නලින්ද ජයතිස්ස විධායක සභික ජාතික ජන බලවේගය
ජනාධිපති සටන දැන් ආරම්භ වෙලා තියෙන්නේ.ගොඩක් අය කියන්නේ ඔබලගේ ඉල්ලුම දැන් ඉස්සරට වඩා බැහැලා කියලා.ඒක ඇත්තද?
සැප්තැම්බර් 21 තියෙන ඡන්දයෙන් අනුර කුමාර අනිවාර්යයෙන් ජයගන්නවා.මේ රටේ පළවෙනි වතාවට මහජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් වෙනවා.එතනින් එහාට මාස දෙකකින් මහජන ආණ්ඩුවකුත් හදාගෙන අපි මේ රට ගොඩනගන වැඩ පිළිවෙලට බහිනවා. රැල්ල ගියා, බැස්සා කියන්නෙම ප්‍රතිවාදියා තමා. ඒ අය එහෙම කියන්නේ නැතුව කොහොමද කැම්පේන් එකක් කරන්නේ. මාලිමාව උඩින්ම ඉන්නවා, මාලිමා අපේක්ෂකයා තමයි දිනන්නේ කියලා රනිල්ට, සජිත්ට කැම්පේන් කරන්න බෑනේ.
නාමයෝජනා බාරදුන්නයින් පස්සේ මොකද ජනතාවගේ ප්‍රතිචාර?
ඇත්තටම ජනතාවගේ කැමැත්ත,උවමනාව,උද්යෝගය වැඩිවෙලා තියෙනවා.අපිට කාර්යාල ලබාදෙන්න,මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන්න වගේ කැමැත්ත වැඩිවෙලා තියෙන්නේ.ජනතාව දැන් තවත් වටයකින් උද්යෝගිමත් වෙලා තියෙනවා.විදෙස් ගත අය ඡන්දය දෙන්න විතරක් නෙමේ ඡන්දයට උදව් කරන්නත් සහභාගි වෙලා තියෙනවා.ශ්‍රී ලංකාවේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයාගේ සිට ගමේ එදිනෙදා කුලියක් කරන කෙනා දක්වා ඒකාබද්ධ වෙච්ච මැතිවරණ ව්‍යාපාරයක් හැටියටයි මේක යන්නේ.
ඔබ කිව්වා ජනතා නායකත්වත්වයක් එන්නේ කියලා.අපි අහලා තියෙනවා ගොඩක් නායකයෝ ජනතා නායකයෝ.කොහොමද අනුර කුමාර සහෝදරයා ජනතා නායකයෙක් වෙන්නේ?
අපේ ප්‍රතිවාදීන් දිහා බලන්නකෝ.සජිත් ප්‍රේමදාස ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් නොවුණා නම් කොහේ ඉඳීද, නාමල් රාජපක්ෂ ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් නොවුණා නම් කොහේ ඉඳීද, රනිල් වික්‍රමසිංහ ජේ.ආර් ජයවර්ධනගේ බෑනා නොවුණා නම් කොහේ ඉඳීද.මේ කියන හැමෝම තමන්ට හිමිවුණු බලයක් නිසාම රැඳිලා ඉන්න අය.ඒත් අනුර කුමාර කියන්නේ සාමාන්‍ය ජනතාවගේ කෙනෙක්.ගොවිකම් කරපු පියෙක්ගේ පුතෙක්.අනුරාධපුරයේ දුෂ්කර ප්‍රදේශයක සාමාන්‍ය පාසලක අධ්‍යාපනය ලබලා අපේ රටේ රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය අරගෙන වසර 24ක් එක දිගට පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්.මේ වගේ ජනතා ව්‍යාපාරයකට සාමුහික නායකත්වයක් තියෙන්නේ.අපිත් එක්ක එකතුවෙන්නේ මේ රට ගොඩනගන්න ඇත්ත අවංක උත්සහයක් ගන්න සාමාන්‍ය මිනිස්සු.සජිත්ට,රනිල්ට,නාමල්ට එකතු වෙන්නේ මේ රටේ ඇමතිකම් දරපු අය.ඔය වෙනසම ඇති පුරවැසියට තමන් හිටගන්න ඕන සලකුණ දමාගන්න.
ගොඩක් අය කියනවා 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ රැල්ලක් ඔබලට තිබ්බට,රැල්ලට දුන්නා වගේ නෙමෙයි රටටත් ඒ විදිහටම වරදින්න පුළුවන් කියල?
ඔය චෝදනාව හරි අවලාදය හරි නගන අය පිලිගන්න එපැයි අනුර කුමාර ජනාධිපති වෙනවා කියන එක.මොකද ඒ අය පිළිගන්නවානේ රැල්ලක් තියෙනවා, අනුර ජනාධිපති වෙනවා කියන එක.මම කියන්නේ සැප්තැම්බර් 21 පස්සේ බලන්නකෝ අපි වැඩ කරන විදිහ. අපි බලය ගන්නේ බිලියන ගණන් වියදම් කරලා,මාර්කටින් කොම්පැණි වලට සල්ලි දීලා මාර්කටින් කරගෙන නෙමේ. මේක පොදු ජනතාවගේ කැමැත්තක්. මේක පොදු ජනතාවගේ අභිලාෂයක්. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ ගෙනාවේ දුෂිත කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ආවරණය සඳහා තියාගන්න.ඒත් අනුර කුමාර එන්නේ ජනතාවගේ මැදිහත්වීම සහ කැමැත්ත මත.
ආණ්ඩුව කියන්නේ වැටුණු රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා,ඒ නිසා ඔහු නැවත පත් නොකර ගත්තොත් රට නැවත කඩා වැටෙයි කියලා?
