ලාදේශයේ ඇවිළුණු ගිනිදැල් තවම නිවී ගොස් නැත. එහි මිනී අළු ද මිශ්‍ර දුමාරය තවමත් මුළු බංග්ලාදේශයම වසාගෙන පැතිරෙමින් තිබේ. එරට ආණ්ඩු කළ ෂෙයික් හසීනාගේ අවාමි ලීග් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 ක් ප්‍රචණ්ඩකාරීන් විසින් මරා දමා ඇති බවත් දේපළ රැසක්ම ගිනි තබා හානි කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මේ විරෝධතා රැල්ල ආරම්භයට හේතු වුණේ රජයේ රැකියා වලින් 30% ක් ෂෙයික් හසීනාගේ පියාගේ ජාතික සටනට උරදුන් හමුදා සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ට ලබා දිය යුතු බවට ඇය සම්මත කරගත් යෝජනාවයි. පාර්ලිමේන්තුවේ විශාල බලයක් තිබෙන හසීනා එම යෝජනාව සම්මත කරගෙන තිබුණේ එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. නමුත් ඒ තීන්දුව මුළු රටම ගිනි ඇවිලවීමට සමත් විය. ෂෙයික් හසීනාට අගමැති ධුරය අහිමිවූවා පමණක් නොව තමන්ගේ රටේ ඉන්න හිටින්න තැනක් ද අහිමි විය. ඇයට සිදුවූයේ සියලු දේ අතහැර ආසන්නම ඉන්දියාවට පලා යාමටය.

බංග්ලාදේශයේ වූ සිද්ධි බොහොමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට හොඳ පාඩමක් උගන්වා තිබෙන බව පැහැදිලිය. ආඥාදායක පාලනයක් තිබෙන රටවල නම් මෙවැනි සිදුවීම් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. යකඩ හස්තයක පාලනය තවදුරටත් ඉවසා සිටිනු බැරිවෙන විට එවැනි රටවලද හටගන්නේ දරුණු ගණයේ ප්‍රචණ්ඩකාරී කැරළිය. ඒවා අවසන් වන්නේ එක්කෝ ආඥාදායක නායකයා පලා යාමෙන් හෝ ඝාතනය කිරිමෙනි. නැතහොත් ඉතා දරුණු මර්දනයකින් රටේ ජනතාව ද මරා දමමින් සිදුවන සටනකිනි. එහි අවසාන ජයග්‍රාහකයා වන්නේ ආඥාදායකයාය.

එහෙත් ආසියාවේ කතා ඊට වඩා වෙනස්ය. මේ රටවල ඇත්තේ මහජන බලයෙන් ආණ්ඩු පිහිටුවන නායකයන් තෝරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. ඡන්දයකින් ඔවුන්ට සිදුවිය හැකි ලොකුම දේ පරාජය වී පාලන බලය ද අහිමි වී ගෙදර යාමය. නැතහොත් ජයගෙන ඉන් ආණ්ඩුවක් හදාගෙන බලය පවත්වාගෙන යාමය. පරාජයට පත් වුණොත් දේශපාලන පළි ගැනීම්වලට ලක්විය හැකි නමුත් ඔවුන්ගේ ජීවිත හා දේපළවලට හානි පැමිණවීමට ජනතාව ක්‍රියා කරන්නේ කලාතුරකිනි.

ලංකාව ද ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන බැවින් බංග්ලාදේශයේ ජනතාවගේ කැරැල්ලෙන්  උගත හැකි පාඩම් බොහෝය. ඒ පාඩම් ගැන අවබෝධයක් ගන්න නම් මුලින් බංග්ලාදේශයේ  දේශපාලන ඉතිහාසය ගැන විමසීමක් කිරීම ද අවශ්‍යය.
1947 වනවිට ඉන්දියාවෙන් බෙදී යාමත් සමඟ නැගෙනහිර බෙංගාලයේ පාකිස්ථාන් පළාතක්  වශයෙන් හැඳින්වූ බංග්ලාදේශය පසුව නැගෙනහිර පාකිස්ථානය විය. 1971 දී ස්වාධීන රටක් වශයෙන් ඩකා අගනුවර කර ගනිමින් බංග්ලාදේශය බිහිවිය. බංග්ලාදේශයේ ප්‍රථම නායකයා වූ ෂෙයික් මුජිබර් රහමන්ගේ වැඩිමහල් දියණිය වන්නේ ෂෙයික් හසීනාය.

