2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

බොරු අපේක්ෂකයන්ට වැට බඳිමු

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ජනාධිපතිවරණය සඳහා සිකුරාදා (09) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති පිරිස 22 කට ආසන්න වී තිබිණි. නාමයෝජනා බාරදීමට නියමිත ලබන 15 වැනිදා වනවිට මේ සංඛ්‍යාව තව කොතෙක් දුරකට ඉහළ යනු ඇතිදැයි අනුමාන කිරීම පවා අපහසුය. ඒ තරම් සංඛ්‍යාවක් නාමයෝජනා ලබාදීමට ඉදිරිපත් වනු ඇති බවට තොරතුරු පළවෙමින් තිබීම ඊට හේතුවය.

මෙරට ජනාධිපතිවරණය කිසි කලෙකත් දෙදෙනකු අතර තරගයට වඩා ඉහළ ගොස් නැත. මෙවර ද එම තත්ත්වය වෙනස් වනු ඇති බවට කිසිදු සහතිකයක් නැති වුවද සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙවර තුන්කොන් සටනක් පැවැත්වීමට වැඩි ඉඩක් තිබෙන බවකි. එසේ වුවද අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම තුන්කොන් සටනකට වුවද වැඩක් නැත. එයින් සිදුවන එකම ප්‍රතිඵලය ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම පමණි.

මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයට නුසුදුසු පුද්ගලයන් පවා ඇප බඳින තත්ත්වයක් පවතින බවය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා කළ ප්‍රකාශයක සඳහන් වී තිබුණේ මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 50 ඉක්මවුවොත් නම් සහ සලකුණු ඡන්ද පත්‍රිකාවේ පේළි දෙකකට මුද්‍රණය කිරීමට සිදුවන බවය. එය ඡන්දදායකයන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවට පත් කිරීමට හේතු විය හැකි කාරණාවකි. ඡන්ද පත්‍රිකාවේ සඳහන් නම් සහ සලකුණු මුද්‍රණය කෙරෙන්නේ මහ විශාල අකුරින් නොවේ. එසේ තිබියදී එය පේළි දෙකකට මුද්‍රණය වීම ඇතැම් දෙනකුට තෝරා බේරා ගැනීමේ දුෂ්කරතා ඇති කරන්නකි.

එමෙන්ම නම් සහ සලකුණු සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව දිගු වන සෑම අඟල් භාගයකටම අතිරේකව වැය වන මුදල රුපියල් කෝටි 20 ක් බවද සඳහන්ය. එය මැතිවරණ වියදමට අතිරේක බරක් එකතු කිරීමකි. මේ කිසිදු කරුණක් සැලකිල්ලට නොගෙන පිළිගත හැකි කිසිදු කාරණාවක් නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සිදු කරන්නේ නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා කිරීමක් බවද පෙන්වා දිය යුතුය. මැතිවරණ අපේක්ෂකයකු වීමට ඕනෑම ඡන්දදායකයකුට අයිතියක් තිබෙන නමුත් එම අයිතිය මැතිවරණය හාස්‍යයට හෝ අපහසුතාවට හෝ ලක් කිරීමට හෝ යොදාගත නොහැකි බවද සිහිපත් කර දීමට කැමැත්තෙමු.

ජනාධිපතිවරණයක දී ප්‍රධාන පක්ෂයක නායකයකු නොවන, අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ නොවන පුද්ගලයෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමට නාමයෝජනා ලබා දීමේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් දැක්විය යුතු යැයි අපි සිතමු. ඇතැම් අවස්ථාවලදී එසේ ඉදිරිපත් වන පුද්ගලයන් ඉටු කරන්නේ වෙනත් ප්‍රධාන අපේක්ෂකයකුගේ අවශ්‍යතා බව මීට පෙර අවස්ථාවලදී ද හෙළි වී තිබේ. අපේක්ෂකයකු වෙනුවෙන් රූපවාහිනි නාළිකා සහ ගුවන්විදුලි නාළිකා ඔස්සේ ලබාදෙන කාලය යොදවාගෙන වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් කැම්පේන් කිරීම එවැනි එක් අවස්ථාවකි. එසේම ඇතැම් තෝරාගත් අපේක්ෂකයන්ට එරෙහිව ප්‍රචාරක කටයුතුවල නිරත වීම ද තවත් එවැනි අවස්ථාවකි.

මෙවැනි අක්‍රමිකතා වැළැක්වීමේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ලොකු වගකීමක් පැවරෙයි. අනවශ්‍ය පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ඇතිවන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව ඔවුන් මීට පෙර ද කරුණු පෙන්වා දී ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුය. එය යහපත් ක්‍රියාවක් වුවද එය පමණක් ප්‍රමාණවත් නැත. අනවශ්‍ය යැයි සැලකෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් තොරතුරු ද ඔවුන්ගේ වාර්තාවලින් උපුටා දැක්වීම ද සුදුසු යැයි අපි සිතමු. විශේෂයෙන් ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ලබාගත් ඡන්ද සංඛ්‍යාව ද සඳහන් කිරීම අවශ්‍යය. එම ඡන්ද සංඛ්‍යාව ඉතාම සීමිත නම් ඔවුන්ට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට එය නුසුදුසුකමක් වශයෙන් සැලකීමට තිබෙන හැකියාව ද සොයා බැලිය යුතු යැයි අපි සිතමු.

මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය අවසන් වී දින 21 ක් තුළදී සෑම අපේක්ෂකයකුම වියදම් වාර්තාවක් ලබා දිය යුතු බවය. එය නීතිගත කර තිබෙන බවද කොමිසම කියයි. අප අදහස් කරන්නේ එම වාර්තාවටම ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සඳහන් කිරීම ද අත්‍යාවශ්‍ය බවට කොන්දේසියක් පැනවිය යුතු බවය. ඒ හරහා ජනාධිපතිවරණය විහිලුවට ලක් කරමින් බොරුවට අපේක්ෂකයන් වී මහජන මුදල් කාබාසිනියා කරන පුද්ගලයන් කවුදැයි රටට හෙළිදරව් කළ හැකිය. බොරු අපේක්ෂකයන් ඉදිරිපත් වීම වැළැක්වීමට එය අත්‍යාවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00