නාමයෝජනා දීමත් සමඟ ජනාධිපතිවරණයේ උණුසුම උදම් රළක් සේ රටම ටිකෙන් ටික වෙලාගනිමින් සිටී. අපේක්ෂකයන් 39කගේ නම් ඇතුළත් වීම හේතුවෙන් ලොවේ දිගම ඡන්ද පත්‍රිකාව හැටියට ගිනස් වාර්තාවකට හිමිකම් කීමට පවා ඉඩක් ඇති ජනාධිපතිවරණයේදී මේ රටේ එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ හතළිස්දාහක් තම කැමැත්ත ප්‍රකාශ කරනු ඇත. එයින් වැඩි කැමැත්ත හිමිවන අපේක්ෂකයා රටේ මීළඟ වසර 05 සඳහා ජනාධිපති ධුරයේ දිව්රුම් දී රටේ පාලනය අරඹනු ඇත.
අපේක්ෂකයන් සංඛ්‍යාව සහ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව කොයිතරම් ඉහළ ගියත් මෙවර ජනාධිපතිවරණයේ වඩාත්ම අවධානයට ලක්වන කාරණය කුමක් විය හැකිද? කොටින්ම මේ පාර කාගෙ කාගේත් සටන්පාඨ වෙන්නෙ මොනවද?
මේ ප්‍රශ්නයට ඇත්තේ එකම පැහැදිලි උත්තරයකි.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පුවත්පත් කතුවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හමුවීමට පසුගියදා සුහද හමුවක් තැබුවේය. එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද පැමිණ සිටියේය. එහිදී සුහදව කෙරුණු කතාබහ අතරතුරදී එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මහින්දගෙන් මේ ප්‍රශ්නයම ඇසුවේය. මහින්ද කිව්වේ ‘වෙන මොකක්ද ඉතිං මේ රටේ දැන් ලොකුම ප්‍රශ්නෙ ආර්ථිකයනෙ. ඒක තමයි කාගේත් සටන් පාඨය වෙන්නෙ’ යනුවෙනි. ‘හොරකම, වංචාව, දූෂණය ගැන සටන්පාඨ වලට සීල් ගහලම ඉවර කරලනෙ තිබෙන්නේ’ යැයිද මහින්ද වැඩිදුරටත් කිව්වේය.
මෙදා පාර ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් ඔක්කොටම කියන්න තිබෙන්නේත් මේ කතාවමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ගැන කියන්න පටන් ගත්තේ ජනාධිපතිවරණයේ උණුසුම දැනෙන්නත් කලිනි. ඔහු දිගින් දිගටම කිව්වේ තමා රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගත් බවය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකළ බවය ජනතාවගේ අතට මුදල් ලැබෙන පරිදි ආදායම් වැඩි කිරීමට මග පෑදූ බවය. ඒ අර්ථයෙන් ගත් කළ ජනාධිපතිවරණ කැම්පේන් එක කල් තබාම පටන් ගෙන තිබෙන්නේ ජනාධිපති රනිල් බව පැහැදිලිය.
විපක්ෂනායක සජිත් ද දිගටම කතා කළේ රටේ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ බවට කරුණු කියමිනි. ඒ සඳහා තමන්ට හොඳ ටීම් එකක් ඉන්න බවත් දේශපාලකයන් පිරිසක් සමග විද්වත් මණ්ඩලයක්ද රටේ ආර්ථිකය හැඩ ගැස්වීමට දායක වනු ඇති බවත් සජිත් කියයි.
අනුර කුමාර මාලිමාව ජනාධිපතිවරණයට පෙළගැස්වීම සිදුකළේ ද ආර්ථික ගැටලු වලට තමන්ගේ කණ්ඩායම තුළ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති බව කියමිනි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති තවම ඉදිරිපත් කර නොමැති බවට නැගුණු චෝදනාවලට ඔහු උත්තර බඳින්න ගියේ නැත. තමන්ට වඩාත් වැදගත් වනු ඇත්තේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ මැද අවස්ථාවකදී ආර්ථීක ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කිරීම බව මාලිමාව සිතන බවත් පෙනේ. ඔවුන් ඒ සඳහා සැප්තැම්බර් 03 වැනිදා වැනි දිනයක් යොදා ගෙන ඇත්තේ ඒ නිසාද විය හැකිය.
ඒ කොහොම වුණත් මේ පාර ජනාධිපතිවරණ සටන ආර්ථික තේමාවෙන් බැහැර යාමට ඉඩක් නැති බව බැලූ බැල්මට පෙනෙන්න තිබේ. නමුත් ඒ තත්ත්වය තව සති දෙක තුනක් යද්දී වෙනස් අතකට හැරෙන්නත් ඉඩක් නැතුවා නොවේ. නාමයෝජනා ලබා දීමෙන් පසුව මාලිමාව තවත් එක් සටන් පාඨයකට මුලපුරනු දැකිය හැකි විය. ‘මේ එහාට මෙහාට පනින ගෙඹි දේශපාලනය සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරනවා.’ යැයි අනුර කුමාර තමන් පිළිගැනීමට පැමිණ සිටි ආධාරකරුවන් අමතා සිදුකළ කතාවේදී දැඩිව කියා සිටියේය.