ඇත්තටම එවැනි ප්‍රකාශ ප්රජාතන්ත්රවාදයට විරුද්ධයී. 2019 දී රනිල් වික්‍රමසිංහ මහත්තයාව රටේ ජනතාව විතරක් නෙමෙයි මැද කොළඹ ජනතාවත් එලෙව්වනේ. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දින්නා.පස්සේ ගෝටාභය ජනතාව විසින් පලවා හැරියා. ඒ පළවා හැරිමෙන් හරී කියන්නේ නෑනේ එලවපු රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය හරි කියලා. රනිල් වික්‍රමසිංහ ඔය පුටුවට පත්වුණේ රාජපක්ෂ පවුල විසින් ඔහුව තෝරගත්ත නිසා. ඔහු තාවකාලිකව කුලියට ගත්ත කෙනෙක්.එහෙම නැතුව රට මේ තත්ත්වයට ආවේ රනිල් වික්‍රමසිංහ නිසා නෙමේ. ඒ විදෙස් ගත ශ්‍රමිකයින් සහ සංචාරකයන් නිසා.ඒ අය ආවේ හෝ සල්ලි එව්වේ රනිල් වික්‍රමසිංහ බලන්න නෙමේ. අපි මේ වෙද්දි ණය ගෙවන්නේ නෑ සහ ජනතාව තමන්ගේ ආහාර වේල අඩු කරගෙන ඉන්නවා. ජනතාව ඉන්නේ 2018 ට වඩා තමන්ගේ ජීවීතේ හකුලගෙන.
දැන් කාටහරි කියන්න පුළුවන් ශ්‍රමිකයෝ සල්ලි එවන්නේ සහ සංචාරකයෝ එන්නේ රනිල් නිසා,රනිල්ගේ නායකත්වය නිසා කියලා?
ශ්‍රමිකයෝ සල්ලි එවන්නේ රනිල් වික්‍රමසිංහ නිසා නම් තියාගත්තට කමක් නෑ.සංචාරකයෝ එන්නේ රනිල් බලන්න න්ම් කියාගත්තට කමක් නෑ. ඒ කියන ඒවා මෝඩ තර්ක. රනිල් පත් කරද්දී කිව්වේ මොකක්ද රනිල් ජාත්‍යන්තරය එක්ක සම්බන්ධතා නිසා සල්ලි ගෙනෙයි කියලා. ජපන් තනාපති ජපානයට ගියාම කිව්වා රටට සල්ලි ගේන්න ගියේ කියලා.ඒ වගේ බාල කැම්පේන් එයාලගේ තියෙන්නේ.රනිල් කියන්නේ අලුත් කෙනෙක් නෙමේ.අවුරුදු 27 විධායකය නියෝජනය කරන කෙනෙක්.කෝ කරපු දේ.
ජනතාව නායකයෝ පත් කරලා ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙනවා.ඔබලටත් එවැනි ප්රාතිහාර්ය පාන්න වෙයිනේද?
ඇත්තටම ජනතාව ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙන්නේ නෑ. දේශපාලනඥයෝ තමයි තමන් ප්රාතිහාර්ය පානවා කියලා බොරු පොරොන්දු දෙන්නේ.ගෝඨාභය රාජපක්ෂත් සැමන් පරිප්පු අඩු කරන්නම් කියලා ප්රාතිහාර්ය පෑවා. රනිල් වික්රමසිංහත් හාල් කිලෝ 20 ගානේ දීලා ප්රාතිහාර්ය පාන්න යනවා.මීට අවුරුදු පනස් ගණනටකට කලිනුත් මැතිණිගේ කාලේ ප්රාතිහාර්ය පෑවනේ හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා. ජනතාව මේ රට පාලකයා විසින් ගොඩ ගන්නවා නම්,ඒ සඳහා වැඩ පිළිවෙළක් තියෙනවා නම් යම් කාලයක් ලබාදෙන්න සූදානම්. ජනතාව ආණ්ඩුවක් පත් කරලා එකපාර හෙට කේතුමතී රාජ්‍ය බලාපොරොත්තුවෙන්නේ නෑ කවදාවත්.ඒ නිසා අපේ වැඩ පිළිවෙල සහතිකයි, විද්‍යානුකූලයි,ලෝකය එක්ක යන ගමනක්.අපිට පුළුවන් කෙටිකලකින් ජනතාවගේ ආහාර ගැටලුව විසඳගන්න.
ගොඩක් අය දැන් හදන කතාවක් තමයි වේදිකාවල බැණගත්තට එයාලා යාලුවෝ කියලා. අර අනුර සහෝදරයා නාමල්ට අතට අත දෙන නිසා.මොකක්ද ඇත්තටම වුණේ?
ඒවා නම් ඉතිං විහිළු.ඕවා ප්‍රචාරය කරන්නේ සජිත්ගේ කල්ලිය.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සජිත්ට අතට අත දෙන්න යනකොට සජිත් එහෙම කළේ නැහැ ඒත් නාමල්ට නම් අනුර අතට අත දුන්නා කියන්න යන්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස කැමරාව ඉස්සරහා රනිල්ට අතට අත නොදුන්නට රනිල් වික්‍රමසිංහට කියලා ලියලා සජිත්, එයාගේ අම්මගේ හැමදෙම ලබාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමේ සජිත්ගේ මන්ත්‍රීවරු ගොඩක් රනිල් වික්‍රමසිංහගෙන් උදව් අරගෙන ඉන්නේ ඉඩම්, විමධ්‍යගත මුදල් වගේ හැමදේම.ඒත් පෙන්නනවා එයාලා තරහයි වගේ.
• ගයාන් ගාල්ලගේ