2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

තිස් නවයේ රේස් එක

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

2024 ජනාධිපතිවරණය ආසන්න කඩඉම වන නාමයෝජනා බාරගැනීම පසුගිය බ්‍රහස්පතින්දා (15) සිදුවිය. ඊට පෙර දින (14) අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කිරීම අවසන් වනවිට අපේක්ෂකයන් 40 දෙනකු ඇප තැන්පත් කර තිබිණි. ඉන් එක් අයකු නාමයෝජනා නුදුන් බැවින් මීළඟ ජනාධිපතිවරණය සඳහා වාර්තාගත 39 ක අපේක්ෂක සංඛ්‍යාවක් තරග වදිති. ජනාධිපති ධුරය සඳහා 39 කගේ රේස් එකක් බලා ගැනීමට රටේ ජනතාවට මේ නිසා හැකිව තිබේ.

එහෙත් ඒ සඳහා ගෙවිය යුතු මිලක් තිබේ. මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන ආකාරය අනුව සංඛ්‍යාත්මකව අපේක්ෂකයන් ඉහළ යාම ඡන්දය සඳහා වන වියදම ද ඉහළටම තල්ලු කිරීමකි. අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම ජනාධිපතිවරණයක තිබිය යුතු ගෞරවාන්විත බව වැඩි කිරීමට කිසිදු ආකාරයකින් හේතු වන්නේ නැත. කොටින්ම එහිදී සිදුවන්නේ රටේ මහජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ ජාතික මැතිවරණයක් හෑල්ලුවට ලක් කිරීමක් පමණි. ජනගහණය අතින් ඉතාම කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාව ජනාධිපති අපේක්ෂකයන් සංඛ්‍යාව අතින් වාර්තා පිහිටුවීම රට පමණක් නොව ලෝකයම හිනස්සවන ක්‍රියාවකි. මේ ක්‍රියාවලියට ඉදිරියේ දී හෝ තිත තැබීමට සියලු දෙනා එකඟත්වයක් ඇති කරගත යුතුය.

එවැනි එකඟත්වයක දී ශ්‍රී ලාංකික පුරවැසියකු වන ඕනෑම පුද්ගලයකුට රුපියල් 75,000 ක් ගෙවා ජනාධිපති අපේක්ෂකයකු හැටියට සුදුසුකම් ලැබීමට තිබෙන අවස්ථාව මුළුමනින්ම අහෝසි කළ යුතුය. පිළිගත් දේශපාලන පක්ෂයක හෝ සන්ධානයක හෝ නායකයකු නොවන පුද්ගලයකු ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ  සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම ද මෙහිදී ඉතාම වැදගත් වනු ඇත. සුදුසුකම් තීරණය කිරීමේ නිර්ණායක සකස් කර ගැනීමේදී මහජන අදහස් විමසීමක් සිදු කර ඒ සම්බන්ධ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගනු ලබන අවසන් තීරණය අධිකරණයක දී අභියෝග කළ නොහැකි අවසානාත්මක තීන්දුවක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීමත් අවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

අපගේ රටේ පමණක් ජනාධිපතිවරණය අපේක්ෂකයන් 39 කගේ රේස් එකක් වීමට කිසිදු අවස්ථාවක් දිය යුතු නැත. බොහෝ විට වෙනත් ඕනෑම රටක ජනාධිපතිවරණයක් යනු දෙදෙනකුගේ අතර සටනක් පමණි. කලාතුරකින් රටක තුන්කොන් සටනක් නිර්මාණය වන අවස්ථා ද තිබේ. නමුත් එතැනින් එහාට ජනාධිපති සටන දීර්ඝ වන්නේ නැත. එසේ නම් මේ තරම් විශාල සංඛ්‍යාවක් මෙසේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ලෝකය ඉදිරියේ රට හෑල්ලු කරන තත්ත්වයට පත්වන්නේ ඇයි ද කියා විමසිය යුතු නොවේද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය හැමදාමත් දෙදෙනකු අතර සටනක් පමණක් බව ඉතිහාසය පෙන්වා දෙන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

අප මීට පෙර ද සඳහන් කර ඇති ආකාරයට මෙසේ දිනන්නට නොව වෙනත් හේතූන් මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඇතැම් දෙනා රේස් එකට දාන්නේ ප්‍රධාන පක්ෂ හෝ සන්ධාන මගිනි. එහි එක් බලාපොරොත්තුවක් වන්නේ මාධ්‍ය ඔස්සේ ලබාදෙන ප්‍රචාරක කාලය සහ ඉඩකඩ යොදාගෙන වෙනත් ප්‍රධාන අපේක්ෂකයකුට පහර දීමට නැත්නම් ඔහු වෙනුවෙන් ‘කඩේ’ යාමටය. එවැනි අවස්ථා හඳුනාගෙන එකී පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම පසුබට විය යුතු නැත. එසේම තවත් සමහරු තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ජනාධිපති ධුර අපේක්ෂකත්වය යොදා ගැනීම ද සිදු කරති. වීසා ලබාගැනීමට අපහසු රටවලට වීසා ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් ද මේ අවස්ථාව යොදාගත් අය සිටිති. බදු දැලෙන් රිංගා යාමට අවස්ථාවක් ලබාගැනීමටත් තමන්ට අහිමි පිළිගැනීමක් සමාජය තුළ ඇතිකර ගැනීමටත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන පිරිසක් ද වෙති.

එහෙත් දැන් එහෙම චාන්ස් ලැබෙන්නේ නැත. නමුත් මෙවැනි අනවශ්‍ය සහ නුසුදුසු පුද්ගලයන් වෙනුවෙන් මැතිවරණ කොමිසමට සිදුවන අතිරේක බර දැරීමට සිදුවන්නේ රටේ මහජනතාවට වීම ලොකුම කරුමයයි.