මේ සටන් පාඨයට අයිතියක් කීමට සෙසු ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට හැකියාවක් නැත. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන මන්ත්‍රීවරුන් අතරේ හොරෙන් මෙරටට කෝටි ගාණක රත්රන් පැන්නූ බවට චෝදනා ලබා රේගුවෙන් දඩ කෑ අලි සබ්රි රහීම් ද ඇතුළු විවිධ චෝදනා ලැබූ තවත් මන්ත්‍රීවරුද සිටිති. මේ නිසා ජනපති රනිල්ට මෙසේ එහාට මෙහාට පනින මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කරන බවට ජනතාව ඉදිරියේ පොරොන්දු දීමට හැකියාවක් නැත. සජිත් ද මේ ගැටලුවටම මුහුණ දී සිටී. තමන් සන්ධාන ගහන්නේත් තමන්ට සහාය දීමට පැමිණෙන මන්ත්‍රීවරුන් ඇතුළට ගන්නේත් දූෂණයෙන් වංචාවෙන් තොර පිරිස් පමණක් තෝරාගෙන බව සජබ පුන පුනා කියයි. නමුත් සත්‍ය තත්ත්වය එය නොවන බව වටහා ගැනීමට ඡන්ද දායකයන්ට අමාරු නැත. මේ සන්ධාන ඇතුළේ සිටි ඇතැම් මන්ත්‍රීවරු අතර විවිධ චෝදනා ලැබුවෝ සිටිති. විශාල ධනස්කන්දයක් උරුම කරගත් සමහර මන්ත්‍රීවරුන් සහාය දීමේදී එය ප්‍රතික්ෂේප නොකරන සජබටද එහාට මෙහාට පනින දේශපාලනය අවසන් කරන බවට පොරොන්දුවක් ලබා දිය නොහැක.
හැබැයි අනුර කුමාර ඇතුළු මාලිමාව ආර්ථිකය පිළිබඳ සටන් පාඨය කෙසේ හසුරුවා ගනීද යන්න බොහෝ දෙනා තුළ සැකයක් ඇතිකර තිබේ. ‘මාලිමාවට පුළුවන්ද මේ ආර්ථික ගැටලු විසඳන්න.’ යනුවෙන් ප්‍රශ්න කරන බොහෝ ඡන්ද දායකයෝ සිටිති. ආර්ථිකය ගොඩගත් බවට වත්මන් ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශවලට මාලිමාව තවමත් එක එල්ලේ පිළිතුරක් දෙන්නේ නැත. ගිනිගෙන තිබූ රටක් ආර්ථික වශයෙන් ඉතාම අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටී තිබූ රටක් තමන් අමාරුවෙන් ගොඩගත් බවට රනිල් කරන ප්‍රකාශයට රට ඇතුළේ සුබවාදී ප්‍රතිචාරයක් තිබෙන බව පිළිගත යුතුය. ඒ අතින් තමන්ගේ ඡන්ද සලකුණ වශයෙන් ගෑස් සිලින්ඩරය ලැබීම ද රනිල්ට වෙස්වළාගත් ආශිර්වාදයක් ද විය හැකිය. ගෑස් පෝලිම්වල තෙල්පෝලිම් වල දින ගණන් රස්තියාදු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රටේ සිටින බව කිසිදු අපේක්ෂකයකුට අමතක කළ නොහැකි සාධකයකි. ඒවා නැති කළේ තමන් බවට රනිල් කරන ප්‍රකාශයට ලොකු බරක් රට තුළ තිබීම ගැන පුදුම විය යුතු නැත. එය ඡන්ද බවට හරවා ගැනීම රනිල් ගේ කැම්පේන් මැනේජර්ලා ගේ අතේ තිබෙන වැඩකි.
අහම්බෙන් ජනාධිපතිවරණ සටනට එන්න සිදුවූ නාමල්ටත් ආර්ථිකය ගොඩනංවන බවට පොරොන්දු වීම හැර වෙනත් සටන් පාඨයක් අතට ගැනීම අපහසු වනු ඇත. ඔහු ජනාධිපති අපේක්ෂකයකු වූයේ ධම්මික පෙරේරා අවසන් මොහොතේදී ඉවත් වීම හේතුවෙනි. පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට දැඩි මතයක නාමල් සිටි බව රහසක් නොවේ. ඒ අනුව අවසන් මොහොතේදී සුදුසු අපේක්ෂයකු සොයා ගැනීමේ අති දුෂ්කර අවස්ථාවක නාමල්ට සිදුව තිබුණේ පොහොට්ටුවේ අභිමානය බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ බෙල්ල දීමටය. ඒ අවස්ථාව තමන්ගේ දේශපාලනයේ අනාගතයේ ආයෝජනයක් වශයෙන් සලකා සුබවාදීව කටයුතු කරනු හැර නාමල්ට ගතහැකි වෙන්ත මගක් නැත. එවැනි අවස්ථාවකදී සටන් පාඨ අලුතින් නිර්මාණය කර ගැනීම ද ප්‍රායෝගික නැත. ආර්ථිකය ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අලුත් දැක්මක් ඉදිරිපත් කළ හැකි නම් නාමල්ට මේ සටනේ යා හැකි දුර වැඩිකර ගැනීමට හැකිවනු ඇත. ඔහු නියෝජනය කරන පොහොට්ටුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ පැරණි ක්‍රියා කලාප නාමල්ට අවාසියක් විය හැකි වුවද මෙම සටනේ සිටින ළාබාලම අපේක්ෂකයා වීමේ වාසිය පොහොට්ටුවට ඡන්දය දෙන තරුණ ඡන්ද දායකයන්ගේ ආකර්ශනය ලබාගත හැකි සාධකයක් වනු ඇත. ඔහු සටන්පාඨ තෝරා ගැනීමේදී වඩාත් පරෙස්සම් විය යුතු අවදානම් කලාපයක සිටින බව තේරුම් ගැනීම වඩා වැදගත් වනු ඇත.