රටේ නීතිය හා සාමය යළි ගොඩනගා පාලනය කරගෙන යන අතරතුර දී 1975 අගෝස්තු 15 වැනිදා හමුදාවේ පිරිසක් විසින් ෂෙයික් මුජිබර් රහමන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කෙරිණි. ෂෙයික් හසීනා සහ ඇයගේ සොහොයුරියන්ගේ ජීවිත ගැලවුණේ ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම රැඳී සිටියේ විදෙස් රටක බැවිනි.

ඉන් පසුව එරට ක්‍රියාත්මක වූ හමුදා පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් 1991 දී යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට හරවනු ලැබීය. ඒ සඳහා සිදු කෙරුණු අරගලයට නායකත්වය දී තිබුණේ ද සිසුන් බව සඳහන්ය. එහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බංග්ලාදේශ ජාතික පක්ෂය (බී.එන්.සී.) ජයගත් අතර ඛලිඩා සියා අගමැති ධුරයට පත් වූවාය.

කෙසේ වුවද ඉන් පසුව පැවති පළාත් මැතිවරණ ඉතාම දූෂිත වීම හේතුවෙන් යළිත් වරක් බංග්ලාදේශයේ දේශපාලන නොසන්සුන්කමක් නිර්මාණය විය. ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයපවතින ආණ්ඩුව යටතේ කිසිසේත් නිදහස් සහ සාධාරණ එකක් නොවනු ඇති බවට ප්‍රබල මතයක් රට තුළ තිබිණි. එහිදී අවාමි ලීගය ඇතුළු සෙසු පක්ෂ මහ මැතිවරණය වර්ජනය කළ අතර පත්වූ ආණ්ඩුවේ නීත්‍යානුකූල බව දැඩිව ප්‍රශ්න කෙරිණි. 

කෙසේ වුවත් 2008 දෙසැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් ෂෙයික් හසීනාගේ අවාමී ලීගය විශාල සන්ධානයකින් තරග කර ආණ්ඩුව පිහිටෙව්වේය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කර බලයට පැමිණි ෂෙයික් හසීනා 2011 දී ව්‍යවස්ථාව සංශෝධනය කර භාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දය පැවැත්වෙන ක්‍රමය අහෝසි කළාය. 2013 වන විට දේශපාලන විරුද්ධවාදීන් දඩයම ආරම්භ කළ අතර බොහෝ දෙනකුට සිර දඬුවම් විදීමට සිදුවිය. දේශපාලන පක්ෂ ද තහනම් කරනු ලැබීය. 2014 පැවති මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ එකක් නොවූ අතර විරුද්ධ දේශපාලන පක්ෂ සියල්ලම එම මැතිවරණය වර්ජනය කළේය. ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ මහ සන්ධානය රට පුරාම ජයග්‍රහණය කළේය. එම මැතිවරණය විදෙස් මැතිවරණ නිරීක්ෂකයන්ගේ දැඩි විවේචනයට ලක් විය. 2018 මැතිවරණය ද හැඳින්වූයේ හොර ඡන්ද දැමීම බහුලව සිදු වූ දුෂිත මැතිවරණයක් වශයෙනි.

බංග්ලාදේශය 1991 සිට මෙතෙක් කල් පාලනය කළේ අවාමි ලීගය සහ ඛලිඩා සියාගේ ජාතික පක්ෂය (බී.එන්.පී) මගිනි. මේ දෙකේම නායිකාවන් දෙදෙනාටම විරුද්ධ පක්ෂයේ සිටියදී සිරගෙවල්වල තැපීමට ද සිදුවිය. අවසන් වරට ඛලිඩා සියාට සිරෙන් නිදහස් වීමට ඉඩ ලැබුණේ ෂෙයික් හසීනා පලා යාමෙන් පසුවය. නමුත් ඇයගේ ආණ්ඩුවක් බාර ගැනීමට බංග්ලාදේශයේ වත්මන් කැරැල්ල මෙහෙයවන ශිෂ්‍ය කණ්ඩායම සූදානම් නැත.

බංග්ලාදේශයේ අවසන් මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය ජනවාරි 07 වැනිදාය. එම මැතිවරණය විපක්ෂය විසින් වර්ජනය කළේ එය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොවන බවට චෝදනා කරමිනි. භාරකාර රජයක් යටතේ නොතබන මෙම මැතිවරණය අන්ත දූෂිත එකක් වනු ඇති බව විපක්ෂයේ පොදු මතය වී තිබිණි. හසීනාගේ පාලක පක්ෂය මගින් පාලනය කරන මැතිවරණ කොමිසමෙන් මැතිවරණ පැවැත්වූ අතර ඡන්දය භාවිත කර තිබුණේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 40% කටත් අඩු සංඛ්‍යාවකි.

ෂෙයික් හසීනාගේ අවාමි ලීගය ආසන 224 ක් ලබා ජයගත් අතර ස්වාධීන අපේක්ෂකයන් 62ක්ද තේරී සිටියහ. ඒ අතරින් වැඩි දෙනා ආණ්ඩුවේම ‘ඩමි’ අපේක්ෂකයන් වූ බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද ඒ අනුව ආණ්ඩුවේම කොටසක් බවත් සඳහන් විය. ඡන්දයට පෙර විපක්ෂ නායකයන් සිරගත කරනු ලැබූ අතර ආණ්ඩුව විවේචනය කළ පුද්ගලයන් නිහඬ කරනු ලැබ තිබිණි. මේ ඡන්දය කොතරම් දූෂිත දැයි කිවහොත් ඡන්දය දුන් සංඛ්‍යාව 28% ක් පමණක්  බවට ප්‍රධාන නිලධාරියා කළ ප්‍රකාශය පසුව වෙනස් විය. එය 40% ක් දක්වා වැඩි කර කියනු ලැබූ බවද වාර්තා විය. ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත් දෙකම මේ මැතිවරණය විවේචනය කළ අතර ‘ඉකොනොමික්ස්ට්’’ සඟරාවට අනුව බංග්ලාදේශය දැන් තනි පක්ෂයක් සහිත රාජ්‍යයකි.

කෙසේ වුවද ෂෙයික් හසීනාගේ රජය යටතේ රටේ ආර්ථිකය දියුණු වූ බවත් එහි වර්ධනය 7% ක් ඉක්මවන බවත් එම ආණ්ඩුව බොහෝ පම්පෝරි ගැසුවේය. යම් පමණකට එරට ජනතාවට එය දැනී තිබුණි. රටේ ආර්ථික වර්ධනය කියන තරමට ජනතාවට නොදැනුණු අතර රටේ දිළිඳුකම ද එසේම පවතී. එහෙත් බංග්ලාදේශය සැලකෙන්නේ ලොවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහිත රටක් හැටියටය. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය අතින් බංග්ලාදේශය ඉතා ඉහළ වර්ධනයක් පෙන්වා තිබේ.
එහෙත් බංග්ලාදේශයේ බදු එකතු කිරීම් ඇත්තේ ඉතා අඩු මට්ටමකය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7% ක් පමණි. එරට බැංකු පද්ධතියේ අක්‍රීය කෙරුණු විශාල ණය ප්‍රමාණයක් තිබෙන අතර ණය නොගෙවන සංඛ්‍යාව ද ඉතා විශාලය. මෙය විශාල ගැටලුවක් බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. 