ආණ්ඩු කිරීම සහ ආර්ථිකය දෙකක් නොව එකක් බවට පත්ව තිබෙන බව යථාර්ථයයි. ඒ තත්ත්වයට රට ඇද දමනු ලැබවේද මේ රට ආණ්ඩු කළ දේශපාලකයන් විසිනි. ඒ තත්ත්වය නිවැරදි කිරීමේ වගකීම තිබෙන්නේද මේ දේශපාලකයන් අතේමය. ඡන්ද දායකයන්ට කළ හැක්කේ ඒ සඳහා සුදුසු නායකයකුට ජනාධිපතිවරණයේදීත් සුදුසු පාර්ලිමේන්තුවකට මහ මැතිවරණයේදීත් බලය ලබාදීම පමණී.
මෙවර ජනාධිපතිවරණ එක් අතකින් සුවිශේෂී වෙයි. මීට පෙර පැවැති ජනාධිපතිවරණයෙන් 53% ක ප්‍රතිශතයක් සහිතව ලක්ෂ 69 ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකළ සහ තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩුවක් නැති භංගස්ථාන කළ ජන අරගලයට පසුව එන ප්‍රථම ජාතික මැතිවරණය වීම එම සුවිශේෂී බවට හේතුවෙයි. එම ජන අරගලයට සහභාගි වී රට පුරා සිටි ජනතාවගෙන් නැගුණ හඬ වී තිබුණේ පාර්ලිමේන්තුවේ 225 ම වැඩක් නැති බවයි. දෛවෝපගත ලෙස මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් සිවු දෙනාම ජනතාවගේ දැඩි විරෝධයට පාත්‍ර වූ එම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ය. ජනතාව හමුවේ තමන්ගේ නිර්දෝෂී බව සහ රට ඉදිරියට ගෙන යාමට තමන්ට හැකියාවත් තිබෙන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම මේ අපේක්ෂකයන් සිවුදෙනාටම භාරදූර කාර්යයක් වන බව නිසැකය. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන්පාඨය ආර්ථිකය බවට පත්වීමේ නිමිත්ත ඇත්තේද එම අරගලය ඇතුළේය.
එකල ආණ්ඩවේ අමාත්‍ය ධුර දැරූ ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් අද කුමක් කීවත් එදා ජන අරගලයට ප්‍රධාන හේතුව වුණේ රටේ ආර්ථිකය තමන්ගේ දෑස් ඉදිරිපිට කඩා වැටෙන බව එම ආණ්ඩුවත් ජනාධිපතිත් බලයට පත් කළ ජනතාවට දැනීමය. මුලදීම සිදුවූ වැට් බදු අඩු කිරීමෙන් රටට අහිමි වූ බිලියන 560 කට අධික මුදලත්, රසායනික පොහොර තහනම හේතුවෙන් අස්වනු පාළු වී ගොවි පවුල්වල ජනතාව පාරට බැසීමත් රටේ ආදායම අඩු වී විදෙස් සංචිත හිඟවීමෙන් තෙල්, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර වරායේ නැව් තුළ හිරවීමත් රටේ ආර්ථිකය සුණුවිසුණු කළේය. කොවිඩ් අර්බුදය ගින්නට පිදුරු දැමීමක් විය. කොවිඩ් අර්බුදයෙන් පසුව දකුණු ආසියාවේ සෙසු රටවල් කෙසේ හෝ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආරක්ෂා කර ගනිද්දී ලංකාව අසරණ විය. ඉන්පසුව සිදුවූ අතීතයට එක්වී හමාරය.
මෙවර ජනාධිපතිවරණයේදී රටේ ජාතියේ ඉදිරි ගමන වෙනුවෙන් යැයි කියා තමන්ගේ මන්ත්‍රී පදවිත් අරගෙන රනිල්ගේත් සජිත්ගේත් දෙපා ළඟට ගිය සියලු හිටපු මැති ඇමැතින්ලා තමන්ගේ ආණ්ඩුවේ එම අතීතය ගැන ද සිහි තබා ගැනීම අවශ්‍යය. හේතුව ඒ අතීතය ජනතාවට තවමත් අමතක වී නැති නිසාය.
• ශෂීන්ද්‍ර