බංග්ලාදේශයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ රටේ ආර්ථික වර්ධන වේගය 7.7% ක් දක්වා ඉහළ දැමූ වේගවත් ආර්ථික වර්ධනයට ශක්තිමත් පදනමක් දැමූ ෂෙයික් හසීනාට මෙහෙම වුණේ ඇයි? ඉන්දියාවට සමීප හිතවත්කමක් දැක්වූ ඉන්දියාවේ විශ්වාසය දිනූ ආසියානු නායිකාවක් වන ෂෙයික් හසිනාගේ බලය අද හෙටම ගිලිහෙනු ඇති බවට ඉන්දීය බුද්ධි නිලධාරීන්ටත් කල් තබා හොයාගන්න බැරි වුණාද?

ඉන්දියාවේ ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබුණේ බංග්ලාදේශයේ ඇතිවූ තත්ත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය පෙරළා දැමීමට සමාන බවය. නමුත් ලංකාවේ රාජපක්ෂලා විරුද්ධ පක්ෂ නායකයන් හිරේ දමා ඡන්ද පැවැත්වූයේ නැත. එසේම ලංකාවේ මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයකි. එසේම මැතිවරණ දූෂණ අවම මට්ටමකට ගෙන ඒමට මේ රටේ සියලු දේශපාලන පක්ෂවල සහාය ලැබී තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද ඉතාම ක්‍රියාකාරීය. මේ හේතු නිසා නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකාවට අපහසු නැත. යම් කිසිවකු මේ පවතින ක්‍රියාදාමය කඩාකප්පල් කර දැමීමට ඍජුව හෝ වක්‍රව හෝ කටයුතු නොකරන්නේ නම් මේ රටේ මැතිවරණ ක්‍රියාදාමයට හානියක් වන්නේ නැත. එසේ නොවී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කටයුතු කරන කවුරුන් හෝ සිටී නම් බංග්ලාදේශයේ ෂෙයික් හසීනාට වෙච්ච දේ සිහි කර ගැනීම වැදගත්ය.

සමහරුන්ගේ මතය ලංකාවේ ගෝඨාභයට සිදුවූ දේ බංග්ලාදේශයේ ෂෙයික් හසීනාට ද වූ බවයි. නමුත් එහි වෙනසක් ඇත. ගෝඨාභය විපක්ෂය හිරේ දැම්මේ නැත. ඔහු ජනාධිපති ධුරයට පත්වුණේ නිදහස් හා සාධාරණ ඡන්දයෙනි. ඔහු බලයට පත්වුණේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 83% ක් තම ඡන්දය භාවිත කළ මැතිවරණයකිනි. ඊට පස්සේ ඔහු තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තුවක් පත් කර ගත්තේ ද මැතිවරණයකිනි. මේ මැතිවරණය ද නිදහස් සහ සාධාරණ විය.

හැබැයි ගෝඨාභය තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ආර්ථිකය වර්ධනය කර ගැනීමේ පියවර වෙනුවට බදු අඩු කිරීමෙන් තිබෙන ආදායම ද නැති කර ගත්තේය. රසායනික පොහොර තහනම් කර නැති ප්‍රශ්නයක් පටලවා ගත්තේය. එසේම දේශපාලන  බලවතුන් සම්බන්ධ වංචා සහ දූෂණ නැති කිරීමට ද ඔහු අසමත් විය. ඔහුගේ පාලනය කෙරේ මහත් බලාපොරොත්තු තබා සිටි රටේ ජනතාවට එම බලාපොරොත්තු කඩා වැටීම දැරිය නොහැකි විය. රටේ කවදාවත් නොතිබූ පෝලිම් ඇතිවෙන විට ජනතාවට එන්න තිබුණේ පාරටය. ඊළඟට සිදුවූ දේ ඉතිහාසයට එක් වී හමාරය.

හැබැයි බලය අතහැර පලා ගිය ගෝඨාභය යළිත් රටට ආවේය. ඔහු අද විශ්‍රාමිකව දිවි ගෙවයි. නමුත් බංග්ලාදේශයේ ෂෙයික් හසීනාට ආපසු එරටට යාමට හැකියාවක් නැත. එහෙම වෙන්නේ ඇයි?

එහෙම වෙන්නේ ගෝඨාභය එදා රටේ අරගලය පාලනය කිරීමට එකදු අවියක් හෝ එසවීමට ඉඩ නොදීම නිසාය. ආණ්ඩුවට එරෙහි ත්‍රස්ත ව්‍යාපාරවලදී අවි බලයෙන් එය මෙල්ල කිරීම රටේ නායකයාගේ වගකීමය. නමුත් ජනතාව සාධාරණ හේතූන් මත සිදු කරන අරගලයක දී තුවක්කු උණ්ඩයෙන් එය මර්දනය කළ නොහැක. අරගලය අවස්ථාවේ වෙඩි තබා ඝාතන සිදු කළා නම් මේ රටේ ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. අද බංග්ලාදේශයේ ෂෙයික් හසීනාට සිදුවී ඇත්තේ රැකියාව කෝටාවට සාධාරණය ඉල්ලා ශිෂ්‍යයන් සිදු කළ සාධාරණ අරගලය තුවක්කුවෙන් මර්දනය කරන්නට යාමේ ප්‍රතිවිපාක විඳීමටයි. එම වෙඩි පහරවලින් 200ක් දෙනා මිය යාම හේතුවෙන් ඊළඟට ශිෂ්‍යයන් කළේ එම මියගිය ජීවිත 200ට යුක්තිය ඉල්ලා පාරට බැසීමය. එම කැරැල්ල තවත් 100කට වඩා බිලිගනිද්දී රට හැර පලා යාම ෂෙයික් හසීනාට තිබූ එකම විකල්පය විය. ඇය අද ඉන්දියාවේ රැකවරණ ලබා සිටින්නේ තාවකාලිකව නොවේ. ඇයගේ පුතා කුමක් කිව්වත් ඇයට ආපසු තම රටට යා නොහැක. මියගිය 300කගේ ජීවිතවලට ඇයට වගකීමට සිදුවන බැවිනි.

මේකෙන් පේන්නේ බංග්ලාදේශය ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා නොව ෂෙයික් හසීනා ලංකාවේ 2022 අරගලයෙන් කිසිම පාඩමක් ඉගෙනගෙන නැති බවය. නැත්නම් තමන්ගේ රටේ ආර්ථිකය හැදූ පමණින් සියල්ල හරි යැයි සිතූ ෂෙයික් හසීනා සාධාරණය ඉල්ලා සටන් කළ නිරායුධ සරසවි ශිෂ්‍යයන්ට වෙඩි තැබීමට කවදාවත් අණ දෙන්නේ නැත. බංග්ලාදේශයේ ජනතාව ඒ වෙලාවේ හිටියේ දූෂිත ඡන්දයකින් දිගටම බලයේ සිට ආණ්ඩුව එක්ක නොව සාධාරණ සටනක් ගෙන ගිය ශිෂ්‍යයන්ගේ පැත්තේ බව ඇය දැන සිටියේ නැත. ජනතාව ඉන්නේ කොයි පැත්තේ ද යන්න ගැන නොදැන තීන්දු තීරණ ගන්නා ලෝකයේ මොනම නායකයකුට වුවද මෙය කදිම පාඩමකි. ගෝඨාභය අද සැනසිල්ලේ විශ්‍රාමිකව සිටීමට හැකිවීමත් ෂෙයික් හසීනා යන්න රටක් නැති සරණාගතයකුගේ තත්ත්වයට වැටී සිටීමත් අතර වෙනස ඒකය.

• ශශීන්ද්‍ර